අපිත් ලොකු අර්බුධයකට යමින් ඉන්නවා – සම්පත් ජයවීර

Avatar Nisanka Weheraduwa | March 22, 2020 179 Views 0 Likes 0 Ratings

179 Views 0 Ratings Rate it

ලෝකය පුරා පැතිරයන කොරෝනා වෛරස තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්‍රයන් බිඳ වැටෙමින් පවතින බවත්, කර්මාන්ත, ව්‍යාපාර සහ රැකියා අර්බුධයකට ලක්ව ඇති බවත් ලෝකයේ දස දෙසින් වාර්තා වනවා. විනොදාස්වාදන කර්මාන්තය (Entertainment industry) මේ අතර විශේෂයි. පවතින තත්වය හේතුවෙන් සිනමාහල් සහ රංගශාලා වසා දමා ඇති අතර සියලු නිෂ්පාදන කටයුතු නවතා දමා තිබෙනවා. හොලිවුඩ් පුරයේ පමණක් රැකියා 120,000ක් පමණ අහිමිව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා මගින් කියවුනා. මේ තත්වය තුළ ශ්‍රී ලංකාවේ සිනමා, වේදිකා සහ අනිකුත් විනොදාස්වාදන කර්මාන්තයන්ට කුමක් සිදු වෙයිද..? මේ මොහොතේ පවතින අවදානම කුමක්ද යන්න ගැන අපි, කලාකරුවන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසුවා. වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නළුවකු වන සම්පත් ජයවීර අපට කිවුවේ මෙවැනි අදහසක්.

හොලිවුඩ් විතරක් නෙමෙයි, මෙහෙත් ඒ සන්තෑසියම තමයි. අද ඊයෙ නෙමේ, පහුගිය පාස්කු ප්‍රහාරයත් එක්කම පටන් ගත්තෙ. ඕන ව්‍යසනයකදි මුලින්ම කඩා වැටෙන්නෙ එන්ටර්ටෙන්මන්ට් මීඩියා බිස්නස් එකනෙ. අපි හැමෝටමත් උනේ ඒක. රටටම කෙලවෙලා අපි විතරක් හොදින් ඉදල මොකටද ?.. නමුත් බෝම්බ සිද්ධියෙන් වේදිකා නාට්‍ය,සංගීත සංදර්ශන සංවිධාන වීම, රූගත කිරීම් සෑහෙන කාලයකට නැවතුනා. කොහොමත් එහෙම වෙනව, වැඩේ කියන්න ආයෙ ඔලුව උස්සන්න සෑහෙන කාලයක් යනව. ඒක තමා විදිය. ඔන්න යන්තං හරියාගෙන එනකොට ජනාධිපතිවරණයට දින නියම උනා. හෙම උන ගමන් විශේෂයෙන් ටෙලිනාට්‍ය නව නිශ්පාදන කටයුතු ඇනහිටිය. මොකද ආණ්ඩු පෙරලුනොත් චැනල් වලට දාගන්න බැරිවෙයි කියන චකිතය ආයෝජකයන්ට ඇතිවෙන නිසා. එහෙම තමා ඒකෙ හැටි, බොහෝ වෙලාවට මුක්කුවක් ගහගන්න ඕනෙ නාට්‍යයක් දාගන්න. සමහර චැනල් වලට එකම පිරිසක් විතරයි වැඩ කරන්නෙ. එතකොටම සංදර්ශන කටයුතුත් ලාවට ඇනහිටිය. ඔන්න ජනාධිපතිවරණයට පස්සෙ යන්තං පනගහල එනකොට ඊලග මහ මැතිවරණයට දින නියම උනා. එතකොට අර පරණ විදියටම අලුත් වැඩ පටන් ගන්නව අඩුවෙනව. දැනට කරගෙන යන ඒව විතරයි. ඒ අස්සෙ ආපි කොරෝනා වසංගතය… මේක කවද වෙනකොට ඉවරකරන්න පුලුවන් එකක්ද කියල කාටවත් තාම හරියට කියන්න බැහැ. ඉතිං පේනවනෙ ලංකාවෙ ටෙලිනාට්‍ය කර්මාන්තයෙන් යැපෙන උපස්ථායක වරු (tea boy) , කාර්මික ශිල්පීන් , වෘත්තිකයින්, ආනුශාංගික කලා ශිල්පීන්, අධ්‍යක්ෂක වරු, නිශ්පාදක වරු, ආයතන, වේදිකා නාට්‍ය ශිල්පීන් , සංගීත කන්ඩායම්, ඒ සම්බන්ධ සේවා සපයන්නන්,කාර්මික ශිල්පීන්, කඩල වෙළෙන්දන් ඇතුලු සියලුම දෙනාට වසරක පමණ කාලයක් තුළ කොයිතරම් බලපෑමක් වෙලාද කියන එක.
මේ සියල්ලටම හේතුව විදියට මම දකින්නෙ නිසි ක්‍රමවේදයක් නොමැති කම. සංවිධාන ශක්තියක් නොමැතිකම. අපි වෙනුවෙන් ඉල්ලීමක් වත් කරන්න අපි එකමුතු වෙලා නෑ. අපි කාලකන්නි කියල බනින, පුද්ගලික බස් රථ හිමියො මීට වඩා ශක්තිමත්. බොහෝ දෙනෙක් වැඩ කරන්නෙ තමන් ගැන හිතල විතරයි. සංවිධානය වෙන්න හැදුවත් එතනත් කල්ලි ගොඩයි.
සමහර කීපදෙනෙක්ට මම මේ කියපු ආර්ථික අපහසුතා නැති වෙන්න පුලුවන් . නමුත් ඒකෙන් කියන්නෙ මෙහෙම ප්‍රශ්නයක් නැ කියන එක නෙමෙයි . මට හමුවන බොහෝ පිරිසක් මේ මොහොතෙ හරිම අවදානමක ඉන්නෙ. අපි ටෙලිනාට්‍ය ක්ශේත්‍රයේ, සිනමාවෙ කලාකරුවන්, වෘත්තිකයින් එකතුවෙලා ඉතා ඉක්මනින් මේ ක්ශේත්‍රයන් තුල ක්‍රමවේදයක් හදාගත්තෙ නැත්නම් මීට වඩා අපහසුතා අපට ඉදිරියෙදි ඇතිවේවි..

– සම්පත් ජයවීර –

Share

179 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.