ආමීර් ඛාන්ගේ අවාසනාවේ තිත Sitaare Zameen Par වේවිද?

Avatar Kavinu Weerakkody | May 1, 2024 149 Views 0 Likes 4 On 1 Rating

149 Views 4 On 1 Rating Rate it

නිෂ්පාදකයින්ට විශාල මූල්‍යමය අලාබයක් සිදු කළ චිත්‍රපට කිහිපයක් සහ ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට නොහැකි වූ අසාර්ථක වසර කිහිපයකින් පසුව යළිත් සිනමාවට පිවිසෙන්නට ජනප්‍රිය රංගන ශිල්පී Aamir Khan දැන් නැවතත් සූදානම් වනවා. ඔහුගේ මෙම අවාසනාවන්ත කාල පරිච්ඡේදය ආරම්භ වුනේ 2018 වසරේදී Thugs of Hindustan චිත්‍රපටයත් සමඟයි.

ප්‍රේක්ෂකයින්ගේ ඍණාත්මක ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වුනු Thugs of Hindustan සිනමාපටය, විශාල අසාර්ථකත්වයකට මුහුණ දීමත් සමඟ රංගනයෙන් තාවකාලිකව සමුගත් ආමීර් ඛාන්, නැවතත් රංගනයට එකතුවන්නේ 2022 වසරේදී යි. වසර 04ක පමණ කාලයක් ඔහුගේ නව චිත්‍රපටයක් දැක බලා ගැනීමට රසිකයින්ට අවස්ථාවක් නොවූ නිසාත්, Thugs of Hindustan චිත්‍රපටයේ අසාර්ථකත්වය අභබවමින් මෙවර හොඳ බොක්ස්-ඔෆිස් ආදායමක් රැස් කරගැනීමට ඔහුගේ නවතම චිත්‍රපටයට සමත් වේ යැයි ඉන්දීය සිනමා රසිකයින් බලාපොරොත්තු වූ නිසාත්, 2022 වසරේදී ආමීර් ඛාන්ගේ රංගනයෙන් හැඩවුනු Laal Singh Chaddha ප්‍රදර්ශනය ආරම්භ කරන විට සමස්ත ඉන්දියාවේ ම අවධානය ඊට යොමුව තිබුනා.

නමුත් නොසිතූ පරිදි Laal Singh Chaddha චිත්‍රපටයට අත් වුනේත් Thugs of Hindustan සිනමාපටයට අත්වුන ඉරණමමයි. Thugs of Hindustanටත් වඩා වැඩි මූල්‍යමය පාඩුවක් අත්කර දෙමින් විශාල අසාර්ථකත්වයකට මුහුණ දීමටයි, ආමීර්ගේ Laal Singh Chaddha සිනමාපටයට සිදුවුනේ…
එය හොලිවුඩ් නලු ටොම් හෑන්ක්ස්ගේ Forrest Gump නැමැති ලෝකප්‍රසිද්ධ සිනමාපටයේ නිල හින්දි ප්‍රතිනිර්මාණය වුවත්, බොහෝ ප්‍රේක්ෂකයින් විසින් ආමීර්ට චෝදනා කළේ Laal Singh Chaddha වැනි පහළ ගණයේ ප්‍රතිනිර්මාණයක් හරහා මුල් Forrest Gump සිනමාපටයේ ගුණාත්මකබාවයට පවා හානියක් සිදුවන බවයි.

2018 සිට මේ දක්වා වසර හයකටත් වැඩි අසාර්ථකත්වයේ ඉරණමකට මුහුණ දෙමින් සිටින ආමීර් ඛාන්, දිගු නිහැඬියාවකින් පසුව දැන් නැවතත් නවතම චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කොට තිබෙනවා.

