Sri Lanka's Best Cinema Portal

 

“අහස් ගවුව” කරන්න රුපියල් 30,000ක් හොයාගත්තේ ඉස්කෝලේ හිටපු යාළුවෙකුගෙන්, එයාව පතිරාජට අඳුන්වලා දුන්නේ මම – රංගවේදී අමරසිරි කලංසූරිය

0
Posted February 16, 2018 by Nisanka Weheraduwa in Articles
28109322_1836465766423669_618301511_n

මෙරට දේශීය සිනමාවට 70 වසක් සපිරි ඇත. 1947 කඩවුණු පොරොන්දුව සමග ආරම්භ වුනු සිංහල කතානාද සිනමාව 70 වසරක් අවසාන වනවිට චිත්‍රපට 1300කට අධික සංඛ්‍යාවකින් සමන්විතව තිබේ. මේ කාල වකවානුව තුළ සිනමාවට පායා නිවී ගිය තරු රැසකි. සිනමා ක්ෂේත්‍රයේ එදා මෙදා තුර වැජඹෙන තරු කිහිපයක්ද ඒ අතර වෙයි. පායන නිවෙන තරු අතර පෑයූ දින සිට එක ලෙසින්ම දීප්තිය විහිදන තරුද නැතුවාම නොවේ. 60 දශකයේ අග භාගයේ සිට මෙරට සිනමාවට එක්වුනු, තරුවක් ලෙසින්ම එදා මෙදාතුර රසික සිත් තුළ පැලපදියම් වන්නට තරම් භාග්‍යවන්ත වුනු අපූරු රංගන ශිල්පියෙක් වන අමරසිරි කලන්සුරිය cinema.lk සමග අතිතාවර්ජනයකට එක්වුයේ මෙලෙසින්.

1960 දශකයේ සිනමා ක්ෂේත්‍රයට එක්වුණු අමරසිරි කලන්සුරිය කියන රංගවේදියා සිනමාවට ප්‍රවේශය ගන්නේ මොන විදිහටද..? කොහොමද ඒ අතීත කතාව..??

මම ඉපදුනේ නුවර. මුලින්ම මම ඉස්කෝලේ ගියේ කිරිබත්කුඹුර ස්වර්ණජෝති විද්‍යාලයට. ඊට පස්සේ St.Christoper college එකට ගියා ටික කාලයක්. ඊළඟට නුවර ධර්මරාජෙට ඇතුල් වුනා. මගේ පවුලේ මමයි අයියයි. අපි කුඩා කාලෙම අම්මා නැති වුනා. ඊළඟට තාත්තා තවත් විවාහයක් කර ගත්තා. ඒ පුංචි අම්මට දුවල දෙන්නෙක් සහ පුතෙක් හිටියා. ඔන්න ඔහොමයි අපේ පවුල. පාසල් කාලය ඉවර වෙන්න ආසන්න වෙද්දීම වගේ මට අවුරුදු 16ක් වෙද්දී තාත්ත නැති වුනා. එතකොට අයියා පාසල් අධ්‍යාපනය අවසන් කරලා. එත් අපේ අයියා ටිකක් මන්දගාමී චරිතයක්. මම ටිකක් දඩබ්බර අකීකරු ළමයෙක්. කොහොම වුනත් මට සිද්ද වෙනවා පවුලේ බර කරට ගන්න. මම රැකියාවන් කිහිපයක්ම කළා. මට සම්බන්ධ වෙන්න ලැබුනා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. කම්කරුවෙක් විදිහට. මහියංගනේ තමා රැකියාව කලේ. මාස 09යි මට එතන ඉන්න ලැබුනේ. ගැටුමකට මැදිහත් වෙලා එතනින් එන්න ආව. ඊළඟට නුවර ඇවිත් studio එකක වැඩකලා.

