ආදර මත්ස්‍යයින්ගේ දූපතට පැමිණි නිහඬ මිනීමරුවෙක්.

Avatar Nisanka Weheraduwa | July 6, 2021 181 Views 0 Likes 0 Ratings

181 Views 0 Ratings Rate it

මලයාලමේ කට්ට කලු යක්ෂයා, Vinayakanගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ Pranaya Meenukalude Kadal සිනමාපටය කේරළ සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ වුණේ 2019 වසරේ ඔක්තෝබර් 04වනදා සිටයි. නමුත් මේ වනවිටත් චිත්‍රපටය වෙනුවෙන් ලැබී තිබෙන්නේ 4.5/10ක් වැනි තරමක් අඩු IMDb අගයකුයි. අතිශය අලංකාර භූමි දර්ශන සහ දිය යට රූපගත කිරීම් තිබුණත් බොහෝ දෙනා මෙම නිර්මාණය ගැන නොසතුට පළ කරන්නේ ඇයි?

මුලින් සඳහන් කළ ආකාරයට චිත්‍රපටයේ ප්‍රධානම චරිතය වන “අයිදෘ” නම් මසුන් මරන්නාගේ චරිතයට එකතු වන්නේ චරිතාංග නලු Vinayakan. ඉන්දීය ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ Dileesh Pothan ද ඔහුත් සමඟම මේ චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන්. විනායකන් – දිලේෂ් පොතාන් සුසංයෝගය, මෑතකාලීන මලයාලම් සිනමාවේ iconic duo එකක් විදිහටත් විචාරකයෝ නම් කරනවා. ඔවුන් දෙදෙනා 2019 වසර තුළම එකම සිනමාපටයක් තුළින් අපට හමුවන දෙවන අවස්ථාව තමයි මේ. 2019 වර්ෂයේදීම තිරගත වුණු Thottappan චිත්‍රපටය ගලා යන්නෙත් ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය වටායි.

කෙසේ වෙතත් මොවුන් දෙදෙනාට අමතරව සෙසු ප්‍රධාන චරිත ද්විත්වය වන, පෙම්වතා සහ පෙම්වතියගේ චරිත සඳහා එක් වන්නේ ආධුනික ශිල්පීන් දෙදෙනෙක්. ජැස්මින්ගේ භුමිකාව Ridhi Kumar විසිනුත් අජ්මාල්ගේ චරිතය Gabri Jose විසිනුත් රඟ දක්වනවා. Pranaya Meenukalude Kadal අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය සිනමාකරුවෙකු වන Director Kamal විසිනුයි. දිය යට චිත්‍රපටයක් කරන්නට සෑහෙන කාලයක් තිස්සේ ඔහුට තිබුණු ආශාව මේ හරහා සම්පූර්ණ කරගත් බවත් වරෙක සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබෙනවා. සිනමාපටයේ සම්පූර්ණ රූපගත කිරීම්වලින් 1/5ක් වගේ underwater scenes ලෙස දැකගත හැකිවීමත් විශේෂත්වයක්.

මෝරුන් සමඟ කරන දිය යට සටන් ජවනිකා, සිපගැනීම්, ඇතුළු දිය යට රොමාන්තික දර්ශන, මේ සියල්ලකින්ම Pranaya Meenukalude Kadal සම්පූර්ණයි.

Storyline:

අජ්මාල් නැමැති විනෝදකාමී තරුණයා ලක්ෂද්වීප් නැමැති දිවයිනට එන්නේ අරක්කල් නැමැති රාජකීය පවුලට අයිති පෞරාණික නැවක් අලුත්වැඩියා කිරීම වෙනුවෙනුයි. පැමිණ කෙටි කාලයකින්ම ඔහු, ඒ අරක්කල් පවුලේ මිණිපිරිය සමගින් ආදර සම්බන්ධයක් ගොඩ නගා ගන්නවා. නමුත්, ඇගේ මිත්තණිය හෙවත් අරක්කල් පවුලේ ප්‍රධානියා, බීමම්මා මේ සම්බන්ධය ගැන දැන ගැනීමත් සමඟ මේ සියල්ලටම බාධා ඇති වනවා. ඒ අතරේදී  ලක්ෂද්වීප් දිවයිනේ හොඳම මෝර මරන්නා වන “අයිදෘ” මේ කතාවට සම්බන්ධ වනවා. මෙතැන් පටන් ඔවුන්ගේ ආදරයට සිදුවන්නේ කුමක්ද? අයිදෘව මෙහෙවන්නේ කවුද? බීමම්මා සහ නිශ්ශබ්ද මිනීමරුවෙකු වන් අයිදෘ අජ්මාල් සහ ඔහුගේ පෙම්වතියගේ  ආදර සම්බන්ධයට කෙසේ මැදිහත් වෙයිද?

Positivities:

මේ සිනමාපටයේ දැකිය හැකි Plus Point එකක් ලෙස Vinayakanගේ දායකත්වය නම් කළ හැකියි. ඔහුගේ හැඟීම් ප්‍රකාශනය චිත්‍රපටය පුරාවටම දැකගන්න ලැබෙනවා වගේම, චිත්‍රපටය වෙනස්ම තලයකට අරගෙන යන්නේ ඔහු විසිනුයි. Vinayakan කියන්නේ කට්ට කළු මනුස්සයෙක්. හැබැයි ඒ කට්ට කළු මනුෂ්‍යයා මේ කතාවේදීත්  හැඟීම් සමග සෙල්ලම් කරනු දැකගත හැකියි.

