අධ්‍යක්ෂණයට පිවිසෙන රංගන ශිල්පියා : Silambarasan TR
Silambarasan හෙවත් STR යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන දමිළ සිනමාවේ සිටින ජනප්‍රියතම රංගන ශිල්පියෙක්. නමුත් පසුගිය වසර කිහිපයක කාල වකවානුව ඔහුගේ රංගන ජීවිතයේ එතරම් සුබදායක පරිච්ඡේදයක් නම් වුනේ නැහැ. Silambarasanගේ ඇතැම් ක්‍රියාවන් නිසා තමිල්නාඩු සිනමා ක්ෂේත්‍රයෙන්ම ඔහුව ප්‍රතික්ෂේප වූ අතර බොහෝ සිනමා නිෂ්පාදන ආයතන, සිය චිත්‍රපටවලට ඔහුව සම්බන්ධ කරගැනීමෙන් ද වැළකුණා.
Silambarasan ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපට සියල්ලම පාහේ දිගින් දිගටම අසාර්ථක වූ නිසා ඔහු වටා ගොඩ නැඟී තිබුනු රසික ජනප්‍රියත්වය පවා සෙමෙන් අහිමි වී ගියා. Manmadhan (2004), Vinnaithandi Varuvaayaa (2010), Vaanam (2011) වැනි ඔහු එකල රඟපෑ සිනමාපට අතිශය ජනප්‍රියත්වයට පත් වුනත් පසුකාලීනව ඔහුගේ කිසිදු චිත්‍රපටයක් ප්‍රේක්ෂකයින්ගේ අවධානය නතු කර ගැනීමට සමත් වූයේ නැහැ.
2016න් පමණ පසු ඔහු රඟපෑ Anbanavan Asaradhavan Adangadhavan, Eeswaran, Vaalu වැනි සෑම සිනමාපටයකට අත් වුනේ එවැනි ඉරණමක්. දිගින් දිගටම අත් විඳීමට සිදුවුනු මෙම අසාර්ථකත්වය නිසා සිලම්බරසන්ගේ රංගන ජීවිතය පවා පැවතුනේ යම් තීරණාත්මක මට්ටමකයි. ඇතැම් අවස්ථාවන් හිදී සිලම්බරසන් පවා සිය සිනමා ජීවිතය නවත්වන්නට සූදානම් බවටත් ආරංචි පැතිරුනා.
කෙසේ වුවත් පසුගිය වසරේදී තිරගත වුනු Maanaadu දමිළ සිනමාපටයත් සමඟ, STRගේ මෙම අවාසනාවන්ත කාල පරිච්ඡේදය නිමා වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදියි.
වසර ගණනාවකට පසුව STR රඟපෑ චිත්‍රපටයක් බොක්ස්-ඔෆිස් ආදායම් ලැබූ පළමු අවස්ථාව වූයේ එයයි. Maanadu චිත්‍රපටයේ සිනමා ශාලා ප්‍රදර්ශනය අවසන් වනවිට එය ඉන්දියානු කෝටි 117කට ආසන්න මුදලක් රැස් කරගෙන තිබූ අතර එහි නිෂ්පාදකයින්ට අතිශය ඉහළ ලාබයකුත් උපයා දී තිබුනා. විචාරකයින් පවා එය හැඳින්වූයේ 2021දී නිකුත් වූ හොඳම දමිළ චිත්‍රපට කිහිපයෙන් එකක් ලෙසටයි. Maanaadu හි මෙම සාර්ථකත්වය නිසාම, එහි අධ්‍යක්ෂකවරයා වන Venkat Prabhu විසින් එම චිත්‍රපටයේ දෙවන දිගහැරුමක් නිර්මාණය කෙරෙන බවටත් නිල වශයෙන්ම දැනුම් දුන් අතර මේ වනවිට එහි තිර පිටපත පවා රචනා කොට අවසානයි.
Maanaadu සිනමාපටයෙන් ලැබූ ජනප්‍රියත්වය නිසා මීට වසර ගණනාවකට ඉහතදී STR වටා ගොඩ නැගී තිබුනු රසික ප්‍රේක්ෂකාගාරය නැවතත් තමන් සතු කරගන්නට ඔහු සමත් වුනා. ඒ නිසාම පසුගිය මාසයේදී නිකුත් වූ ඔහුගේ නවතම දමිළ චිත්‍රපටය වන Vendhu Thanindhathu Kaadu තිරගත වීම ඇරඹීමටත් ප්‍රථම, ඒ ගැන සමාජ මාධ්‍ය තුළ පවා බිහිව තිබුනේ විශාල කතාබහක්.