ඒ කාලේ එතනට නිතරම යන එන අය හිටියා. රන්ජිත් පෙරේරා එක්කෙනෙක්. එතන තිබුන පරන film real වගයක්. ඒවා අස් කරන වැඩේ බාර වුනේ මට. එතන තිබුන shoot කරලා නතර කරපු පටි වගයක්. මම මේවා ගැන රංජිත්ට කිවුවා. එයාට චිත්‍රපටයක් කරන්න උවමනාවක් තිබුනා. බර්ටි ගුණසේකරට මේ ගැන කිවුවහම එයා පිටපතක් ලිවුවා. එකෙ නම “දෙපත් නයි” නමුත්ක ඒක වෙනස්ර කරල පිටපතක් හදල රන්ජිතුයි මමයි එකතුවෙලා චිත්‍රපටයක් කළා. ඒක තමයි “රැයත් දවාලත්”. 1969 මේ චිත්‍රපටය නිර්මාණය වුනේ. ඒ මගේ පළවැනි චිත්‍රපටය. මේක තැන් තැන් වල ප්‍රදර්ශනය කෙරුනා. අනෝමා වත්තලදෙණිය මේකේ මාත් එක්ක ප්‍රධාන චරිතයක් කළා.  ධර්මසේන පතිරාජ මගේ පන්තියේ මිත්‍රයෙක්. එයා මට බල කරලම කිවුවා හන්තානේ කතාවට නළුවෙක් හොයනවා, එකට ඉල්ලුම් කරන්න කියලා. මම ඉල්ලුම් කරපු එකට කැඳවීමක් තිබුනා.  රැයත් දවාලත් චිත්‍රපටය පෙන්නපු එක තැනකදී ඒක බලන්න සුගතපාල සෙනරත්යාපා ඇවිත් ඉඳලා. මගේ රඟපෑම් එයා දැකලත් තිබුනා. ඒ දැකල මාව හන්තානේ කතාවට තෝරා ගත්තා. එහෙමයි මම හන්තානේ කතාව චිත්‍රපටය කරන්නේ.

හන්තානේ කතාව හරහා නළුවෙක් බවට පත්වෙලා විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත්ත අමරසිරි කියන කඩවසම් නළුවා, ඊට පස්සේ සිනමාවෙන් ඈත් වෙලා වෙනත් වෘත්තියකට යොමු වෙනවා. ඒ සිදුවීම මොකක්ද.?

මට එක විදිහක ආසාවක් තිබුනා යුධ හමුදාවට බැඳෙන්න. මම ඉස්කෝලේ කාලේ කැඩෙට්, බොක්සිං, Athletic එහෙමත් කරා. ඒවත් එක්ක මගේ ආසාවකුත් තිබුනා. ඊටත් අමතරව පවුලේ නඩත්තුවට හොඳ අදායම් මාර්ගයකුත් ලැබෙනවනේ. ඒ නිසා මම ගියා interview එකට. නමුත් අවාසනාවන්ත විදිහට මට උස මදි වුනා එකට බැඳෙන්න. කොහොමහරි මම බලාපොරොත්තු නැති කරගෙන ආපහු එද්දී මට ඉස්කෝලේ කැඩෙට් පුහුණු කරපු trainer කෙනෙක් හමු වුනා. එයා මාව එක්කරගෙන ගිහින් Major දොරේරාජ්ට මාව හඳුන්වා දුනා. උස අඩු වුනත් qualification සළකා බලල මාව හමුදාවට බඳවා ගත්තා. දියතලාවේ මගේ පුහුණුව තිබුනේ. මම පුහුණු කණ්ඩායමේ හොඳම සොල්දාදුවා (Best requiter) වුනා. ඔන්න ඔහොමයි ඒක සිද්ද වුනේ.

එතකොට නැවත අර නළුවා බිහිවෙන්නේ කොහොමද.?

මෙහෙමනේ, ආසාවට උවමනාවට හමුදාවට ගියා වුනත් මට ටික කාලයක් ඉද්දි ඒක එපා වුනා. කොහොමත් මම කලිනුත් කිවුවා වගේ දඩබ්බර චරිතයක්නේ, ඉතින් එතනත් ගැටුම් අති වුනා. අන්තිමේ මම හමුදාවෙන් පැනල ආවා. ටික කාලයක් මම හැංගි හැංගි හිටියා. නමුත් මිලිටරි පොලිසියෙන් අල්ලනවනෙ. පස්සේ මමම ගිහින් බාර වෙලා වන්දි මුදලක් ගෙවල නිත්‍යානුකුලව ඉවත් වුනා. ඊට පස්සේ මම නුවර ටවුමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. My Inn කියල. පිටරටින් ගෙන්වන බදු තමා විකුනනේ. ව්‍යාපාරය මගේ අනික් හැම දෙකටම වඩා සාර්ථක වුනා. ඔහොම සාප්පුව කරගෙන ටික කාලයක් ඉද්දි ධර්මසේන පතිරාජ මාව හම්බවෙන්න ආවා. ඇවිත් කිවුවා “කලන්, 30,000ක් තියනවා නම් චිත්‍රපටයක් කරන්න පුළුවන්” කියලා. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ලොකු ගාණක්. මගේ ළඟ එච්චර සල්ලි තිබුනේ නෑ. පස්සේ අපේ ඉස්කෝලේ හිටිය මිත්‍රයෙක් ඒ වෙද්දී ව්‍යාපාරිකයෙක්. එයාට වීමෝල් එහෙමත් තිබුනා. මම පතී එක්කගෙන ගියා මුණ ගැහෙන්න. එයාගේ අර්ථපතිත්වයෙන් අපි චිත්‍රපටයේ වැඩ පටන් ගත්තා. ඒ තමයි පතිරාජගේ පළවැනි චිත්‍රපටය “අහස් ගව්ව” 30000 කියල කිවුවට වැඩ ඉවර කරද්දී ඒකට 70,000ක් ගිහින් තිබුනා.

