අසල්වැසි සිනමාවට තවත් සුපිරි වීරයෙක් – 5 Minute Ka Superhero

Avatar Kavinu Weerakkody | November 8, 2022 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ සෙසු ප්‍රාන්තීය සිනමා ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව, හින්දි සිනමාව තුළ දක්නට ලැබුනේ යම් තාත් දුරක කඩාවැටීමක් සහ පසුබැසීමක්. උතුරු ඉන්දියානු ප්‍රාන්ත මුල් කරගෙන බිහිවුනු හින්දි චිත්‍රපට කර්මාන්තය කලක් ‘ඉන්දීය සිනමාවේ මුහුණත’ ලෙස ජනප්‍රිය වුනත්, පසුගිය කාල වකවානුව පුරාවටම එහි දැඩි පසුබෑමක් දක්නට ලැබුනා.
දශක ගණනාවක් තිස්සේ හින්දි සිනමාවේ ආධිපත්‍ය පැතිරවූ නලු නිළියන් ගණනාවකගේ චිත්‍රපට පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වුනු අතර සාර්ථක ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් හින්දි චිත්‍රපට බිහි වූයේ ද බොහොම අඩුවෙන්. දකුණු ඉන්දියාවේ ජනප්‍රිය සිනමාපටවල හින්දි ප්‍රතිනිර්මාණත් දිගින් දිගිටම නිකුත් වූ නිසා රසිකයින් තවදුරටත් සිනමා ශාලාවලට පැමිණීමෙන් වැළකුණා. හින්දි සිනමාවේ තරු ගුණය (Stardom) වැඩිම නලු නිළියන්ට පවා මෙම පසුබෑමට මුහුණ දෙන්නට සිදු වුනු අතර උතුරු ඉන්දීය චිත්‍රපට අභිභවා දකුණු ඉන්දීය චිත්‍රපටවල ජනප්‍රියත්වය ඉහළ යන්නට පටන් ගත්තා.

පසුගිය කාලය තුළ බොක්ස් ඔෆිස් ආදායම් සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර තුළින් සාර්ථක වුනු හින්දි චිත්‍රපට අතළොස්ස අතරෙ හි Bhool Bhulaiyaa 2 නිර්මාණයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. කුඩා නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය වූ මෙහි එතරම් ජනප්‍රිය නලු නිළියන් කිසිවෙකු රංගනයෙන් එක් වූයේත් නැහැ. නමුත් අවසානයේදී ඉන්දීය කෝටි 250කට ආසන්න මුදලක් රැස් කරගන්නටත්, අතිශය ධනාත්මක ප්‍රේක්ෂක – විචාරක ප්‍රතිචාරයක් ලබා ගන්නටත් Bhool Bhulaiyaa 2 චිත්‍රපටයට හැකියාව ලැබුනා.
බොලිවුඩයේ ජනප්‍රියම තරු රඟපෑ චිත්‍රපට පවා රසිකයින් විසින් ප්‍රතික්ෂේප කළ පසුබිමක, එතරම් ජනප්‍රිය නොවන නලු නිළියන් පිරිසක් රඟපෑ මෙම චිත්‍රපටය ඉන්දියාව පුරාම ජනප්‍රිය වූයේ එහි අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාව නිසා බවයි සිනමා විචාරකයින්ගේ අදහස වුනේ…

ඒ නිසාම Bhool Bhulaiyaa 2හි ජනප්‍රියත්වයට සමගාමීව එහි අධ්‍යක්ෂකවරයා වන Anees Bazmee ගැනද සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වුනා. Anees Bazmee විසින් මීට පෙර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නැරඹීමටත් බොහෝ රසිකයින් පිරිසක් යොමුව තිබුනා. මෙම තත්වය මත, වර්තමානයේදී ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිම බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරෙ හි Anees Bazmeeද ඉදිරියෙන්ම සිටිනවා.

Anees Bazmeeගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන නවතම හින්දි චිත්‍රපටය ගැන මාධ්‍යයට දැන් අණාවරණය වී තිබෙන අතර එහි තිර පිටපත ද අවසන් බවටයි ඔවුන් වාර්තා කරන්නේ. අධ්‍යක්ෂක Anees Bazmeeගේම රචනයක් වන මෙය දැනට වසර කිහිපයකට පෙර සිටම ඔහු විසින් සැලසුම් කරගෙන සිටි නිර්මාණයක්. නමුත් ඒ කාල වකවානුවේදී මතුවුනු මූල්‍යමය ගැටළු කිහිපයක් නිසායි චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹීමට ඔහුට නොහැකි වී තිබෙන්නේ. චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීමටත් වසර දෙකකට අධික කාලයක් Aneesට ගතවී තිබෙනවා.

