ඇල්බොරාදා පූර්ව ප්‍රචාරක පටය නරඹන්න
ඇගේ ඇස අග සහ අසන්ධිමිත්තා සිනමාපටවලට පසුව අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ, සරසවි සිනෙරූ නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටයක් නුදුරු දිනකදීම දිවයින පුරා සිනමාශාලාවල තිරගත වීමට නියමිතයි. චිලී ජාතික පැබ්ලෝ නේරුදා මෙරට ගත කළ කාලය පාදක කරගෙන නිර්මාණය වූ මෙම සිනමාපටය ඇල්බොරාදා හෙවත් Alborada: The Downing of the Day යනුවෙන් නම් කර තිබෙනවා.
1929 වසරේදී ලංකාවට පැමිණෙන පැබ්ලෝ නේරුදා ලෝක ප්‍රකට චිලී ජාතික කවියෙක්. 1929 වසරේ සිට 1931 වසර දක්වා ලංකාවේ චිලියානු කොන්සාල්වරයා ලෙස ඔහු කටයුතු කළා. පැබ්ලෝ නේරුදා ලංකාවේ සිටි කාලයේදී ඔහු ජීවත් වී තිබෙන්නේ වැල්ලවත්ත ප්‍රදේශයේ වෙරළබඩ නිවසකයි. මේ නිවසේ වාසය කළ සමයේදී වැල්ලවත්තේ කසළ ශෝධක ස්ත්‍රියක් සමඟ පැබ්ලෝ සම්බන්ධයක් ඇති කරගගෙන තිබෙනවා. අශෝක හඳගමගේ ඇල්බොරාදා චිත්‍රපටයට වස්තු බීජ වී තිබෙන්නේ පැබ්ලෝ නෙරුදා සහ ඇය අතර වූ සම්බන්ධයයි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර පහත සබැඳියෙන් ඔබට එය නරඹන්න හැකියි.
පැබ්ලෝ නේරුදා ලෙස Luis J Romero සහ පැබ්ලෝගේ පෙම්වතිය Ann – Solenne Hatte ලෙස රංගනයෙන් දායක වන මෙම සිනමාපටයේ සෙසු චරිත වෙනුවෙන් ලාංකීය ශිල්පීන් පිරිසක් එක්ව සිටිනවා. කසළ ශෝධක කාන්තාවගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන රිතිකා කොඩිතුවක්කුයි. අශෝක හඳගම මීට පෙර අධ්‍යක්ෂණය කළ ඇගේ ඇස අග (Let Her Cry) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකටත් රිතිකා කොඩිතුවක්කු සම්බන්ධ වූ අතර චිත්‍රපටය තිරගත වීම ඇරඹීමත් සමඟ ඇගේ රංගනය ගැන විශාල කතාබහක් ද මෙරට රසිකයින් අතරේ ඇති වුනා.
චිත්‍රපටයේ වැදගත් භූමිකාවක් වන ලයනල් වෙන්ටඩ්ගේ චරිතය නිරූපණය කරන්නේ මෙරට ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පියෙක් වන ඩොමිනික් කෙලර් විසිනුයි. ඊට අමතරව මැල්කම් මචාඩෝ, නිමායා හැරිස්, කෞෂල්‍යා මෙන්ඩිස්, තුසිත ලක්නාත්, ක්‍රිශාන්ත ජයබාහු, සමත්න බාලසූරිය වැනි ලාංකීය ශිල්පීන් ගණනාවක් ඇල්බොරාදා චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.
Luis J Romero සහ Ann – Solenne Hatte හැරුණු විට Lewis Bower, Conrad Ford, Rebecca Russell – Turner වැනි තවත් විදේශීය රංගන ශිල්පීන් කිහිප දෙනෙකුම ඇල්බොරාදා තුළින් දැකගන්න පුලුවන්.
ඇල්බොරාදා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත ද රචනා කර තිබෙන්නේ අශෝක හඳගම විසිනි. ඉරන්ති අබේසිංහ රේඛීය නිෂ්පාදනයෙන් චිත්‍රපටයට සම්බන්ධ වන අතර විධායක නිෂ්පාදක ලෙස කටයුතු කරන්නේ නිමල් විජේසිරි යි. කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස චන්න දේශප්‍රිය සම්බන්ධ වූ ඇල්බොරාදා හි නිෂ්පාදන සැලසුම්කරණය බිමල් දුෂ්මන්තගෙනි.
