අටවන වරටත් පැවැත්වුනු යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය | Jaffna International Cinema Festival
අගනුවරින් පිටත සංවිධානය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර ගණයේ සිනමා උළෙල, යාපනය අර්ධද්වීපය මුල් කර ගනිමින් මෙවරත් පැවැත්වුනා. ඒ Jaffna International Cinema Festival (JICF) හෙවත් යාපනය අන්තර්ජාතික සිනමා උළෙලයි.
උතුරු අර්ධද්වීපයේ නිදහස් සිනමාකරුවන්ගේ නිර්මාණ පිළිබඳව කතිකාවතක් ගොඩනැඟීම සහ ඔවුන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයින්ට සමීප කිරීම අරමුණු කොටගෙන වාර්ෂිකව පවත්වනු ලබන මෙම Jaffna International Cinema Festival සිනමා උළෙල, මෙවර ඉදිරිපත් කළේ 08 වන වතාවටයි.
ජාත්‍යන්තර සම්මානලාභී කෙටි හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන අනෝමා රාජකරුණාගේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම සිනමා උළෙලදී දෙස් විදෙස් සිනමාකරුවන්ගේ නිර්මාණ ගණනාවක් ප්‍රදර්ශනය කරනු ලැබුවා. මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී තිරගත කළ විදෙස් කෙටි සිනමාපට සහ දිගු – වෘතාන්ත සිනමාපට සංඛ්‍යාව 40කට අධිකයි. රටවල් 15කට අධික ප්‍රමාණයකින් මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කොට තිබුනා.
යාපනය රීගල් සිනමාශාලාව, යාපනය විශ්ව විද්‍යාලයීය කෛලාසපදි ශ්‍රවණාගාරය සහ ‘කාලම්’ පරිශ්‍රය මුල් කොට ගනිමින් පැවැත්වූ මෙම උළෙල ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් 30 වනදායි.
දෙසැම්බර් 30 වනදා සිට ජනවාරි 01 වනදා දක්වා තරුණ අංකුර කලාකරුවන් වෙනුවෙන් වෙන්වූ පුහුණු කඳවුරක් පැවැත්වූ අතර එහිදී සිනමාව සම්බන්ධයෙන් දීර්ඝව දැනුවත්කිරීම් – සාකච්ඡා සිදු කළා.
එයින් පසුව Jaffna International Cinema Festival හි, සිනමාපට ප්‍රදර්ශනය ඇරඹුනේ ජනවාරි 02 වනදායි. උළෙලේ ආරම්භක චිත්‍රපටය ලෙස තෝරාගෙන තිබුනේ ඉන්දික ෆර්ඩිනෑන්ඩු අධ්‍යක්ෂණය කළ Bulletproof Children (වෙඩි නොවදින ළමයි) ලාංකීය සිනමාපටයයි. “හෝ ගානා පොකුණ”ට පසුව ඔහු අධ්‍යක්ෂණය කළ දෙවන නිර්මාණය වන මෙය, ජාත්‍යන්තර සිනමා උත්සව කිහිපයකදීම ඇගයුමට පාත්‍ර වුනා.
Bulletproof Children (වෙඩි නොවදින ළමයි) ශ්‍රී ලංකාව තුළ පුළුල් තිර ප්‍රදර්ශනය කළ මුල්ම අවස්ථාව වන්නේ ද මෙයයි!
Bulletproof Children තිරගත කරන අවස්ථාවට එහි අධ්‍යක්ෂක ඉන්දික ෆර්ඩිනෑන්ඩු සහ තවත් රංගන ශිල්පීන් කිහිප දෙනෙකුම සහභාගී වූ අතර චිත්‍රපටය නැරඹීමෙන් පසුව ඒ පිළිබඳව ප්‍රේක්ෂක සාකච්ඡාවකුත් පැවැත්වුනා. ජනවාරි 02 වනදා යාපනය විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී short movie screenings සහ debut competitions ආරම්භ වූ අතර එතැන් සිට ජනවාරි 08 වනදා දක්වා දිනපතාම කෙටි සහ දිගු වෘතාන්ත නිර්මාණ රැසක් රසිකයින්ට නැරඹීමේ අවස්ථාව උදා වුනා.
ජේකබ් ලූක් අධ්‍යක්ෂණය කළ “Salted Popcorn” සහ කදිරේසු රතිතරන් අධ්‍යක්ෂණය කළ “Thoovaanam” ලාංකීය චිත්‍රපට ද්විත්වයේ world premiere තිරගත කිරීම සිදුවූයේත් මෙවර 2023 – යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේදී යි.
