එකම මාසයකදී එකවර තිරගත වන, ලාංකීය සිනමාපට තුනක්
උදාවූ සැප්තැම්බර් මාසය තුළදී මෙරට නිර්මාණකරුවන් තිදෙනෙකුගේ සිංහල චිත්‍රපට තුනක් සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වනවා. එකිනෙකට වෙනස් තේමාවන් සහ කතා ශානරයන්ගෙන් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපට තුනෙන් දෙකක්ම අදාළ අධ්‍යක්ෂකවරුන්ගේ කුළුදුල් වෘතාන්ත සිනමාපටයයි.
සැප්තැම්බර් 02 – සිනේ මා
සැප්තැම්බර් 08 – පියාඹන්න ආයෙත්
සැප්තැම්බර් 15 – හිතුමතේ ජීවිතේ
සිනේ මා (The Film and Me)
සිනමාව හා බැදුණු පුද්ගලයින් හය දෙනෙකුගේ සිද්ධි දාමයක් මුල් කරගෙන දිවෙන ‘සිනේ මා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ කපිල සූරියආරච්චි විසිනුයි.
සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්නට සිහින මවන සුමල් ධර්මරත්න…
සිනමාව පිළිබඳ ඉගෙන ගන්නට වෙර දරන තරුණ ජාලිය ජයසේකර…
නිළියක වීමට සිහින දකින තිළිණි සමරසිංහ…
සිනමාව ව්‍යාපාරයක් කරගත් කූට ව්‍යාපාරික විශ්වකීර්ති අමරසූරිය…
ආදී චරිත හයක් වටා ගෙතෙන මෙම ‘සිනේ මා’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා රඟ දක්වන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු සමඟින් මේඝ සූරියආරච්චියි.
ඊට අමතරව නයනතාරා වික්‍රමාරච්චි, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ඩග්ලස් රණසිංහ, දුලීකා මාරපන ආදී ජනප්‍රිය නළු නිළියන් ගණනාවක්ම මීට සම්බන්ධ වී තිබෙනවා. මෑතකාලයේ නිකුත් වූ සෙසු චිත්‍රපටවලට වඩා වෙනස් කතා අන්තර්ගතයක් සහිත මෙම නිර්මාණය ඔබට ළඟම සිනමාහලෙන් දැන් නැරඹිය හැකියි.
පියාඹන්න ආයෙත් (Fly Once More)
Romance – Road Movie ශානරයේ සරල ආදර කතාවක් සහිත ‘පියාඹන්න ආයෙත්’ සිංහල සිනමාපටය මෙම සැප්තැම්බර් 08 වනදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි. ජනමාධ්‍යවේදී ෂර්ලි සමරසිංහ මෙහි අධ්‍යක්ෂකවරයා වන අතර මෙය ඔහුගේ පළමු වෘතාන්ත සිනමාපටය වනවා.
දිවයින පුරා සංචාරය කරමින් මෙරට සුන්දර දර්ශන තල ගණනාවකදීම මෙහි රූපගත කිරීම් සිදුකොට ඇති මේ චිත්‍රපටය නුවරඑළිය, යාපනය, බදුල්ල, කතරගම ආදී ප්‍රදේශවල රූගත කොට තිබෙනවා.
ඉතා සීමිත නළු නිළියන් පිරිසක් යොදාගෙන නිර්මාණය කර තිබෙන මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට එක් වන්නේ කළණ ගුණසේකර සමඟින් චමත්කා ලක්මිණි යි. පසුගිය ජූලි මාසයේදී කලණ ගුණසේකර රංගනයෙන් එක්වූ Night Rider චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹි අතර දින 50 පසුකරමින් තවමත් තිරගත වනවා.
‘පියාඹන්න ආයෙත්’ හි නිෂ්පාදනය සහ තිර පිටපත උදාර පල්ලියගුරුගෙන්. චිත්‍රපටයේ කැමරාකරණය ගයාන් ගීතප්‍රිය විසිනුත්, සංස්කරණය නිරෝධ වීරංග විසිනුත් සිදු කොට තිබෙනවා.
මෙහි ඇතුළත් වන රිද්ම වීරවර්ධන විසින් ගායනා කරන “මාරුතේ” නැමැති ගීතය පසුගිය දිනවල අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.
එළඹෙන සැප්තැම්බර් 08 වනදා සිට ඔබට මෙය නැරඹිය හැකියි.
හිතුමතේ ජීවිතේ (The Wandering Life)
කළුතර ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වූ දුප්පත් තරුණියක දූෂණය කර – මරා දැමූ ඝාතකයින් පිරිසක් සහ ඔවුන් වටා හඹා යන එම තරුණියගේ සොහොයුරා අතර සිදු වන සිද්ධි දාමයක් ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටයට පාදක ව තිබෙනවා.
උදේනි සමන් කුමාරගේ ග්රන්ථයක් ආශ්‍රය කරගෙන රචනා කොට තිබෙන මෙම සිනමාපටය ක්‍රිෂාන්ත මනම්පේරි විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.. වෘත්තියෙන් ගුවන් හමුදා නිලධාරියෙකු වන ඔහු මින් පෙර ටෙලි නාට්‍ය කිහිපයක් ද අධ්‍යක්ෂණය කර ඇතත් ඔහුගේ පළමු සිනමා ආගමනය වන්නේ මෙයයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන ‘හිතුමතේ ජීවිතේ’ හෙවත් සුමතිපාලගේ චරිතය නිරූපණය කරන්නේ දිනෙත් ද සිල්වා විසිනුයි. මහේන්ද්‍ර පෙරේරා, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, ප්‍රියංකර රත්නායක, රොජර් සෙනවිරත්න සහ දමිතා අබේරත්න වැනි ජනප්‍රිය නළු නිළියන් ගණනාවක්ම මෙහි සෙසු චරිතවලට රංගනයෙන් දායක වනවා.
චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය Secret of The Rose, ගොවිතාත්තා, භවතරණ ආදී නිර්මාණවල කැමරාව හැසිරවූ නිශාන්ත ප්‍රදීප් විසින් සිදුකොට තිබෙනවා. රුක්මල් නිරෝෂ් සංස්කරණය සිදු කළ මෙය ගයාත්‍රී කේමදාස සහ සාගර විජේසිංහගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වී තිබෙනවා. හිතුමතේ ජීවිතේ විහාරා සමරසිංහගේ නිෂ්පාදනයකි.
මෙම සැප්තැම්බර් 15 වනදා සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාශාලා 50කට ආසන්න ප්‍රමාණයකට ‘හිතුමතේ ජීවිතේ’ සිනමාපටය මුදා හැරෙනවා.
Written by Kavinu Weerakkody