මෙරට සිටින ප්‍රවීණතම සංස්කරණ ශිල්පියෙකු වන රවින්ද්‍ර ගුරුගේ විසින් සංස්කරණ කටයුතු සිදු කළ අතර ඔහුට සහාය වී තිබෙන්නේ ළහිරු මදුශංකයි. සුපර් සික්ස්, ලීඩර්, සුහද කොකා, ජංගි හොරා, දැවෙන විහඟුන් වැනි චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වූ අරුණ ප්‍රියන්ත කලුආරච්චිගේ සංගීත සංයෝජනයෙන් ඇල්බොරාදා හැඩවනවා. ඇඳුම් නිර්මාණයකරණයෙන් පියතිස්ස අකුරම්බොඩ ද, වේශ නිරූපණයෙන් සමරසිරි කන්දගේ ද,පරිගණක සජීවීකරණයෙන් චත්‍ර වීරමන් ද ඇල්බොරාදා චිත්‍රපටයට සම්බන්ධ වී තිබෙනවා.
ජපානයේ 34වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ අන්තර්ජාතික තරඟකාරී අංශය නියෝජනය කිරීමටත් ඇල්බොරාදා සිනමාපටයට හැකියාව ලැබුනා. ඒ මෙරට සිනමාපටයක් ටෝකියෝ සිනමා උළෙලේ අන්තර්ජාතික තරඟකාරී අංශය නියෝජනය කළ තෙවන අවස්ථාව වශයෙනුයි. ඊට අමතරව චිත්‍රපටයේ ජගත් මංගල සිනමා දැක්ම පැවැත්වුණේ ද ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදී යි.
ඇල්බොරාදා චිත්‍රපටයේ ප්‍රධානම දර්ශනතලය වන වැල්ලවත්තේ පිහිටි පැබ්ලෝ වාසය කළ නිවසට සමාන නිවසක් සොයමින් නිෂ්පාදන කණ්ඩායම බොහොම වෙහෙස වුණත් ඊට ගැළපෙන අන්දමේ ගොඩනැගිල්ලක් ඔවුන්ට ලැබී නැහැ. එම නිසා අදාළ නිවස මුළුමනින්ම යළි ඉදිකිරීමට ඔවුන්ට සිදුව තිබෙනවා. විශාල මුදලක් සහ පරිශ්‍රමයක් යොදමින් චිත්‍රපටයට ගැළපෙන ආකාරයට අදාළ නිවස යළි ප්‍රතිනිර්මාණය කිරීම උදෙසා අශෝක හඳගම තීරණය කර තිබෙන්නේ ඉන් පසුවයි.
අනතුරුව, එකල පැරිසීයේ සිටි චන්න දේශප්‍රිය සමඟ දුරකතනයෙන් සාකච්ඡා කරමිනුයි නිවස යළි ඉදි කර තිබෙන්නේ… ඒ ආකාරයෙන් නෝනාගම ඔච්චම වෙරළ තීරයේ ඉදි කළ පැබ්ලෝගේ නිවසේ සැලසුම් ශිල්පියා වී තිබෙන්නේ බිමල් දුෂ්මන්තයි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත හදුන්වමින් අධ්‍යක්ෂක අශෝක හඳගම තමන්ගේ facebook ගිණුමට එක් කළ සටහන් කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.
– ජොසී
“පැබ්ලෝ ලංකාවට ආවේ ( 1929) බුරුමයේ රැන්ගුන් නුවර ඉඳන්. එහෙ ඉන්නකොට ඔහු ආදරෙන් බැඳුනු යුවතියක් හිටියාලු. නම ජොසී බ්ලිස්. ඇයගේ ආදරය මරාගන මැරෙන එකක්. වදයක් වුණු තරමටම දරුණු ආදරයක්. පැබ්ලෝ ඇයව හැඳින්වූයේ බුරුම අඳුන් දිවිදෙනක් ( Burmese Panther ) කියලා. ලංකාවට එන්නේ ඇගෙන් ගැලවෙන්න. ඒත් ඔහුට එහෙම ලේසියෙන් ඇගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. දවසක් නොසිතු මොහොතක, ගෙයි දොර අරිනකොට ගෙයි දොරකඩ, ඇය …ලංකාවේ සහල් නැහැ කියලා හිතල ද කොහෙද සහල් මල්ලකුත් ඔලුවේ තියාගන. දිග කියුබානු සුරුට්ටුවක් මුව රඳවාගන.…
ජොසී බ්ලිස් – ඇල්බොරාදා චිත්‍රපටයේ ජොසී ගේ චරිතයට පන පොවන්නේ.. ඈන් සොලේන්. ප්‍රංශ සිනමා සහ වේදිකා රංගන ශිල්පිනියක්.”
