ආදරේ ඇත්තමයි – වී සිවදාසන්ගෙන් තවත් අලුත්ම චිත්‍රපටයක්
වී. සිවදාසන් ලාංකීය සිනමාවට ජනකාන්ත චිත්‍රපට රැසක් දායාද කළ අධ්‍යක්ෂකවරයෙක්. සිංහයා – දෙවෙනි යුද්ධය – දරුවනේ – දෝණි වැනි සිනමාපට රැසක් හරහා ඔහු මෙරට රසිකයින්ට සමීප වී තිබෙනවා. මේ වනවිට වී. සිවදාසන් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටයක වැඩ කටයුතු ඇරඹී තිබෙන අතර එහි පළමු පූර්ව ප්‍රචාරක පටයත් පසුගියදා අන්තර්ජාලයට නිකුත් කළා.
“ආදරේ ඇත්තමයි” නමින් හැඳින්වෙන මෙම නවතම චිත්‍රපටයට මෙරට ජනකාන්ත නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ පුබුදු චතුරංග – නිරංජනී ශන්මුගරාජා – කීත් රංග සමඟින් පබෝදා සංදීපනී යි.
චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය පහත සබැඳියෙන් නැරඹිය හැකියි.
මෙරට සිනමාවේ කලකින් නොදුටු, වෙනස්ම අන්දමේ කතාවක් වටා ගෙතෙන ආදරේ ඇත්තමයි චිත්‍රපටය වී. සිවදාසන්ගේම තිර රචනයක්. ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයාව ඇද බැද තබා ගන්නා ත්‍රාසජනක – නැවුම් සිද්ධි දාමයක් මෙම චිත්‍රපටයට පාදක වී තිබෙනවා.
ආදරේ ඇත්තමයි චිත්‍රපටය ආරම්භ වන්නේ, තරුණ යුවලක් ගමන් ගන්නා මෝටර් රථයකට මඟදී ගොඩවන දුප්පත් යාචකයෙකු සමඟයි. මුලදී පිස්සෙකු මෙන් රඟපෑවත් ඔහු කෙමෙන් කෙමෙන් ඒ යුවලගේ ජීවිතයට අනපේක්ෂිත බලපෑම් සිදු කරන්නට පටන් ගන්නවා.
පාරේ අහම්බයෙන් මුණ ගැහෙන යාචකයෙකු තවත් කෙනෙකුගේ ජීවිතයට බලපෑම් කරන්නේ කොහොමද?
ඔහු ඇත්තටම යාචකයෙක්ද? නැතහොත් වෙනත් අයෙක්ද?
ඔහු මෙලෙස පළිගන්නේ මොන හේතුවක් නිසාද?
මෙම අනපේක්ෂිත අනතුරෙන් බේරෙන්නට තරුණ යුවලට හැකියාවක් ලැබෙයිද?
මේ ගැන දැනගන්නට නම් ඔබට වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ආදරේ ඇත්තමයි චිත්‍රපටය නරඹන්නට ම සිදු වනවා!!
පබෝදා සංදීපනී, නදීෂා අලහප්පෙරුම, ස්වේතකී වාදසිංහ (ළමා නිළි), දුල්ශාන් මිහිරංග (ළමා නලු), ඉන්දික සේරුක්, මධුෂාන් නානායක්කාර සහ නිරෝෂන් ඉලේපෙරුම වැනි තවත් නලු නිළියන් රැසක් ආදරේ ඇත්තමයි චිත්‍රපටයට රංගනයෙන් එක් වනවා.
සිනමාපටයේ නිෂ්පාදනය සිදු කරන්නේ Ra Ra Productions විසිනි. සම අධ්‍යක්ෂණය කීර්ති රුවන් ලාල්සන් සහ කැමරාකරණය සුජිත් නිශාන්ත විසින් සිදු කර තිබෙනවා. සංස්කරණය මේඝ කොළඹගේ යි.
ඉන්දියානු සංගීතවේදියෙකු වන උදයන් වික්ටර් මෙහි සංගීත අධ්‍යක්ෂකවරයායි. ශබ්ද පරිපාලනයට ඩිරාන් විජයසිංහ සහ වේෂ නිරූපණයට සුරේෂ් ඉන්දික සම්බන්ධ වුනා. උපාලි උදයසිරි චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයායි.
එතරම් කාලයක් ගත වෙන්නට පෙර, නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලදී ඔබට මේ අපූරු සිනමා නිර්මාණය රස විඳින්නට අවස්ථාව ලැබේවි.
Written by Kavinu Weerakkody