ඊට අමතරව ටිෂාන් දේවනාරායනගේ Akeldama, චමිඳු මුණසිංහගේ Shall I Kiss You, ගෝපි ක්‍රිෂ්ණාගේ Human Zoo සහ රිනෝ ශාන්ත්ගේ Detached වැනි නව ලාංකීය කෙටි චිත්‍රපට ගණනාවක්ම මෙහිදී රසිකයින්ට නැරඹීමට අවස්ථාව උදා වුනා.
මීට අමතරව ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, කර්ගිස්ථානය, නේපාලය, බ්‍රසීලය, බෙල්ජියම ආදී විදෙස් රටවල් රැසකින් මෙහි කෙටි චිත්‍රපට (ජාත්‍යන්තර) අංශය සඳහා නිර්මාණ ඉදිරිපත් කොට තිබුනා. උළෙලේ අවසන් සිනමාපටය වශයෙන් තෝරාගෙන තිබූයේ ලෙනින් සිවම් විසින් අධ්‍යක්ෂණය කළ The Protector නැමැති කැනේඩියානු සිනමාපටයයි. එම අවස්ථාවට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාත් සහභාගී වූවා.
Jaffna International Cinema Festival හි අටවන දිනයේදී මෙරට විශිෂ්ට සිනමාකරුවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විචාරක සංවාදයක් පැවැත්වූ අතර එහි සම්පත්දායකයින් ලෙස එක්වූයේ සුමති සිවමෝහන්, විසාකේස චන්ද්‍රසේකරම්, ලෙනින් සිවම් සමඟින් රාජ් සිවරාජුයි. එහි කතිකාව සිදු වූයේ “ලාංකීය දමිළ සිනමාවේ අතීතය: වර්තමානය සහ අනාගතය” යන තේමාව ඔස්සේයි.
දින 07ක් පුරාවට පැවති චිත්‍රපට ප්‍රදර්ශනය අවසානයේදී සිනමා උළෙලට ඉල්ලුම් කළ නිර්මාණ අතුරින් තෝරාගත් විශිෂ්ටතම නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානයක් ද සිදු වුනා. එහිදී ජයග්‍රහණ පිරිනැමීම සිදු වුනේ,
ජ්‍යෙශ්ඨ සිනමාවේදීන් වෙනුවෙන් පිදෙන යාවජීව සම්මානය
තරුණ සිනමාකරුවන්ගේ හොඳම පළමු (Debut) සිනමාපටය
හොඳම දේශීය කෙටි චිත්‍රපටය
හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය
වැඩිම රසික ප්‍රසාදයක් හිමි කරගත් කෙටි චිත්‍රපටය යන කාණ්ඩ ඔස්සේයි.
එහිදී “Best Debut Film” සම්මානය ජයග්‍රහණය කළේ බංගලාදේශ තරුණ සිනමාකරුවෙකු වන Shabnam Ferdousiගේ Song of The Soul සිනමා නිර්මාණයයි. කෙටි චිත්‍රපට අංශයෙන් “විශිෂ්ටතම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය” ලෙස Anhad: The Eternal Melody තේරී පත් වුනා. එය Niranjan Raj Bhetwal විසින් අධ්‍යක්ෂණය කළ නේපාල භාෂාමය සිනමාපටයක්.
“හොඳම දේශීය කෙටි චිත්‍රපටය” වෙනුවෙන් පිරිනැමෙන සිලෝන් තියටර්ස් සම්මානය හිමි කරගත්තේ යෝශිත පෙරේරා අධ්‍යක්ෂණය කළ Girl in the Rainwater Tree සිනමා නිර්මාණයයි. කෙනිස්ටන් ජෝන්ගේ Marred Circus කෙටි සිනමාපටයත් මෙම අංශය යටතේ ජූරියේ විශේෂ ඇගයුමට ලක් වුනා.
ප්‍රේක්ෂක මනාපය මත, උළෙලට ඉදිරිපත් කර තිබූ සියලුම කෙටි චිත්‍රපට අතුරින් “ජනප්‍රියම කෙටි සිනමාපටයට” හිමි සම්මානය The Love of the Chess Queen විසින් දිනාගත්තා. දශක ගණනාවක් පුරාවට සිනමාවට සිදු කළ සේවය අගයමින් ජීවිතයට එක්වරක් පමණක් පිදෙන උළෙලේ විශේෂ Lifetime Achievement ඇගයුමෙන් මෙවර පිදුම් ලැබුවේ සංගීතඥ M.M.A. Haq මහතායි.
උතුරු අර්ධද්වීපය මුල් කරගනිමින් යාපනයේදී පැවැත්වෙන මෙම වාර්ෂික සිනමා උළෙල ඉදිරිපත් කරනු ලබන්නේ Agenda 14 සාමූහිකය, Ceylon Theatres සිනමාහල් ජාලය සහ යාපනය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයනාංශය එකතුවෙනුයි..!!
Written by Kavinu Weerakkody