ඉදිරි Marvel චිත්‍රපට ගැන තොරතුරු රැසක් D23 Expo හිදී මාධ්‍යයට.

Avatar Kavinu Weerakkody | September 20, 2022 114 Views 0 Likes 0 Ratings

114 Views 0 Ratings Rate it

ලෝක ප්‍රසිද්ධ Disney චිත්‍රපට සමාගම Disney ලේබලය යටතේ ඉදිරි වසරවලදී නිකුත් කිරීමට නියමිත සිනමාපට, වෙබ් කතාමාලා සහ ඔවුන්ගේ වෙනත් upcoming projects පිළිබඳව රසිකයින් සමඟින් තොරතුරු බෙදා හදා ගැනීම සිදුකරනවා.

D23 Expo යනුවෙන් හඳුන්වන්නේ Disney සමාගම මෙසේ සිය රසිකයින් හා සජුවම සම්බන්ධ වන වසරේ දැවැන්තම උළෙල වන අතර මෙය සංවිධානය කරනු ලබන්නේ 2009 වසරේ ඇරඹි ඩිස්නි නිල රසික සමූහය වන D23 Official Fan Club විසිනුයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම D23 Expo උළෙලෙ හි 2022 දිගහැරුම පසුගිය සැප්තැම්බර් 10 වනදා පැවැත්වුනා. මෙහිදී ඩිස්නි හි අනුබද්ධ Marvel, Star Wars, Lucasfilm සහ 20th Century Films ආදී විවිධ ස්ටුඩියෝ නිර්මාණ ගැන වැදගත් තොරතුරු රශියක් එළි දැක්වුනා. විශේෂයෙන්ම එහිදී මාධ්‍යයට අණාවරණය කළ, මාවල් සිනමා විශ්වය (Marvel Cinematic Universe) හා සබැඳි තොරතුරු, ලෝකය පුරාම රසිකයින්ගේ අවධානයට නතුව තිබෙනවා.

Black Panther: Wakanda Forever

මෙවර D23 Expo හි Marvel ස්ටුඩියෝ හි සාකච්ඡා වටය ආරම්භ වුනේ Black Panther: Wakanda Forever සිනමාපටයත් සමඟයි. Black Panther මුල් චිත්‍රපටයේ සාර්ථකත්වය සහ එහි ප්‍රධාන චරිතය රඟපෑ Chadwick Bosemanගේ අභාවය නිසා මෙම චිත්‍රපට මාලාවේ ඉදිරිය කුමන අයුරකින් නිර්මාණය වේ දැයි දැනගැනීමට කුතුහලයෙන් සිටින රසිකයින් සංඛ්‍යාව අති විශාලයි. එම නිසාම, ඉදිරියේදී නිකුත් වීමට නියමිත මාවල් සිනමාපට අතුරින් වැඩිම ආකර්ෂණයක් සහිත නිර්මාණයක් ලෙසටත් Black Panther: Wakanda Forever හඳුන්වනවා.

D23 Expo හිදී මෙම Black Panther දෙවන සිනමාපටයේ නවතම වීඩියෝවක් රසිකයින්ට නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක Ryan Coogler සහ තවත් නළු නිළියන් පිරිසකුත් එම අවස්ථාවට සහභාගී වුනා. වකන්ඩා දේශයේ රැජින වන Queen Ramanda විසින්, වයිබ්‍රේනියම් සොරකම සහ ටි’චල්ලා රජුගේ මරණය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු පැහැදිලි කරන රූපරාමු පෙළකුයි එම වීඩියෝපටයේ අන්තර්ගත වුනේ. එමෙන්ම වකන්ඩා රජ පවුලේ ආරක්ෂකයින් වන Dora Milageගේ රූප රාමු කිහිපයක් ද ඊට ඇතුළත්ව තිබෙනවා. නමුත් මාවල් රසිකයින් බලාපොරොත්තුවෙන් සිටි ඊළඟ Black Pantherවරයා කවුරුන්ද? යන ප්‍රශ්නයට පිළිතුරක් නම් තවමත් ලැබී නැහැ.

