උපුල් සන්නස්ගලගේ “තංගමලේ ඩයරීස්” මුහුරත් උළෙල

Avatar Kavinu Weerakkody | March 1, 2023 227 Views 0 Likes 0 Ratings

227 Views 0 Ratings Rate it

උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණය කරන “තංගමලේ ඩයරීස් (Thangamale Diaries)” නවතම සිංහල චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය පෙබරවාරි 14 වනදා බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පැවැත්වුනා. චිත්‍රපටයේ නලු නිළියන් සහ තාක්ෂණික ශිල්පීන් පිරිස නිල වශයෙන් හඳුන්වා දීමත් මෙහිදී සිදු වුනා.
ආරාධිතයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මුහුරත් උළෙල සඳහා ධර්මප්‍රිය ඩයස්, ස්ටෙෆන් තිරිමාන්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රියන්ත සිරිකුමාර, ඩබ්ලිව් ජයසිරි, නලින් ලුසේනා ආදී “තංගමලේ ඩයරීස්” සිනමාපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන රංගන ශිල්පීන් රැසක්ද සහභාගී වී සිටියා.

දිවයිනේ ප්‍රකට සිංහල දේශකවරයෙකු වන උපුල් සන්නස්ගල මින් පෙර අවස්ථා කිහිපයකදීම දිගු වෘතාන්ත සිනමාපට නිෂ්පාදනය සඳහා එක්වූ අයෙක්. අශෝක හඳගමගේ අක්ෂරය, තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපට ද්විත්වයේ සහ විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ ඔහුයි. නමුත් ඔහු මින් පෙර චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා පිවිස තිබුනේ නැහැ.
තංගමලේ ඩයරීස් උපුල් සන්නස්ගලගේ පළමු සහ කුළුදුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

ලංකාවේ තංගමලේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී පසුව කොළඹ අගනගරයට සංක්‍රමණය වන බාසි නම් චරිතය, යූටියුබර් කෙනෙකු වශයෙන් පනස් වසරකට පසුව නැවත සිය උපන්ගමට යෑමත්, ඒ සමඟ ගමෙ හි උද්ගත වන ගැටුම් දාමයත් “තංගමලේ ඩයරීස්” චිත්‍රපටයෙන් දිග හැරෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බාසි දිවයිනේ ප්‍රකට සිවිල් චරිතයක් වන අතර කලා|සාහිත්‍ය|දේශපාලන ආදී ක්ෂේත්‍ර වල නියැළුණු පුද්ගලයෙක්. ඔහු යූටියුබර් කෙනෙකු වශයෙන් සිය උපන්ගමට යන්නේ එහි සැඟවුණු යටගියාව පිළිබඳව ඔහුට ඇති කුතුහලය සංසිඳවා ගැනීමටයි. සිනමාපටයට අනුව ඔහුට අවශ්‍ය වන්නේ සිය ගම්මානයේ අඳුරු ඉතිහාසය හාරා අවුස්සා ගැනීමටයි.
ඔහු එසේ සිය උපන්ගමට යන 2019 අප්‍රේල් 06 වෙනි දා සිට අප්‍රේල් 21 පාස්කු ඉරිදා දක්වා සති දෙකක පමණ කාලය “තංගමලේ ඩයරීස්” සිනමාපටයට පසුබිම් වී තිබෙන බවයි, අන්තර්ජාලයේ සඳහන් වන්නේ.

චිත්‍රපටයේ ප්‍රධාන නලු භූමිකාව වන ‘බාසි’ නැමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගේ චරිතය නිරූපණය කරන්නේ ද අධ්‍යක්ෂක උපුල් සන්නස්ගල විසින්මයි. ඊට අමතරව හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාරඋන්නැහෙ, ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස්, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි ජනප්‍රිය නලු නිළියන් රැසක්ම මෙහි සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙනවා.

චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙහි සංස්කරණ කටයුතු සිදු කරන්නේ තිස්ස සුරෙන්ද්‍ර විසිනුයි. චින්තක ජයකොඩි සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වනවා.

තංගමලේ ඩයරීස් (Thangamale Diaries) චිත්‍රපටයේ මුහුරත් උළෙල ගැන රසිකයින්ට දැනුම් දෙමින්, උපුල් සන්නස්ගල පහත සටහන සිය මුහුණු පොතේ සටහන් කර තිබුනා.

“දිනය 2023 පෙබරවාරි 14 වන දා ය.

