“ආයු” සමගින් චත්‍ර වීරමන් බාසිලෝනා සිනමා උළෙලට.

Avatar Nisanka Weheraduwa | December 4, 2020 81 Views 0 Likes 0 Ratings

81 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල්
“ආලෝකෝ උදපාදි” චිත්‍රපටය හරහා ශ්‍රී ලාංකේය සිනමාවට අවතීර්ණ වූ චත්‍ර වීරමන්ගේ දෙවෙනි සිනමා නිර්මාණය වන “ආයු” (Ayu) චිත්‍රපටය මේ දිනවල ස්පාඤ්ඤයේ පැවැත්වෙන 08 වෙනි බාසිලෝනා ආසියානු සිනමා උළෙල (Asian Film Festival Barcelona) නියෝජන කිරීමට සමත්ව ඇත.
උළෙලේ අන්තර්ගත ඩිස්කවරීස් අංශය (Discoveries Section) යටතේ “ආයු” චිත්‍රපටය උළෙල නියෝජනය කරන අතර, “ආයු”  සමග ඉරානය, කොරියාව, චීනය, ඉන්දියාව, ජපානය ආදි රටවල් 12 ක් නියෝජනය කරන සිනමාපට 19 ක් එම අංශය යටතේ පිරිනමන හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක හා හොඳම තිර රචනය යන සම්මාන තුන සඳහා තරඟ වදී.
කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් බාසිලෝනා ආසියානු සිනමා උළෙල මෙවර හයිබ්‍රිඩ්  ක්‍රමයට  (Hybrid Format= Theatrical Screenings+ Online Screenings) පැවැත්වෙන අතර, “ආයු චිත්‍රපටය” නොවැම්බර් 29 වෙනිදා දක්වා ඔන්ලයින් ක්‍රමයට උළෙලේදී මහජනතාවට ප්‍රදර්ශනය විය. ආසියානු රටවල් 23 ක් හා ආසියානු පැසිෆික් කලාපීය රටවල් දෙකකට අයත් සිනමාපට 118 ක් මෙවර උළෙලේ තිරගත වේ . ඔක්තොම්බර් 28 වෙනිදා ආරම්භ වූ උළෙල එළෙඹෙන දෙසැම්බර් 08 වෙනිදා දක්වා පැවැත්වේ.
බාසිලෝනා ආසියානු සිනමා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ දෙවැනි දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය “ආයු” වූ අතර, මීට පෙර උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය (Official Competition Section) නියෝජනය කරමින් සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” චිත්‍රපටය 2017 වර්ෂයේදී උළෙලේ තිරගත විය. එසේම “ආයු” ප්‍රදර්ශනය වූ දෙවෙනි අන්තර්ජාතික සිනමා උළෙල මෙය වන අතර, එය පළමු වරට මේ වසරේ ජනවාරි මස බංගලාදේශයේ පැවැති 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ තිරගත විය.
සැන්ඩ්රා මැක්, ජගත් මනුවරණ, මාලනී ෆොන්සේකා, අශාන් ඩයස්, කෙනාරා වීරතුංග, සමනලී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, ප්‍රියන්ත සිරිකුමාර, උදාර අබේසුන්දර, නලින් ලුසේනා, දසුන් පතිරණ, සම්පත් ජයවීර යන අයගේ රංගනයෙන් හැඩවෙන “ආයු” චිත්‍රපටයේ කතාව සමන් වීරමන්ගෙනි. තිර රචනය චත්‍ර වීරමන් හා ශක්ති වීරසිංහගෙනි. කැමරාකරණයෙන් කාලිංග දේශප්‍රිය, සංස්කරණයෙන් සමන් ඇල්විටිගලත්, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝනුත්, කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්තත්, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහත්, වර්ණ සංකලනයෙන් දිනිඳු ජාගොඩත්, ඇඳුම් නිර්මාණයෙන් කුමාර කරව්දෙණියත්, අංග රචනයෙන් හර්ෂ මංජුලත්, කේෂාලංකරණයෙන් හරූන් ෂයිඩීනුත්, නිෂ්පාදන කළමණාකරණයෙන් ඉරේෂ් කරුණාරත්නත්, සහාය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාරත්, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රිමාල් රණසිංහ හා සෂික ගනේගොඩගේත්, නිශ්චල ජායාරූපකරණයෙන් ශෙහාන් ඔබේසේකරත් දායකත්ව ලබා දී ඇති “ආයු” චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය විශ්‍රාමික යුද්ධ හමුදාපති ජෙනරාල් දයා රත්නායකගෙනි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
Share

81 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.