මේ සිනමාපටය තුළ අඩංගු මුහුද යට සටන් ජවනිකා, වෙන කිසිදු කේරළ නළුවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි බව ප්‍රේක්ෂක අදහස් වලින් කියවෙනවා. හාපූනයක් අතින් අරන් මුහුදු පතුල දිගේ දිව යන Vinayakan  මුල සිට අග වෙනකන්ම මේ චිත්‍රපටයම “ඇදගෙන යනවා” යැයි කිව හැකියි.

කතා තේමාව මුහුද සමඟ බොහොම සමීප නිසා සෑම තැනකම පාහේ මුහුදට සම්බන්ධ භූමි දර්ශන  දැකගත හැකියි. ලක්ෂද්වීප් දිවයින වටා තිබෙන රමණීය මුහුදු තීරයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට Production Crew එකට හැකියාව ලැබී තිබෙනවා. හිරිගල් සහ කොරල්පර මතින් දිවෙන අලංකාර underwater scenes රැසක් Pranaya Meenukalude Kadalට ඇතුළත් කොට තිබෙනවා.  ප්‍රේක්ෂකයාට ලබාදෙන Visual Treatment එක සැබවින්ම අලංකාර වන්නේ මේ නිසයි. චිත්‍රපටයේ ගීත ඛණ්ඩ සහ පසුබිම් සංගීතය මෙහි සාර්ථකත්වයට ලොකු දායකත්වයක් ලබා දෙනවා. නිවී සැනසිල්ලේ සවන් දෙන්න පුලුවන් බොහොම මියුරු ගීත කිහිපයක්ම චිත්‍රපටයේ අඩංගුයි. පසුබිම් සංගීතයෙන් පවා අවශ්‍ය මොහොතේදී අවශ්‍ය හැඟීම දනවන පරිදි නිර්මාණය වී තිබෙනවා.

Negativities:

Vianayakanගේ චරිතය ගොඩ නඟා තිබුණු ආකාරය ගැන  සතුටු විය නොහැකි බව බොහෝ දෙනෙක් පවසනවා. පිටපත තුළ යම් ප්‍රබල කතාවක් මග නවත්වා තිබෙනවා වැනි හැඟීමක් ඇතිවන බවයි බොහෝ ප්‍රේක්ස්ෂක අදහස් වලින් කියාවි තිබෙන්නේ. ඔහුගේ චරිතය ප්‍රබලව ගොඩනගන්නට හැකියාව තිබියදිත් එය නිසි පරිදි සිදුවී නොමැති නැති නිසාම, චරිතයට සාධාරණයක් ඉටු වී නොමැති බවක් ප්‍රේක්ෂකයාට දැනීම නොවැලැක්විය හැකියි. අජ්මාල් සහ ජැස්මින්ගේ ආදර කතාව විනායකන් සමඟ එකට කලවම් වූ ගතියකුත් පෙනෙන්නට තිබෙන අතරම එවැනි Sub Stories කිහිපයක්ම එකිනෙක මත Clash වීම නිසා, සිනමාපටය මැදදී  දැනෙන්නේ තරමක උදාසීන ගතියක්. බොහෝ අනවශ්‍ය චරිත චිත්‍රපටයට බලෙන් මෙන් ඔබවා තිබෙනු දැකගත හැකියි.

CGI දර්ශන ගැනත් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදිය නොහැකියි. නමුත් පැය දෙකක තරම් චිත්‍රපටයකින්, ඒ වෙනුවෙන් වෙන් වී තිබෙන්නේ තත්පර 40-50ක් වැනි සුලු කාලයක් පමණක් නිසා ලොකු බලාපොරොත්තු කඩවීමකුත් නැහැ. ප්‍රධාන නිළියගේ චරිතයට වෙනත් ආදේශකයක් යොදාගන්නට තිබුණා නම්, කියන කාරණාව චිත්‍රපටය බලන බොහෝ දෙනෙකුට සිතිය හැකියි. වෙනත් නිළියක් ඒ චරිතයට දායක වූයේ නම්, ප්‍රේමනීය බව පවා තවත් වැඩි වන්නට තිබුන බවත් පැවසිය හැකියි.

Summary:

Pranaya Meenukalude Kadal  සිනමාපටය ගැන සමස්ත අදහසම තනි වාක්‍යකට ගොනු කළොත්, “කතාවට ගලා යන්නට නොදී හිර කරපු හොඳ ලස්සන Visual Treat එකක්” යැයි සරළව පැවසිය හැකියි.

Recommendation:

තවත් කෙනෙකුට මේ චිත්‍රපටය Recommend කරනවද? ඔබ Vinayakanගේ රසිකයෙක් නම්, උත්තරය වෙන්නේ ඔව් කියන එකයි. Emotions එක්ක ගණුදෙණු කරන මිනිහෙක්ගේ හොඳ Energetic Performance එකක් බලාගන්න ආසාවෙන් ඉන්න අයට මෙය හොඳ තෝරාගැනීමක් වේවි. නමුත් ඔහු මුළු කතාවම තනියම ඇදගෙන ගියත්, සිනමාපටයක් සාර්ථක කරන්න තනි නළුවකුගේ දායකත්වය ප්‍රමාණවත් වන්නෙ නැහැ. ඔහු ඔහුගේ චරිතයට උපරිමය කළත් බොහෝ පැතිවලින් සැලකිය යුතු දායකත්වයක් මේ  සිනමාපටයට ලැබී නොමැති බවත් කිව යුතුමයි.

Share

181 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.