වාර්තා වන පරිදි මෙය 2018 වසරේ තිරගත වුනු ජනප්‍රිය ස්පාඤ්ඤ සිනමාපටයක ප්‍රතිනිර්මාණයක්. “Champions” යනුවෙන් හැඳින්වෙන එම චිත්‍රපටය sports – comedy ශානරයට අයත් ප්‍රහසන චිත්‍රපටයක් වගේම විදෙස් සිනමා උළෙල ගණනාවකදී ජයග්‍රහණය කළ සම්මානනීය චිත්‍රපටයක්. 91වන ඇකඩමි (Oscars) සම්මාන උළෙලට ස්පාඤ්ඤයෙන් ඉදිරිපත් කළ නිල සිනමාපටය වන්නේ ද මෙයයි.

ආමීර් සිය ඊළඟ රංගනය වෙනුවෙන් තෝරාගෙන තිබෙන්නේ මෙවැනි සම්මානනීය චිත්‍රපටයක් වුවත්, දැනටම ඇතැම් පිරිසකගේ විරෝධතාවයකුත් ඊට එල්ල වී තිබෙනවා. ඊට හේතුව වන්නේ ආමීර් පිට පෙර රඟපෑ චිත්‍රපට දෙකත් විදෙස් සිනමාපටවල ආභාෂය ලබමින් නිර්මාණය වූ ඒවා නිසායි. Thugs of Hindustan පුරාම ලෝකප්‍රසිද්ධ Pirates of the Caribbean හොලිවුඩ් චිත්‍රපට මාලාවේ ආභාෂය තිබෙන බව එහි නිර්මාණකරුවන් පවා ප්‍රසිද්ධියේ පිළිගත් කාරණයක්. Laal Singh Chaddha කියන්නේ ත් Forrest Gump නැමැති ලෝකප්‍රසිද්ධ හොලිවුඩ් සිනමාපටයේ නිල හින්දි ප්‍රතිනිර්මාණයයි.

විදෙස් භාෂාමය චිත්‍රපට අනුසාරයෙන් නිෂ්පාදනය කළ මෙම සිනමාපට ද්විත්වය දැඩි අසාර්ථකත්වයක් ලැබුනු නිසා ආමීර් ඛාන්ගේ රසිකයින් විසින් චෝදනා කරන්නේ “Champions” නැමැති ස්පාඤ්ඤ චිත්‍රපටය අනුසාරයෙන් නිර්මාණය කරන්නට යන අලුත්ම චිත්‍රපටයටත් එම ඉරණමම අත් විය හැකි බවයි.
විදෙස් භාෂාමය සිනමාපටයක් වෙනුවට, ඉන්දියාවේ සිටින දක්ෂ තරුණ සිනමාකරුවෙකුගේ original තිර පිටපතක් යොදාගෙන සිය ඊළඟ චිත්‍රපටයට භාවිතා කරන ලෙසට ඔවුන් ආමීර් ඛාන්ට යෝජනා කරනවා.

කෙසේ වුවත් මේ වනවිවටත්, මෙම චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු අවසන් වී තිබෙන අතර සැලකිය යුතු රූගත කිරීම් ප්‍රමාණයකුත් සිදු කොට අවසානයි. එනිසා ප්‍රේක්ෂකයින්ගේ විරෝධයක් තිබුනද, ආමීර් ඛාන්ගේ ඊළඟ සිනමාපටය ලෙසින් රසිකයින්ට නරඹන්නට හැකි වන්නේ මෙම නිර්මාණයයි.

මෙම නවතම හින්දි සිනමාපටයේ නම “Sitaare Zameen Par” යනුවෙන් යොදා ගන්නට නිෂ්පාදක කණ්ඩායම තීරණය කළ බව ආමීර් ඛාන් විසින්ම පැවසූයේ පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී යි. නමුත් එය ඔහුගේ පෙර චිත්‍රපටයක් වන Taare Zameen Par හි දිගුවක් හෝ ඊට සම්බන්ධ නිර්මාණයක් නොවන බවටත් ඔහු එහිදී තහවුරු කළා.

