Sri Lanka's Best Cinema Portal

 

එදා රිදී තිරයේ සාමා වූ සුන්දර කළු කෙල්ල – ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල සමග කතාබහ

0
Posted December 5, 2017 by samitha samitha in Articles
IMG_2028

කලාව වෙනුවෙන් ජිවිතයේ බොහෝ දේ කැප කරමින් කලාව උදෙසා ජිවත් වෙමින් ඒ කලා මාධ්‍යයට ලැදි රසිකයින්ගේ හදවත් වල නොමැකෙන මතකයන් ඉතිරි කළ කලාකරුවන් අතර සිනමා ක්ෂේත්‍රයේ සහ වේදිකාවේත් ටෙලි තිරයේත් එක ලෙසින් මතක රැසක් ඉතිරි කළ, අදටත් සිය රංගන හැකියාව ඔස්සේ රසිකයින් හමුවට එන ප්‍රවීණ රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල cinema.lk රිදී තිරයේ තරු කතාබහට එක්වනවා.

ලියෝනි අසුන්තා වීරසිංහ කියන රංගන ශිල්පිනියගේ ආරම්භය කොතැනද…..??
ලියෝනි වීරසිංහ කලා කටයුතු ආරම්භ කරන්නේ වේදිකාවෙන්. පාසල් කාලයේ ඉඳලම වේදිකාවට, රඟපෑමට ඇල්මක් දක්වපු කෙනෙක්. 1962 වර්ෂයේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් සංවිධාන කළ නාට්‍ය තරගයකට G.D.L.පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුනා. ඒක තමයි මගේ කලා ජිවිතයේ ආරම්භය වුනේ. සාමා නාට්‍යයේ චරිතය වෙනුවෙන් මට හොඳම නිළිය විදිහට සම්මානය ලැබුනා. නාට්‍ය තරඟයෙන් මේ නාට්‍ය ජයග්‍රහණය කළා. ජයග්‍රාහි නාට්‍ය වෙනුවෙන් ලැබුණු මුදල් තෑගී සේරම යොදවමින් සාමා නමින්ම ඒ කතාවෙන්ම චිත්‍රපටයක් කරන්න මේ කණ්ඩායම සුදානම් වුනා. නාට්‍යයේ සාමා වුනු මටම චිත්‍රපටයෙත් සාමා චරිතයම රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ ඒ විදිහට. නමුත් අද වගේම එදත් මේ චිත්‍රපට තිරගත කිරීමේදී යම් යම් ගැටළු ඇතිවීම තිබුනා. ඒ නිසා සාමා චිත්‍රපටයට කලින් මම දෙවනුව රඟපෑමෙන් දායක වුනු චණ්ඩාලි චිත්‍රපටය 1964 තිරගත වුනා. නමුත් සාමා චිත්‍රපටය එක්කයි ලියෝනි කොතලාවල කියන චරිතය සිනමාවට එන්නේ.

රංගන ශිල්පිනියක් විදිහට සිනමාවට පිවිසුන ඔබ විශේෂිත අවස්ථා රැසක්ම ලබන්න වාසනාවන්ත වුනා. ඒ ගැන මතක් කළ යුතුමයි.
ඔව්. 1964 ඉඳන් මේ දක්වා මම චිත්‍රපට වල ටෙලි මාධ්‍යයේ වේදිකාවේ රඟපානවා. ඒ අතර මට ලැබුණු විශේෂ අවස්ථා මට මතක විදිහට කිහිපයක්ම තියෙනවා. ඒ මම කැමති මට වැඩිපුරම හදවතට දැනුනු දේවල්.මම කතෝලික ආගමේ කෙනෙක්. ඉතින් රංගන ශිල්පිනියක් විදිහට තෙරේසා මව්තුමිය ගැන නිර්මාණය කෙරුණු ඉන්දියානු චිත්‍රපටයට වැඩ කරන්න මට අවස්ථාව ලැබීම මට විශේෂයි. ඒ වගේම සිංහල සිනමාවට හිටපු මුල් කාලින කාන්තා අධ්‍යක්ෂවරියක වුනු රුබි ද මැල් අධ්‍යක්ෂණය කළ පිපෙන කුමුදු චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නත් මට අවස්ථාව ලැබුනා. ඒ 1967 අවුරුද්දේ. ඒ වගේම අපේ සිනමාවේ නොමැකෙන නමක් තියපු රුක්මනී දේවි එක්ක රඟපාන්නත් මම වාසනාවන්ත වුනා. ආනන්ද සිරිසේන රචනා කළ ගුවන් විදුලි නාට්‍යක් වුනු වජිරා නාට්‍යයේ ඇසිලින්ගේ චරිතයට හඬ දෙන්න ලැබුනා. ඒ වගේම ඒ නාට්‍ය ඇසුරින්ම නිර්මාණය වුනු වජිරා ටෙලි නාට්‍යයේත් මහාචාර්ය සුනිල් ආරියරත්න නිර්මාණය කල 1981 තිරගත වුනු වජිරා චිත්‍රපටයේත්  ඇසිලින්ගේ  චරිතය රඟපාන්න ලැබුනා. මේකත් මට විශේෂ සිදුවීමක්. ඔය විදිහේ විවිධ අවස්ථා රැසක් ලබන්න මට හැකියාව ලැබුනා.