විශේෂයෙන්ම Vendhu Thanindhathu Kaadu අධ්‍යක්ෂණය කළේ Gautham Vasudev Menon වීමත්, සිලම්බරසන්ගේ රංගන ජීවිතයේ ජනප්‍රියම නිර්මාණය යැයි සැලකෙන Vinnaithandi Varuvaayaa හි අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහු වීමත් නිසා බොහෝ රසිකයින්ගේ අවධානය මීට යොමුව තිබුනා.
බලාපොරොත්තු වූ පරිදිම රසිකයින්ගේ ධනාත්මක ප්‍රතිචාර ලබා ගැනීමට ඊට හැකියාව ලැබුනු අතර මේ වනවිටත් එය සාර්ථකව තිරගත වෙමින් පවතිනවා. වාර්තා වන අන්දමට ඉන්දියානු කෝටි 80කට ආසන්න මුදලක් දැනටමත් උපයා අවසන්… ඇතැම්විට Maanaadu චිත්‍රපටය මෙන්ම ඉන්දියානු කෝටි 100 කඩයිම පසු කිරීමට මේ නිර්මාණයටත් හැකියාව ලැබෙනු ඇති.
ඉහත චිත්‍රපට ද්විත්වයේ බොක්ස්-ඔෆිස් සාර්ථකත්වයෙන් පසු, high budget චිත්‍රපට කිහිපයක් සඳහාම සිලම්බරසන්ට ආරාධනා ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. නමුත් ඔහු ඉන් පිටපත් කිහිපයක්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහුගේ නවතම අධ්‍යක්ෂණය වෙනුවෙනුයි. වාර්තා වන අන්දමට STR විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත මෙම නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් ඔහු විසින්මයි. දමිළ නලු Silambarasan විසින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන දෙවන අවස්ථාව මෙය වන අතර මීට වසර දහසයකට පෙර ඔහු තම පළමු දිගු – වෘතාන්ත සිනමා අධ්‍යක්ෂණය සිදු කළා. ඒ 2006 වසරේදී යි. Vallavan නමින් හැඳින්වූ ඒ දමිළ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ ධනාත්මක ප්‍රතිචාර දිනා ගැනීමට සමත් වූ අතර සාර්ථක ආදායම් වාර්තාවක් රැස් කර ගැනීමටත් සමත් වූවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය STR නිරූපණය කරන අතර කාන්තා චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නිළි Nayanatharaයි. සිම්බුගේ දීර්ඝකාලීන මිතුරෙකු වන Yuvan Shankar Rajaගේ සංගීතයෙන් සිනමාපටය හැඩවුනා. දමිළ චිත්‍රපට ක්ෂේත්‍රය පුරාම ප්‍රසිද්ධ සිලම්බරසන් – නයන්තාරා ප්‍රේම සම්බන්ධය ඇරඹී තිබෙන්නේ ද මෙම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදීයි.
STR අධ්‍යක්ෂණය කිරීමට නියමිත මෙම සිනමාපටයේ තිර පිටපතෙ හි වැඩ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අධ්‍යක්ෂණය සඳහා පිටපත් දහයකට ආසන්න ප්‍රමාණයක් සලකා බැලූ බව සහ එයින් එක් පිටපතකට STR ගිවිසුම්ගත වූ බවයි. නමුත් එම තිර පිටපතෙ හි රචකයා සහ කතා තේමාව පිළිබඳ කිසිදු විස්තරයක් තවමත් දැන ගන්නට ලැබී නැහැ.
බොහෝදුරට එළඹෙන වසර මැද භාගයේදී පමණ මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹිය හැකියි.
මේ දිනවල සිලම්බරසන් විසින් ඔහුගේ මීළඟ චිත්‍රපටය වන ‘Pathu Thala’ හි දර්ශන තල සඳහා එක්ව සිටින අතර එයින් පසු තවත් නිර්මාණ ද්විත්වයකටත් රංගනයෙන් එක්වීමට නියමිතයි. සිලම්බරසන් අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටය ආරම්භ කිරීමට සූදානම්ව තිබෙන්නේ එම Corona Kumar සහ Mufti දමිළ ප්‍රතිනිර්මාණයේ සියලුම නිෂ්පාදන කටයුතු අවසන් වීමෙන් පසුවයි.
Written by Kavinu Weerakkody