Taare Zameen Par නිර්මාණයට සෘජු සම්බන්ධයක් නොදැක්වුවත්, කතා තේමාව එම චිත්‍රපටය මෙන්ම ගුරුවරයෙක් සහ සිසුන් අතර සිදුවන සිද්ධි දාමයක් වටා ගෙතෙන නිසායි “Sitaare Zameen Par” යනුවෙන් මෙම නව සිනමාපටයට නම් තබා තිබෙන්නේ…

Sitaare Zameen Par චිත්‍රපටයට පාදක වන්නේ ක්‍රීඩා පුහුණුකරන ගුරුවරයෙකු සහ ඔහුගේ බාස්කට්බෝල් කණ්ඩායමට එකතුවන තරුණ වියේ ළමයින් පිරිසක් වටායි. නමුත් වෙනස වන්නේ, මේ පිරිස සාමාන්‍ය ළමුන් මෙන් නොවෙයි; විශේෂ අවශ්‍යතා සහිත පිරිසක් වීම නිසායි.
මෙම දඟකාර සිසුන් ඉදිරියේ ඔවුන්ගේ ක්‍රීඩා ගුරුවරයාට මුලදී විශාල අපහසුතාවලට මුහුණ දෙන්නට සිදුවුනත්, පසුව කෙමෙන් කෙමෙන් ඔහු සහ මෙම ළමුන් අතර දැඩි හිතවත්කමක් ගොඩ නැඟෙන අතර ඒ වටා චිත්‍රපටය දිවෙනවා.

මෙය Taare Zameen Par සේම සංවේදී මාතෘකාවක් වනු ඇති බවටත්, නමුත් ඊට වඩා විනෝදය – හාස්‍ය පිරුනු චිත්‍රපටයක් වනු ඇති බවටත් ආමීර් ඛාන් පැවසූ අතර තිර පිටපතේ වැඩ කටයුතු අවසන් වූ වහාම චිත්‍රපටයේ රූගත කිරීම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට සැලසුම් කරමින් සිටින බවටත් එහිදී ප්‍රකාශ කළා.

Sitaare Zameen Par චිත්‍රපටයට අධ්‍යක්ෂණය කිරීම සඳහා ආමීර් ඛාන් සමඟින් ගිවිසුම්ගත සිටින්නේ දකුණු ඉන්දියානු දමිළ සිනමාව තුළින් අධ්‍යක්ෂණයට පිවිසි RS Prasanna නැමැති අධ්‍යක්ෂකවරයායි. ඔහු 2013 වසරේදී Kalyana Samayal Saadham නැමැති දමිළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි අතර 2017දී Shubh Mangal Savdhan චිත්‍රපටයෙන් බොලිවුඩයට එක්වුනා.
ජනප්‍රිය නලු අයුෂ්මාන් කුරානා සහ භූමි පෙඩ්ණේකර් ප්‍රධාන රංගනයෙන් එක්වූ Shubh Mangal Savdhan, එකල බොලිවුඩයේ සැලකිය යුතු ජනප්‍රියත්වයක් හිමිකරගත් සිනමාපටයක්.

එයින් පසුව RS Prasanna අධ්‍යක්ෂණය කරන තුන්වන සිනමාපටය වන්නේ මෙයයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා ජනප්‍රිය හින්දි නිළියක වන අනුෂ්කා ශර්මාව තෝරාගෙන තිබෙන බවට මුලදී ආරංචි වුවත්, මේ වනවිට එම චරිතය සඳහා අවස්ථාව ලැබී තිබෙන්නේ Genelia D’Souza හටයි. දමිළ සහ තෙළිඟු සිනමාපට තුළින් රංගනයට පිවිසි Genelia D’Souza 2000 දශකය මුල භාගයේදී සමස්ත දකුණු ඉන්දියාවම වසඟයට ගත් නිළියක්.
Boys, Satyam, Sachein, Raam, Santosh Subramaniam වැනි සිනමාපට තුළින් විශාල රසික ජනප්‍රියත්වයක් ගොඩ නඟාගන්නට ඇය සමත් වුවත් 2012 වසරේදී තවත් හින්දි නලුවෙකු වන රිතේෂ් දේශ්මුක් සමඟින් ඇය විවාහ වීවත් සමඟ, Genelia රංගනයෙන් සමුගත්තා.