Ant-Man and The Wasp: Quantumania

Ant Man චිත්‍රපට මාලාවේ තෙවන දිගහැරුම වන මෙය තිරගත වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන වසරේ පෙබරවාරි 17 වනදායි. නිර්මාණය ගැන කතා කරන්නට සිනමාපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය රඟන Paul Rudd, Evangeline Lilly සහ Jonathan Majors ඊට සහභාගී වුනා. එමෙන්ම මේ අවස්ථාවේදී Ant Manගේ ප්‍රධාන චරිතය රඟන Paul Rudd විසින් රසිකයින් අමතා කී කතාවක් සමාජ මාධ්‍යයේ අවධානයට ලක් වී තිබෙනවා.

“This is going to be unlike anything you’ve seen from us and not to mention that guy,”
ඔහු එහිදී Majors දෙස බලමින් ප්‍රකාශ කළේ Ant Man චිත්‍රපට මාලාව තුළ මෙතෙක් කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයක් මෙම සිනමාපටයෙන් දැකගත හැකි බවටයි.

Fantastic Four

කලකට ඉහතදී නැවතුනු Fantastic Four සිනමාපට මාලාව නැවතත් රීබූට් වන බවට Disney ආයතනයෙන් දැනුම් දීමත් සමඟ, ලෝ පුරා රසිකයින් ඒ ගැන අවධානය යොමු කළා. නමුත් Fantastic Four චිත්‍රපටය අධ්‍යක්ෂණයට මුලදී ගිවිසුම්ගත වුනු Jon Watts ඉන් ඉවත් වීමත් සම යම් ගැටළුවක් මතුව තිබුනා.. Spider Man චිත්‍රපට ත්‍රිත්වයේ අධ්‍යක්ෂකවරයා වූ ඔහු මෙම නව නිර්මාණයෙන් ඉවත් වූයේ ඇයි දැයි නිශ්චිතව තහවුරු වී තිබුනේ නැහැ.

කෙසේ නමුත් D23 Expo හිදී මෙහි නව අධ්‍යක්ෂකවරයා ගැන පළමු වරට මාධ්‍යයට අණාවරනය වුනා. Fantastic Four සිනමාපටය සඳහා දැන් එක්වී තිබෙන්නේ Matt Shakman නැමැති අධ්‍යක්ෂකවරයායි. පසුගිය දිනවල ජනප්‍රියත්වයට පත් WandaVision වෙබ් කතාමාලාව ද ඔහුගේම නිර්මාණයක්…

Captain America: New World Order

මාවල් සිනමා විශ්වයේ පස්වන අදියරෙ (Phase 5) හි දොලොස්වන නිර්මාණය වන්නේ Captain America: New World Order චිත්‍රපටයයි. නමුත් මෙම චිත්‍රපටයට අදාළව රසිකයින්ට දැනුම් දුන්නේ සීමිත තොරතුරු කිහිපයක් පමණයි. මෙම අවස්ථාවට රංගන ශිල්පී Anthony Mackie සහ අධ්‍යක්ෂක Julius Onah එක්වෙමින් පැවසුවේ, නව චිත්‍රපටය “Thriller” ශානරයට අයත් වන්නක් බවයි.
2008 වසරේ The Incredible Hulk චිත්‍රපටයේ සිටි Tim Blake හෙවත් Dr Samuel Sterns යළිත් මේ හරහා මාවල් විශ්වයට එකතු වන බව එහිදී අණාවරණය වුනා.

Thunderbolts

Black Widow (2021) හි සීක්වල් චිත්රපටයක් ලෙසින් නිර්මාණය වන Thunderbolts, ලෝ පුරා සිනමාහල් වලට නිකුත් වීමට තිබෙන්නේ එළඹෙන 2024 වසරේ ජූලි මාසයේදීයි.

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ප්‍රධාන රංගන ශිල්පීන් ගණනාවක්ම පසුගියදා පැවති D23 Expo හිදි රසිකයින්ට දැනගන්නට හැකිවුනා. මෙම Thunderbolts චිත්‍රපටය තවත් සුපිරි වීරයින් කිහිප දෙනෙකුගේ කණ්ඩායමක් වටා නිර්මාණය වූවක්.

Share

114 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.