– ලයනල් වෙන්ටඩ්
“ 1929 පැබ්ලෝ ලංකාවට එනකොට ලයනල් (වෙන්ඩ්ට්) ට වයස අවුරුදු 29 යි. පැබ්ලෝ ට 25 යි. පැබ්ලෝ තමන් ලංකාවේ ගත කල කාලයේ අත්දැකීම හඳුන්වන්නේ දිදුලන හුදකලාවක් විදියට. ඒ කාලයේ පැබ්ලෝ ගේ සීමිත මිතුරු හමුවේ සමීප මිතුරෙකු වුනේ ලයනල්. දක්ෂ චායාරූප ශිල්පියෙකු මෙන්ම පියානෝ වාදකයෙකු වුණු සාහිත්‍ය හිතකාමී ලයනල් ගේ ඇසුර පැබ්ලෝ ගේ කවිසිත පෝෂණය කරන්න ඇති. අසභ්‍ය ප්‍රකාශනයක් ලෙස එංගන්තයේ තහනම් කෙරුණු ඩී එච් ලෝරන්ස් ගේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නවකතාව ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ රහසිගතව පල කෙරුණා.
එවක දුර්ලබ මේ පොතේ කොපියක් ලයනල් සතුව තිබුනා. පැබ්ලෝ, ලෝරන්ස් ඇතුළු බොහෝ ඉංග්‍රීසි ලේඛකයින් ගේ පොත් පත් කියෙවුවෙ ලයනල් ගේ පුස්තකාලයෙන් කියලා කියවෙනවා. තමන් ගේ ජීවිතයේ අතිශය පුද්ගලික අත්දැකීම් වුනත් බෙදා ගන්න තරම් පැබ්ලෝ ට සමීපව සිටි මිතුරෙක්.
ඇල්බොරාදා චිත්‍රපටයේ ලයනල් ගේ භූමිකාව පන පොවන්නේ අපේ වේදිකාවේ ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පියෙකු, හිටිවන හාසජනන රූපනවේදියෙකු සහ ගුවන්විදුලි හඬ පෞරුෂයක් වන ඩොමිනික් කෙලර්. “
– පැට්සි
පැබ්ලෝ ලංකාවට ඇවිත් සහභාගී වන මුල්ම සාදයේ දී ඔහුට යුරේසියානු සම්භවයක් ඇති යුවතියක් මුණ ගැහෙනවා. ඇගේ නම පැට්සි. ඇය තමන් ව පැබ්ලෝ ට හඳුන්වා දෙන්නේ පැබ්ලෝගේ ම කවි පන්තියක දෙපදයකින්.
“ප්‍රේම කරමි මම, සේලරුවන් ගේ ආදරයට.
මුව සිප, ඊළඟ මොහොතේ නික්මී යන..”
චිලී රටේදී තමන් අතින් පබැදුනු “සමුගැනීම” කවි පන්තියේ එන දෙපදයක්, ඈත පෙරදිග ලංකාවේ දී අහන්න ලැබෙයි කියල පැබ්ලෝ හිතන්න නැතුව ඇති. හමුවුන පළමු රැයේ දීම දෙන්නා කුළුපග වෙනවා.
තැන තැන යන සේලරුවන් ගේ ආදරය තාවකාලිකයි. තොටුපලින් තොටුපල පෙමින් බැඳෙන ගැහැණු! පැට්සි, පැබ්ලෝ ගෙන් ඒ තාවකාලික ඇසුර ට වඩා යමක් බලාපොරොත්තු වන්නේ නැහැ. රූකාන්ත ගුණතිලක ගායනා කරන “බොල් පිණි වෑහෙන වෙලාවේ..” ගීතය තවලම් කරුවන් ගේ ආදරය ගැන කියවෙන එකක්. ඒ ගීතයේ අත්දැකීම පැබ්ලෝ ගේ “සමුගැනීම” කවියේ එන සේලරුවන් ගේ ආදර අත්දැකීම ට සමානයි නේද කියලා මතක් කරලා දුන්නේ ඇල්බොරාදා සිංහල උපසිරසි වෙනුවෙන් කවි පරිවර්තනය කරදුන් ලක්ෂාන්ත අතුකෝරල.