විශේෂත්වය වන්නේ මෙය ඉන්දියානු සිනමාව තුළ එතරම් දැකගත නොහැකි Super Hero කාණ්ඩයේ සිනමා නිර්මාණයක්. නිෂ්පාදනය සඳහා වැය වන අධික මුදලත්, Super Hero වැනි ශානරයක් තෝරා ගැනීමට සිනමාකරුවන් දක්වන මැලිකමත් නිසා ඉන්දියානු සිනමාව තුළ මෙම වර්ගීකරණයේ සිනමාපට එතරම් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් මෑතකදී නිකුත් වුනු Minnal Murali, Bhavesh Joshi Superhero, Krrish 3 වැනි ඉන්දීය සුපිරි වීරයන්ගේ චිත්‍රපටවලට එරට සිනමා රසිකයින්ගේ ලැබුනේ උණුසුම් ප්‍රතිචාරයක්.

කෙසේ වුවත්, Anees Bazmee විසින් මෙවර මෙම අභියෝගය බාර ගැනීමට සූදානම් වන්නේ ඔහුටම අනන්‍ය හාස්‍යමය ගතියකුත් මෙම චිත්‍රපටයට එකතු කරමින්. ඒ අනුව මෙය නිර්මාණය වන්නේ Super Hero – Comedy වර්ගීකරණයේ චිත්‍රපටයක් ලෙසටයි. Zee Studios සහ Vishal Rana සුසංයෝගයෙන් නිෂ්පාදනය කරන මෙය, අධ්‍යක්ෂකවරයාගේ සිනමා ජීවිතයේ වැඩිම නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය වන චිත්‍රපටය ලෙසත් සඳහන්.
Family Comedy, Youth Comedy, Horror Comedy ආදී විවිධ ශානරවල හාස්‍යමය චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කිරීමෙන් පසුව Anees Bazmee විසින් මෙවර තෝරාගත් මෙම SuperHero – Comedy ශානරයේ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඉන්දීය කෝටි 80කට අධික මුදලක් වැය කිරීමට නියමිතයි.

5 Minute Ka Superhero යනුවෙන් නම් කොට තිබෙන මෙම චිත්‍රපටයේ නලු නිළියන් සහ සෙසු තාක්ෂණික ශිල්පීන් පිළිබඳව එළඹෙන දෙසැම්බර් මාසයේදී දැනුම් දීමට සූදානමින් සිටින අතර ප්‍රධාන චරිතයට Vicky Kaushal යෝජනා වී ඇති බවටත් විවිධ ගොසිප් අඩවි තුළ සඳහන් වනවා. ඊට හේතුව වන්නේ නුදුරු අනාගතයේම ඔහු සමඟින් චිත්‍රපටයක් නිර්මාණය කරන බවට අධ්‍යක්ෂකවරයා විසින්ම පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමයි.
නමුත් එම ප්‍රධාන සුපිරි වීර චරිතයට ගිවිසුම්ගත වූ රංගන ශිල්පියා කවුරුන්ද යන්න තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ.

මෙම 5 Minute Ka Superhero සිනමාපටයේ pre-production කටයුතු සියල්ලම පාහේ අවසන් වී තිබුණත් එහි රූගත කිරීම් අරඹන දිනය ගැන නිෂ්පාදකයින් විසින් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි සැලවන්නේ. ඊට හේතුව වන්නේ අනීස් බස්මේ විසින් අධ්‍යක්ෂණය කරන තවත් සිනමාපටයක වැඩ කටයුතු නුදුරු දිනකදීම ඇරඹීමට සූදානම් වීමයි.
සල්මන් ඛාන් රඟපෑ No Entry චිත්‍රපට මාලාවේ දෙවන දිගහැරුම වන No Entry Mein Entry සිනමාපටයයි.

දැනට වාර්තා වන අන්දමට No Entry Mein Entry හි රූගත කිරීම් 2023 මුල් භාගයේදී පටන් ගන්නා නිසා මෙහි රූගත කිරීම් එළඹෙන වසරේ මැද භාගය දක්වා කල් යා හැකියි. නමුත් තව මාස කිහිපයක්ම යනතුරු සල්මන් ඛාන් ඔහුගේ වෙනත් චිත්‍රපටයකට කාර්යබහුල වී සිටින නිසා No Entry Mein Entry හි රූගත කිරීම් 2023 මුල භාගය තුළ ඇරඹීමට නොහැකි වෙතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.
එසේ වුවහොත්, No Entry Mein Entry සිනමාපටයේ නිෂ්පාදන කටයුතු කල් දමා Anees Bazmee විසින් එළඹෙන වසර මුලදීම 5 Minute Ka Superhero හින්දි චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගනු ඇති.

Share

63 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.