අලුත් අවුරුද්දට වෙනස් වෙන්නේ කොහොමද..??

Avatar Nisanka Weheraduwa | January 1, 2020 84 Views 0 Likes 0 Ratings

84 Views 0 Ratings Rate it

දින 365ක් ගෙවී ගිහින් අලුත් අවුරුද්දක් උදාවෙලා. මේක අලුත් අවුරුද්දක් විතරක්ම නෙමෙයි. අලුත් දශකයක ආරම්භයක්. හැමදෙනා තුළම අලුත් බලාපොරොත්තු, අලුත් සැළසුම්, අලුත් ඉලක්ක බොහොමයක් තියෙනවා. ඒ සියල්ල අතරේ පොදුවේ රටක්, සමාජයක් විදිහටත් මේ උදාවුනු  අලුත් අවුරුද්ද සහ ඇරඹුණු අලුත් දශකයේ අලුත් ගමනකට සැරසෙන්නේ කොහොමද..? අලුත් අවුරුද්ද අපි බාරගන්න ඕනේ මොනවිදිහටද කියන දේ ගැන කලා ක්ෂේත්‍රයෙන් හිතවතුන් කිහිප දෙනෙකුගෙන් අපි විමසීමක් කළා.

වේදිකා රූපවාහිනී සහ සිනමා රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර.

අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් ආරම්භයක් තමයි. හැබැයි එක අලුත් වෙන්නේ ඉලක්කමකින් විතරක් නම් එතන අර්ථයක් නැහැ. මම හිතන්නේ මේ උදාවුනු අලුත් අවුරුද්දේ සහ අලුත් දශකයේ අපිට මිනිස්සු විදිහට ලඟාකරගන්න හුඟක් දේවල් තියෙනවා. එකිනෙකා සම්බන්ධයෙන් තියෙන බෙදීම් නැතිකරගන්න හෝ නැත්නම් අඩුම ගානේ ඒවා අවම කරගන්න වත් අපි හිතාගන්න ඕනේ. ජාති වශයෙන් ආගම් වශයෙන් කුල වශයෙන් පාළාත් වශයෙන් ඔහොම එක එක කාරණා එක්ක බෙදිලා ඉඳල මොකක්ද තේරුම..? මේ කිසිම බෙදීමක ඇති දෙයක් නැහැ කියල මිනිස්සුන්ට වැටහෙන්න ඕනේ.මනුෂ්‍යත්වය පමණක් අගයකරන මනුස්සකමට වටිනාකමක් තියෙන රටක් හදන්න පුරවැසියෝ විදිහට අපි අදිටන් කරගන්න ඕනේ. අනික් විශේෂම දේ තමයි, අපි වගේ රටක මිනිස්සු කොයි තරම් රවටිලාද ඉන්නේ කියන එක. දේශපාලකයන්ගේ වගේම සමහර ආගමික නියෝජිතයන්ගේත් බොරු පොරොන්දු පුරාජේරු කතා බොහොමයකට රැවටිලා අපි මනුස්සකම් අමතක කරල තියෙනවා. බොහෝවිට අපේ බහුතරයක් දෙනාට තමන් රැවටිලා ඉන්න බවවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කටුක සත්‍ය වටහාගන්න තරම නුවණක්, බුද්ධියක් මිනිස්සුන්ට මේ අලුත් දශකයේ වත් ලැබේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ. මාධ්‍ය වුනත් තමන්ට වාසිවන තමන් කැමති මතවාදය සමාජගත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කරන ඇවිත්. ඉතින් මෙන්න මේ කටුක සත්‍ය වටහාගෙන මනුස්සකම් පමණක් අගයන ජන සමාජයක් බිහිවේවා කියල තමයි මගේ නම් අලුත් අවුරුදු ප්‍රාර්ථනය.