මේ විදිහට සිනමාවට නැවත සම්බන්ධ වුනාට පස්සේ දිගටම රඟපෑම්කරාද..?

ඔව් ඊට පස්සේ මට දිගටම රඟපෑවා. මිනිස්සු මගේ රඟපෑම් දකින්න කැමති වුනා. කොතන ගියත් ආ කලන් මහත්තයා කියල කතා කරනවා, සලකනවා, මිනිස්සු හරි ආදරෙයි. ඉතින් මමත් ඒ දේවල් වලට කැමති වුනා. ඒවා අත්විඳින ඒක මට සතුටක් වුනා. බඹරු ඇවිත් පොඩි මල්ලි කාන්චනා පරිත්‍යාගය අනුපමා අපේක්ෂා තරංගා නිම වලල්ල අක්කර පහ, මේ සාර්ථක වුනු චිත්‍රපට කිහිපයක්. මම ඒ කාලේ ජනප්‍රිය නළුවෙක් (සිනාසෙයි) සේරම මගේ මතකයේ විදිහට චිත්‍රපටි 35ක විතර රඟපෑවා මම. අන්තිමට 2017 අවුරුද්දෙත් හිම තාරකා කියල චිත්‍රපටයක රඟපෑවා. ඉතින් මේ කළ දේවල් ගැන මට දන් හරි සන්තෝසයි. කීප වරක් සම්මානයටත් පාත්‍ර වෙන්න ලැබුනා. අහස් ගව්වට විචාරක සම්මානයක් ලැබුනා. ඒක මට ලොකු සතුටක්. ඒ මුල් කාලෙමනේ. අනික රටවල් 15ක් අතුරින් තමයි ඒ සම්මානය ලැබුනේ හොඳම නළුවා විදිහට.

ඒ වගේම මම තවත් සන්තොසවෙන කාරණයක් තියනවා. මම ඉගෙනගත්ත මගේ මව හා සමාන ධර්මරාජ විද්‍යාලයෙන් මට ධර්මරාජ ප්‍රණාම සම්මානය ලැබෙනවා. ඒක මට විශාල ගෞරවයක්. පාසලට කීර්තියක් අත්කර දුන් කෙනෙක් වෙනුවෙනුයි ඒක ලැබෙන්නේ. ඉතින් ඒ ප්‍රණාමය ලැබීම මට විශාල ගෞරවයක්.

වසර 50කට ආසන්න සිනමා ගමන් මගක්, අතීතයක් ඔබට තිබෙනවා. එදා සහ අද වෙනස ඔබට ඉතා හොඳින් දැනෙනවා ඇති. මොකක්ද ඔබේ අදහස..?

ඔව් එයි අයි වෙනස දැනෙනවා වැඩ කරන්න ගියහම. තාක්ෂණය අතින් නම් අති විශාල දියුණුවක් ලබල තිබෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ ඒ තරම්ම අලුත් පරම්පරාවේ විනය වැඩකට තියෙන කැපවීම දියුණු වෙලා තියෙනවද කියන එකයි. එතැනදී නම් දැනෙන්නේ කනගාටුවක්. එහෙම වෙලා නෑ. අපි මොන තරම් කැපවීමක් කරනවද ඉස්සර වැඩක් බාර ගත්තහම. නමුත් අද ඉන්න අය එහෙම නෑ. ඒ අයගේ පලවෙනි තැන ලැබෙන්නේ ඇඳුමට සහ පෙනුමට. මොබයිල් ෆෝන් එකමයි ජිවිතේ. තාක්ෂණික පැත්තෙන් තමා සියලු සම්බන්ධතා මනින්නේ. ඒවා ඉතින් ඒ අයගේ පැවැත්මට සහ ඉදිරි ගමනට එච්චර හොඳ නැහැ. ඒ වගේම තරුණ දක්ෂ නිර්මාණ කාරයින් ඉන්නවා. ඒ අයගෙන් හරියට වැඩ ගන්නවද කියල ප්‍රශ්නෙකුත් තියෙනවා. ඔන්න ඔහොම ගැටළු තියනවා.

තවත් දෙයක්, මේ සිනමාව කියන්නේ නිරුවත පෙන්විමම නෙමෙයි. එහෙම නම්බුරුවකුත් දැන් තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ අය හොඳින් සිතා බලන්න ඕනේ තමන් කරන්න යන ඩේ ගැන. කලාව කියන්නේ හරි ගෞරවනීය දෙයක්. මිනිස්සුන්ගේ ආදරය ගෞරවය ලබන ඒක ලේසියෙන් කරන්න බැහැ. ඒ නිසා තමුන් කරන දේට අවංක වෙලා කැපවීමෙන් කරන්න ඕනේ ඉති. එතකොට ඒ ළමයින්ට හොඳ ඉදිරි ගමනක් තියෙයි.

