ඉන්දිකගේ “වෙඩි නොවදින ළමයි” බෙංගලූරු සිනමා උළෙලට

Avatar Nisanka Weheraduwa | February 19, 2020 1158 Views 1 Like 0 Ratings

1158 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

“හෝ ගානා පොකුණ” හැදූ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ “වෙඩි නොවදින ළමයි” බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධාන තරඟකාරී වටයට සුදුසුකම් ලබයි.

පෙබරවාරි 26 සිට මාර්තු 04 වෙනිදා දක්වා ඉන්දියාවේ බෙංගලූරු නුවර පැවැත්වෙන 12 වෙනි බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ (Bengaluru International Film Festival) ප්‍රධානතම තරඟකාරී අංශය වන “ආසියානු සිනමා තරඟය” (Asian Cinema Competition) නියෝජනය කිරීමට ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කල “වෙඩි නොවදින ළමයි” (Bulletproof Children) සිනමාපටය සුදුසුකම් ලබා ඇත. ඉරානය, ඉන්දියාව, පිලිපීනය, තායිලන්තය, බංගලාදේශය සහ කසකස්ථානය යන ආසියානු කලාපීය රටවල් 06 ට අයත් සිනමාපට 12 ක් ශ්‍රී ලංකාවේ ” වෙඩි නොවදින ළමයි” සමග උළෙලේ පිරිනමන ඉහළම තරඟකාරී සම්මානය වන “හොඳම ආසියානු සිනමාපටය” (Best Asian Film) වෙනුවෙන් තරඟ වදී. ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ සිනමාපටය අමතරව ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල “ගාඩි” (Children of the Sun) සිනමාපටය තරඟකාරී නොවන “සමකාලීන ලෝක සිනමාව” (Contemporary World Cinema) යන අංශය යටතේ උළෙලේ තිරගත වේ.

ඉන්දියාවේ ක්‍රියාත්මක 70කට ආසන්න වූ අන්තර්ජාතික සිනමා උළෙල අතුරින් පළමු උළෙලයන් 10 තුල ශ්‍රේණිගත වන බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ සමාරම්භය 2006 වසරේදී සටහන් විය. එදා පටන් මේ දක්වා ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 23 ක් බෙංගලූරු උළෙලේ තිරගතවී ඇති අතර, එම උළෙලේ අන්තර්ගත “ආසියානු සිනමා තරඟය” නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය සිනමාපටයක් සුදුසුකම් ලද එකොළොස් වෙනි අවස්ථාව “වෙඩි නොවදින ළමයි” හරහා සටහන් වේ. මීට පෙර “ඉගිල්ලෙන මාළුවෝ” (2011දී), “ඉනි අවන්” (2012 දී), “ඔබ නැතුව ඔබ එක්ක” ( 2012 දී), “තණ්හා රතී රඟා” (2013 දී), “සක්කාරං” (2014 දී ), ” ප්‍රේමය නම්” (2016 දී ), “අලෝකෝ උදපාදි” (2017 දී) , “රතු සමනල හීනයක්” (2017 දී), “ගින්නෙන් උපන් සීතල” (2019 දී) සහ “අසන්ධිමිත්තා” ( 2019 දී) ආසියානු තරඟ අංශය නියෝජනය කිරීමට සමත්විය. එහෙත් ඒ අතුරින් මේ දක්වා බෙංගලූරු සිනමා උළෙල තුල සම්මානයකින් පිදුම් ලැබීමට සමත්ව ඇත්තේ 2011 වර්ෂයේ ආසියානු තරඟ අංශය නියෝජනය කල සංජීව පුෂ්පකුමාරගේ “ඉගිල්ලෙන මාළුවෝ” සිනමාපටය පමණකි.

කළණ ගුණසේකර, අනුසයා සුබසිංහ, ජයලත් මනෝරත්න, සෙතිකා ගුණසිංහ, ස්ටෙෆාන් තිරිමාන්න, හේමසිරි ලියනගේ, දයාදේව එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අනුලා බුලත්සිංහ, අශාන් ඩයස්, ශේවියර් කනිෂ්ක, සංජීව දිසානායක, දිලුම් බුද්ධික, නිපුනි ශාරධා, ප්‍රබෝදිනී චන්ද්‍රසේන, රන්දික දිල්ෂාන්, චන්දිමා සිරිනායක ඇතුළු ප්‍රවීන, නවක හා ළමා නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙන ” වෙඩි නොවදින ළමයි”හි තිර රචනය ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙන් සහ පියල් කාරියවසම්ගෙනි. සිනමා කැමරාකරණයෙන් දිමුතු කාලිංගත්, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍රත්, ශබ්ද පරිපාලනයෙන් සසික රුවන් මාරසිංහත්, පසුබිම් සංගීතයෙන් නදීක වැලිගොඩපොල සහ තිලංක ගමගේත්, කලා අධ්‍යක්ෂණයෙන් කසුන් මහවඩුගේත්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩත්, ඇදුම් නිර්මාණයෙන් වසන්ති අල්විසුත්, අංග රචනයෙන් බුවනෙක රණවකත්, නිෂ්පාදන කළමණාකරණයෙන් මධුර ජාගොඩත්, සහාය අධ්‍යක්ෂණයෙන් තරිඳු රනේපුරත්, සහාය නිෂ්පාදන කළමණාකරණයෙන් අංජන ආශූබෝධත් දායකත්වය ලබා දී ඇති ” වෙඩි නොවදින ළමයි” චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය දීපා මෝෂන් පිච්චර්ස් සමාගම වෙනුවෙන් දීපා එදිරිසිංහගෙනි.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share

1158 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.