පුරුදු නියතයක් ලෙස එදා හිරු පායා එමින් තිබිණ. කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කළාපයේ දියවන්නාව ආශ්‍රිත පරිශ්‍රයේ ‘තංගමලේ’ නමින් දුම්රිය ස්ථානයක් සැලසුම් සහගතව ප්‍රතිනිර්මාණය විය. එදා උදේ ම ලෝකයේ විවිධ ඉසව්වලින් විවිධ කලාවේදීන් සහ සහෘද පිරිස් පාන්දර යාමයේ සිට තංගමලේට එක් රැස් වෙමින් සිටිය හ. උඩරට දුම්රියේ ගමනාන්තයත් ගමනාරම්භයත් තංගමලේදී සංකේතවත් කෙරිණ. තංගමලේ දුම්රිය ස්ථානාධිපතිවරයාත් ගාඩ්වරයාත් පිරිස පිළිගත්හ. සීතල හැඟුම් පොදි ගුලිවී කිතිකැවෙන පෙම්වතුන්ගේ දිනය දා අන්ධකාර තංගමලේ සුවඳ මල් පිපී තිබිණ.

තංගමලේ නම් රත්තරං කන්ද ය. එදා සූර්ය මහෝදයේ ම ආලෝකය පතිත විය. තංගමලෛයි නම් රත්තරං වැස්ස ය. එදා රන් පිනි බිඳු තංගමලේ තෙත් කළේ ය.
එදාත් ඉරට කලින් අවදි වූ තංගමලේ අම්මාලාගේ කුඩා ගෙවල සහ ලැයිම් කාමර පේලිවල මුරුතැන්ගෙවල් ඉහළින් පුංචි පුංචි දුම් වලා සානු අහසට මුසු විය. තංගමලේට ආවේණික උණුසුම් ආහාර ආගන්තුක පිරිස වෙනුවෙන් සූදානම් විය. වැඩිහිටියන් සමග තංගමලේ යෞවන යෞවනියෝ ඒවා ස්ටේසමට රැගෙන ආහ. ජංගම වෙළෙන්දෝ අතිරික්ත ආහාර දුම්රිය පදිකාවේ අලෙවි කළහ.
නැකතක් නැතිව ම අමුතු අමුත්තෝ පදිකාවේ අසුන් ගත් හ.
තංගමලේ එවලාස්ටින් මල් කරුවෝ සූර්ය මහෝදයේ ම නොළා ගත් ආදර ඕකිඩ් මලක් දී ආදරවන්තයන් පිළිගත්හ. ලෝකයේ ලස්සන ම දුම්රිය ගමාන්තයක ඉතිහාසයත් අඳුරු වර්තමානයත් ගමනාරම්භයට පෙර පැහැදිලි කෙරිණ. තංගමලේ ජීවත් වන විවිධ විචිත්‍ර වර්ණවත් මිනිස්සුන් පිළිබඳව අමුත්තෝ සාකච්ඡා කළ හ.

‘මාස්ටර් සර් ….. සිංදුව තියන කළුදිය දහර ෆිල්ම් එක ශූට් කළේ තංගමලේ.’
‘හර්බට් රංජිත් එක්ටැම් ගේ කළෙත් මෙහෙ .’
‘යසපාලිත තුෂාරා , අංජානා ෆිල්ම් දෙක ම කළෙත් මෙහෙ’.
‘පතී සොල්දාදු උන්නැහේ කළෙත් මෙහෙ’
‘ සන්නා ඉපඳුණේ තංගමලේ වත්තේ ඉස්පිරිතාලේ ‘

උඩරට මැණිකේ වැලිමඩ සානුවට ඉහළින් රිදී පාට නාගයෙකි.
අඳුරු ගුහාවලින් රිංගමින් කඳු පල්ලම් බහින දුම්රියකි.
කෝච්චිය හැමදාම සානු පතුලට හූ කියති.
එදා අමුතු අමුත්තෝ කෝච්චිය තංගමලේට පැමිණි විට අත්පොළසන් තැබූ හ.
මළයාලම් මලකෝළම් සහිත තංගමලේ ය.
අමුත්තෝ ෆිල්ම් එක නිර්මාණය කිරීමට ගිවිසුම් ගත වූ හ.
සීතල මීදුමින් තංගමලේ කිරිහට්ටි සානුව වසා ගන්නා මාර්තුවේ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට එකඟ වූ හ.
එළඹි මේ වසර නිමා වන්නට පෙර ‘තංගමලේ ඩයරීස්’ ෆිල්ම් එක ලෝකය පුරා ප්‍රදර්ශනය කිරීමට ආදර සාමූහිකය සැලසුම් කළහ.

‘අපේ ෆිල්ම් එක අපි හදමු.’
එකඟ වූ හ. “

– Upul Sannasgala

Share

227 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.