දන් ඔබේ ජීවිතය ගෙවෙන්නේ මොන විදිහටද?

මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දුවල දෙන්නයි පුතයි. පොඩි දුව විවාහ වෙලා නැහැ. අනික් අය විවාහකයි. සමහර වෙලාවට දරු මුණුබුරන් එක්ක ගත කරනවා. එහෙම නැත්නම් මමත් බිරිඳත් ගෙදර ඉන්නේ වැඩිපුරම. චිත්‍රපට බැලීම ටෙලිවිෂන් ඒක බැලීමත් පොත් පත් කියවීමත් වගේ දේවල් එක්ක තමා දවස ගෙවෙන්නේ. මට ඇත්තටම ආසාවක් තියෙනවා රංගනය කියන ඩේ උගන්වන්න. නමුත් ඒ සඳහා මහා විශාල කැපවීමක් කරන්න අවශ්‍යයි මගේ විශ්වාසය අනුව. දන් ඉන්න ළමයි ඒ කැපවීම කරන්න සුදානම් කියල නම් මට හිතෙන්නේ නෑ. ඒ නිසා ඒ අදහසත් හරි යන්නේ නැති වෙයි කියල මට හිතෙනවා.

ඔබ රසික ප්‍රසාදය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. එදා වගේම අදත් ප්‍රේක්ෂක ආදරයේ වෙනසක් වෙලා නැතුවම තියෙනවා..?

මෙහෙමයි. එදා චිත්‍රපටි එක්ක ඉඳපු ප්‍රේක්ෂකයින්ට තවම මාව මතකයි. අලුත් යට එහෙම නැහැ. අපි ඉතින් සිනමාව එක්ක දන් වැඩිය දකින්නෙත් නැහැනේ. එදා වගේ නෙමෙයි අද සිනමාව. මගේ පෞද්ගලික අදහස නම් සිනමාව හැම පැත්තෙන්ම පෝෂණය විය යුතුයි. වාණිජ සිනමාව කලාත්මක සිනමාව කියල දෙකක් තියෙනවා තමයි. ඒ දෙකම ඒක විදිහට පවතින්න ඕනේ. මොකද මිනිස්සුන්ගේ රසිකත්වය වෙනස්. එකිනෙකා කැමති එකිනෙකාගේ රුචිකත්වයට හරියන චිත්‍රපට හැදුනොත් තමයිනේ මිනිස්සු සිනමාශාලවට එන්නේ. ඉතින් ඒක නිසා සිනමාව කරන අයත් ඒ ගැන දැනගෙනයි නිර්මාණ කරන්න ඕනේ. එහෙම නැති වුනොත් ඉතින් සිනමාව අර්බුධයකට යනවා තමයි. කොහොම උනත් මට තවමත් කතා කරලා ඇගයීම් සම්මාන පිරිනමන තරම ප්‍රේක්ෂක ආදරයක් තියෙනවා, මේ ළඟදිත් එහෙම සමානයක් ලැබුනා. එක වතාවක් රුහුණු විශ්ව විද්‍යාලයෙන් මගේ චිත්‍රපට උළෙලක් කරලා මට උපහාර සම්මානයක් දුනා. ඉතින් ඒ නිසා ප්‍රේක්ෂක ජනතාවගේ ප්‍රතිචාර ගැන නම් මට තියෙන්නේ ලොකු සතුටක්. අපි එදා කල ඒ කැපවීම් අද මේ මොහොත වෙනකල්ම වලංගුයි නේද කියල දැනෙනවා ඒ ප්‍රතිචාර එක්ක.

යුග කිහිපයකම රසික ජනතාව අතර ආදරය දිනාගත් මේ දැවැන්ත රංග පෞරුෂය යලි යලිත් රිදී තිරයේ සිත්තම් වනු දැකීමට මෙරට සිනමා ප්‍රේක්ෂකයින් රිසි වනු ඇතැයි බලාපොරොත්තු වීම අරුමයක් නොවන්නේ එතරම්ම ඔහු හා සිනමාව එකින් එක බැඳී අති හෙයින්මයි. අමරසිරි කලංසූරිය ජ්‍යෙෂ්ට රංගවේදීයාණනි, ඔබට දිගාසිරි වේවායි cinema.lk අප ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් සමග එක්ව ප්‍රාර්ථනා කරන්නෙමු.

සංවාදය සහ සටහන : නිසංක වෙහෙරදුව

 

 

 

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2