මේ ඉන්නේ පැට්සි… ඇල්බොරාදා චිත්‍රපටයේ පැට්සි ගේ භූමිකාව රඟ පාන්නේ නිමායා හැරිස්. ලාංකීය ඉංග්‍රීසි වේදිකාවේ රංගන අත්දැකීම් ඇති නව යොවුන් රංගන ශිල්පිනියක්.
නිමායා ගේ පළමු සිනමා රංගනය- පැට්සි.
– රත්නයියා
පැබ්ලෝ නෙරුදා ගේ මතක සටහන් (Memoirs ) වලට අනුවත් වෙනත් බොහෝමයක් ලිපි ලේඛන හා ප්‍රබන්ධ වලට අනුවත්, ලංකාවේ සිටියදී පැබ්ලෝ ගේ ආවතේව කරුවා ලෙස සිටි ගෝලයා (Boy) ගේ නම බ්‍රම්පි. පැබ්ලෝ ලංකාව අතහැර සිය ඊළඟ රාජකාරී නැවතුම්පල වන ජාවා වලට යන්නෙත් බ්‍රම්පි සහ ‘කිරියා’ නම් වූ සුරතල් මුගටියාත් කැටුව. එහෙත්, පැබ්ලෝ පිළිබඳ වසර 15 ක් පමණ තිස්සේ පර්යේෂණ කල, පර්යේෂකයෙකු ලේඛකයෙකු, පරිවර්තකයෙකු සහ වාර්තා චිත්‍රපට කරුවකු වන මාර්ක් ඊසන් විසින් රචිත Neruda: Poet’s Calling නම් විශාල තොරතුරු රැගත් පර්යේෂණ ග්‍රන්ථයෙහි, රත්නයියා නම් සේවකයෙකු ගැන සඳහන් වෙනවා. මේ බ්‍රම්පි වෙන්න බැහැ. ඇල්බොරාදා සිනමා පටයේ දී පැබ්ලෝ ගේ ආවතේව කරුවා ලෙස හමුවන්නේ නෙරුදා කියවන අයට හමුවන බ්‍රම්පි නෙවෙයි. රත්නයියා.
කෙනෙකුගේ මතක සටහන් කියන්නේ ඇත්ත වගේ ලියවුනු ප්‍රබන්ධයක් විය හැකියි. ප්‍රබන්ධයෙන් ඇත්ත මුදවා ගන්න, තවත් ප්‍රබන්ධයක් ගොඩ නගා ගන්න වෙනවා. ඇත්ත වගේ පෙනෙන ප්‍රබන්ධයක් වෙනුවට ප්‍රබන්ධයක් වගේ පෙනෙන ඇත්තක්, රත්නයියා. ඇල්බොරාදා චිත්‍රපටයේ රත්නයියා භූමිකාවට පන පොවන්නේ මැල්කම් මචාඩෝ. ලාංකීය ප්‍රේක්ෂකයාට ඔහුව හඳුන්වා දෙන්න අටුවා ටීකා අවශ්‍ය නැහැ. පන පොවලා තියෙන හැම චරිතයක් ම මතක සටහනක්.
– පැබ්ලෝ නෙරුදා
“.. එක උදෑසනක මම ඕන කෙහෙල්මලක් වෙන්න කියලා තීරණයක් ගත්තා. ඇගේ අතේ මැණික් කටුව ලඟින් තදින් අල්ලාගන ඇගේ දෑස් දිහා බලාගන හිටියා. ඇය හා කතාකරන්න පුළුවන් භාෂාවක් තිබුනේ නැහැ. මුවේ සිනහවක් වත් නොතිබුණු ඇය මට ඇගේ අතින් අල්ලා කැඳවාගන යන්නට ඉඩදී සිටියා. ටිකකින් ඇය නිරුවතින් මගේ ඇඳ මත ! ඇගේ සිහින් ඉඟ, පුළුල් උකුල, පුන් පියයුරු නිසා ඇය මට දිස්වුනේ වසර දහස් ගණන් පැරණි දකුණු ඉන්දියානු පිළිරුවක් වගේ. අපේ සම්භෝගය සමාන වුනේ මිනිසෙකු හා පිළිමයක එකතුවකට. ඇය මුළු කාලය තුලම සිටියේ ඇගේ දෑස් මුළුමනින්ම ඇරගන. කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව. මාව හෙලා දකින ඇය නිවැරදියි. ඒ සිදුවීම යලි කවදාවත්ම සිදු වුනේ නැහැ.”