වසර 10ක දිගු නිහැඬියාවකට පසු ඇය නැවතත් සිනමාවට පිවිසුනේ පසුගිය වසරේදී තිරගත වුනු Mister Mummy සහ Ved චිත්‍රපට ද්විත්වයෙන්. දශකයකට පසුව දැන් යළිත් ඇයව බොලිවුඩ් සිනමාවෙන් දැකගැනීමට රසිකයින්ට හැකිවේවි. Sitaare Zameen Par ඇතුළු ඉදිරියේදී තිරගත වීමට නියමිත හින්දි සිනමාපට කිහිපයකම රංගනයෙන් එකතුවීමට ඇය කැමැත්ත පළ කොට තිබෙනවා.

පසුගිය පෙබරවාරි – මාර්තු අතර කාල සීමාවේදී චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වූ අතර මේ වසරේ දෙවන කාර්තුවට පෙර චිත්‍රපටයේ සියලුම දර්ශන රූගත කොට අවසන් කිරීමටයි අධ්‍යක්ෂකවරයා වන RS Prasannaගේ සැලසුම වන්නේ… ඒ අතරතුරේදී ආමීර් ඛාන් විසින් තවත් චිත්‍රපටයක cameo දර්ශනයක් සඳහාත් රංගනයෙන් එක්වීමට නියමිතයි.

ඒ Rajkumar Santhoshi අධ්‍යක්ෂණය කරන, සනී ඩියෝල්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන Lahore: 1947 චිත්‍රපටයයි. හින්දි සිනමාවේ වාර්තා රැසක් අලුත් කළ Gadar 2 සිනමාපටයට පසුව සනී ඩියෝල් රඟන නවතම චිත්‍රපටය එය වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අමීර් ඛාන් හිමිකාරීත්වය දරන Aamir Khan Productions විසිනුයි. ආමීර් විසින් එහි සුලු කැමියෝ දර්ශනයකින් රසිකයින්ට දැකගන්නට පුලුවන්.
Lahore: 1947ට අමතරව Rajkumar Santhoshi විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත තවත් සිනමාපට දෙකක නිෂ්පාදන දායකත්වය දරන්නට ආමීර් ඛාන් සූදානමින් සිටිනවා.

එළඹෙන 2024 දෙසැම්බර් මාසයේදී නත්තලට සමගාමීව Sitaare Zameen Par චිත්‍රපටය ලෝ පුරා තිරගත කිරීමට නියමිතයි.

නත්තල් දින වකවානුවේදී තිරගත වන මෙම සිනමාපටයත් සමඟ තවත් සුවිශේෂී චිත්‍රපටයක් ඒ දිනවලම තිරගත වීම ආරම්භ කරනවා. ඒ ආක්ෂේ කුමාර් ප්‍රධාන රංගනයෙන් දායක වූ Welcome සිනමාපට මාලාවේ නවතම දිගහැරුම වන, Welcome to the Jungle හින්දි චිත්‍රපටයයි.
Sitaare Zameen Par සහ Welcome to the Jungle චිත්‍රපට ද්විත්වයම එලෙස 2024 නත්තලට සමගාමීව සිය ප්‍රදර්ශනය ආරම්භ කළහොත්, එය 2007 නත්තල් සමයේදී තිරගත වුනු හින්දි චිත්‍රපට ද්විත්වයක ඉතිහාසය නැවත සිදුවීමක් වනවා.
ඊට හේතුව වන්නේ, 2007 වසරේදී ආමීර් ඛාන්ගේ Taare Zameen Par සහ ආක්ෂේ කුමාර්ගේ Welcome චිත්‍රපට ද්විත්වය තිරගත වුනේ ද මේ පරිදිම, 2007 නත්තලට සමගාමීව වීමයි.

Share

149 Views 4 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.