වේදිකා, ටෙලි, සිනමා රංගවේදී සම්පත් ජයවීර

කලාකරුවෙක් විදිහට මට අලුත් අවුරුද්ද ගැන තියෙන ප්‍රාර්ථනා අතර මූලික වෙන්නේ නිවැරදි ක්‍රමවේදයක් නැත්නම් system එකක් අපේ කලා කෂේත්‍රයේ ඇතිවේවා කියන එක. චිත්‍රපට කර්මාන්තයේත් ටෙලිනාට්‍ය කර්මාන්තයේත් මෙහෙම ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇති කිරීම ගැන අපි විවිධ දේවල් කරා. ඒ කටයුතු දිගටම කරන්න මේ අවුරුද්දෙත් බලාපොරොත්තු වෙනවා. මොකද අපි විශ්වාස කරනවා විදෙස් ටෙලිනාට්‍ය විකාශය කිරීම, ගෙන්වීම වගේ කාරණා වලට නිවැරදි ප්‍රතිපත්තියක් නිර්මාණය විය යුතුයි කියන එක. ඒ වගේම සිනමාව සම්බන්ධයෙන් ගත්තහමත් චිත්‍රපට පෙන්වීම වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරගන්න මේ වසරේවත් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් චිත්‍රපට බෙදාහැරිම සම්බන්ධයෙන් මණ්ඩල සමග තියෙන අර්බුධය නිරාකරණය කරගෙන මේ පෝලිමේ තියෙන චිත්‍රපට ජනතාවට පෙන්වන්න ලැබෙන්න ඕන. ඒවගේම සිනමාහල් ඩිජිටල්කරණය කිරීමත් අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. ඔන්න ඔය වගේ ඉලක්ක කිහිපයක් වෙනුවෙන් කලාකරුවෙක් හැටියට ලබාදිය හැකි දායකත්වය ලබාදීම තමයි අලුත් අවුරුද්දේ මගේ බලාපොරොත්තුව. ඒවගේම පොදුවේ ගත්තහමත් එකිනෙකාට අනුව වෙනස් නොවන සිස්ටම් එකක් හැම ක්ෂේත්‍රයකම නිර්මාණය විය යුතුයි. දේශපාලකයා අනුව කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට කවුරු බලයට පත් වුනත් දිගින් දිගටම පවත්වාගෙන යන ක්‍රමවේදයන් නිර්මාණය වීම අත්‍යවශ්‍යයි. එහෙම වුනොත් විතරක් මේ රට ටිකෙන් ටික හරි ඉදිරියට යයි. ඉතින් අන්න ඒ විදිහෙ “වෙනසක්” වේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙත්. ඒ වගේම හැම දෙනාටම එක විදිහට ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් නීතියක් රටේ ඇතිවෙන්න ඕන. පක්ෂය හෝ පාට හෝ වෙනත් බෙදීමක් අදාල නොවන විදිහට ඒ ක්‍රමවේදයක් සැමට එක අයුරින් කෙඉයාත්මක වෙන්න ඕනේ. අන්න එහෙම රටක් වෙනුවෙන් තමයි අලුත් දශකයට මගේ ප්‍රාර්ථනය.

වේදිකා ටෙලි සහ සිනමා රංගවේදිනි බිම්සරා ප්‍රේමරත්න

අළුත් අවුරුද්ද මට දැනෙන්නෙ මෙහෙමයි.. මේ ලබන්නෙ අළුත් අවුරුද්දක් වගේම අළුත් දශකයක්! දවස් 366ක් තියෙන අවුරුද්දක්.. පුද්ගලිකව නම්, ආපහු හැරිලා බැලුවාම, මට හරිගිය වගේම වැරදුණු තැනුත් තියෙනව.. සාර්ථක වගේම අසාර්ථක වුණු දේවලුත් තියෙනව.. ඉතින් ඒ හැම දෙයක්ම ජීවිතේට පාඩම් හැටියට බාරගෙන, ඉවසීමෙන්, අවබෝධයෙන්, සුභවාදීව තමයි මම 2020 අවුරුද්දත්, ඒ එක්කම ලබන අළුත් දශකයත් භාරගන්නෙ..
රටක් විදිහට නම්, අපි තවමත් ඉන්නෙ යුද මානසිකත්වයෙන්.. එකිනෙකා ගැන අනවබෝධයෙන්.. සැකයෙන්.. මම ප්‍රාර්ථනා කරනව මෙන්න මෙහෙම : අපිට, මේ එළඹෙන දශකයේදිවත්, එකිනෙකා ගැන තියෙන දුරවබෝධ, අනවබෝධ වලින් මිදිලා, එකිනෙකා වෙන් කරන, කොන් කරන, බෙදීම් ඇතිකරන, සීමා කරන, ලේබල් වලින් ඈත්වෙලා, මනුෂ්‍ය සම්බන්ධකම් වලට, මානුෂික හැඟීම් වලට, මනුස්සකමට, මුල් තැනක් දෙන යුගයක් උදා වේවා කියලා.. අපි හැමෝම මිනිස්සු කියන තැන ඉඳගෙන කටයුතු කරමින් අනිකාව විශ්වාස කරන්නත් අනිකාට ආදරය කරන්න සිත් ඇතිවේවා කියල.
හැමෝටම, සුබ නව වසරක් වේවා!

 

 

Share

84 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.