විසි වෙනි සියවසේ පහල වූ ශ්‍රේෂ්ටම කවියා ලෙස ගාෂියා මාකෙෂ් ගේ පැසසුමට ලක් වූ පැබ්ලෝ නෙරුදා නම් මේ ශ්‍රේෂ්ඨ කවියා දැන් ජාත්‍යන්තර සමාජ ක්‍රියාකාරීන් ගේ සියුම් පරීක්ෂාවට ලක්වෙලා. ඔහු ගේ නිර්මාණ වල සහ ක්‍රියාකාරීත්වය තුල පිළිබිඹු වන මානුෂීයත්වයේ අවංක කමයි දැන් අභියෝගයට ලක්වන්නේ.
“ඇය මට ඇගේ අතින් අල්ලා කැඳවාගන යන්නට ඉඩදී සිටියා. ටිකකින් ඇය නිරුවතින් මගේ ඇඳ මත!” යන වාක්‍ය ඛණ්ඩය විවේචනය ට ලක් වන්නේ අමූලික බොරුවක් ලෙසයි. මේ විස්තරය අලලා ස්ලෝවේනියානු දාර්ශනික ස්ලාවෝ ජිජැක් කියන්නේ “ආගන්තුක අනෙකා උදාසීන දේවත්වයකට ඔසවා තැබීමෙන් කෙරෙන්නේ, එය ‘තූ නොදකින්’ කියා හෙලා දැකීමක් ” කියලයි.
ඇල්බොරාදා සිනමා පටයේ පැබ්ලෝ ගේ භූමිකාවට පන පොවන්නේ ලුවී ජේ රොමේරෝ. ස්පාඥ්ඥ ජාතික රංගධරයෙක් සහ කවියෙක්. නෙරුදා ගේ කවි සමඟ සරාගී ලෙස පෙමින් බැඳුනු අයෙක්. නෙරුදා ගේ බොහොමයක් කවි කට පාඩමින් රසවත් ව කියවිය හැකි කෙනෙක්.
ඇල්බොරාදා සිනමාපටයට සම්බන්ධ වූ තාක්ෂණික ශිල්පීන් සහ නලු නිළියන්ගේ සම්පූර්ණ විස්තරයක් පහතින් සටහන් කර තිබෙනවා. සියලුම තොරතුරු ඇල්බොරාදා නිල IMDb පිටුව ආශ්‍රයෙනි.
Movie: Alborada AKA The Dawning of the Day
Directed by : Ashoka Handagama
Cast : Luis j Romero, Anne-Solenne Hatte, Rithika Kodithuwakku, Dominic Keller, Malcolm Machado, Nimaya Harris, Thusitha Laknath, Julian Kawshalya Mendis, Samantha Balasooriya, Krishantha Jayabahu, Adam Smyth, Lewis Bower, Conrad Ford, Rebecca Russell
Screenplay : Ashoka Handagama
Produced by :
H.D. Premasiri – producer
Iranthi Abeyasinghe – line producer
Chandri Haputhanthri – co producer
Chandu Haputhanthri – co producer
Kumuduni Dias Haputhanthri – co producer
Nimal Wijesiri – Production Executive
Music Composer : Aruna Priyantha Kaluarachchi
Co Musical Director : Namini Panchala
Cinematography by :
Channa Deshapriya (cinematography)
Striner Macklain Adams (steady cam)
Editor : Ravindra Guruge
Assitant Editor : Lahiru Madushanka
Visual Effects : Chathra Weeraman
Production Design : Bimal Dushmantha
Art Direction : Bimal Dushmantha
Set Coordinator : Shevin Jude Hindle
Casting Coordinator : Liza Perera
Production Coordinator : Jude Aubrey Hindle
Costume Design by :
Pavithra Abesinghe (wardrobe)
Piyatissa Akuramboda (costume desginer)
Makeup Department :
Samarasiri Kandanage (makeup artist)
Madhara Priyadarshani (assistant makeup artist)
Sound Department :
Striner MacKlain Adams (on-location sound)
Aruna Sanjaya (assistant sound & boom operator)
Assistant Director : Vathees Varunan
Second Assistant Director : Niroshan Edirimanna
Camera and Electrical Department :
Lahiru Jayasighe (camera operator)
Anura Koditywakku (assistant camera)
Muditha Vithana (fiocus puller a camera)
Written by Kavinu Weerakkody