60 දශකයේ සිනමාවට ආව ඔබට අදට වඩා බොහොමයක් අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවන්න ඇති.
ඔව් එක ඇත්ත. අද තරුණ පරම්පරාව වැඩ කරන්නේ දියුණු තාක්ෂණයත් එක්කයි. නමුත් අපි වැඩ පටන් ගන්න කාලේ තාක්ෂණය එහෙම දියුණු නැහැ. අවම පහසුකම් මැද තමයි නිර්මානකරණයේ යෙදුනේ. ඉතින් ඒ කාලේ සිනමාපටයකට දායක වනවා කියන එකම අභියෝගයක්. ක්ෂේත්‍රය ඇතුලෙත් ඉතින් දැන් වගේම තමයි. වෙනසක් නෑ. ඉතින් ඒ ක්ෂේත්‍රයේ පැවතීමම අභියෝගයක් තමයි. විශේෂයෙන්ම කාන්තාවකට සහ තරුණියකට තමන්ගේ ගරුත්වය රැකගෙන මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීම අභියෝගයක්. මට මතකයි සමහර පුවත්පත් කලාවේදීන් කියාගන්න අය පත්තරේ මුල් පිටුවෙ කවරයකට පින්තුරයක් දාල දෙන්න ඒ අය එක්ක ෆිල්ම් එකක් බලන්න යමු, කොහෙහරි ඇවිදින්න යමු වගේ යෝජනා කලා. මටත් එහෙම යෝජනා ඇවිත් තියෙනවා. නමුත් මගේ දෙමව්පියන්ගේ ආරක්ෂාවත් උදවුවත් නිසා ඒවායින් ගැලවී ජිවිතේ ගොඩනගා ගන්නත් වෘත්තියේ යෙදෙන්නත් මට පුළුවන් උනා.

ඔබ සිනමාවේත් ටෙලි තිරයේත් කළ චරිත එකකට එකක් වෙනස්. වෙනස් විදිහේ අත්දැකීම් සහිත වෙනස් සමාජ වටපිටාවල ජිවත් වන ගැහැණු චරිත. මේවට ලැබුණු ප්‍රතිචාර ගැනත් කතා කරමු.
මට වැඩිපුරම මතක ප්‍රතිචාර ලැබුනේ මම පුතාලව ඉස්කෝලේ අරගෙන යන වෙලාවට. මම කරපු සමහර චරිත නිසා මාව දැක්කහම සමහර දරුවෝ දුවනවා බය වෙලා. සමහරු මම ලඟට එනවට අකමැතියි මම නපුරුයි කියල. ඔය වගේ ප්‍රතිචාර බොහොමයක් මට ලැබිලා තියෙනවා. ඒවා ලැබෙද්දී මට දැනෙනවා මම ඒ චරිත ප්‍රේක්ෂකයන්ට දැනෙන්න කරලා තියෙනවා නේද කියල. ඒ ගැන මට ඇතිවෙන්නේ සතුටක්. ටෙලි මාධ්‍යයේ මම කරපු චරිත වලට හුඟක් ප්‍රතිචාර ලැබුනා මගතොටේ යද්දී. විශේෂයෙන්ම නෑදෑයෝ ටෙලිනාට්‍යයේ අගිදහාමි චරිතයට සහ ඉරුට මුවාවෙන් ටෙලිනාට්‍යයේ ඉඳිආප්ප විකුණන කාන්තාවගේ චරිතයට. ඒ සේරම හරි සුන්දර මතකයන් තමයි.

ආපසු හැරිලා බලද්දී ගෙවුණු දශක පහකට අධික කාලය ගැන මොකද හිතෙන්නේ..?
ගෙවුණු කාලය සුන්දරයි මිහිරියි කියල විතරක් සරළව උත්තර දෙන්න බැහැ. හුඟක් දුක් විඳපු කාල තිබුනා. කලාව පැත්තෙනුත්, පෞද්ගලික ජිවිතේ පැත්තෙනුත්. නමුත් මගේ ස්වාමියාත් පුතාල තුන් දෙනාත් අපි ඔක්කොම එකට ඒ සියල්ල දරා ගත්තා. දැන් වෙද්දී මගේ මහත්තයා ජිවතුන් අතර නැහැ. පුතුන් තුන් දෙනාම විවාහකයි. ඒ අයටත්  දරුවන් ඉන්නවා. ඉතින් දරු මුණුබුරන් එක්ක දැන් නම් සන්තෝසයෙන් ජිවත් වෙනවා. නමුත් අපි කලාව ඇතුලෙදි හුඟක් කටුක අත්දැකීම් වින්දා. පෞද්ගලික කාරනා නිසා වගේම සමහර කාලවේ ඉන්නා අයගේ හැසිරීම් නිසාත්. දරුවෝ පුංචි දවස් වල මට දවස් ගණන් දුර පළාත් වල ගිහින් නැවතිලා ඉන්න බැරි නිසා මම ගෙදර ඇවිත් යන්න ලැහැස්ති කරගත්තා. ඉතින් එතකොට මට සිද්ද වුනා මහා පාන්දර ඇහැරිලා පාරේ බස් එකේ හුඟක් දුර පළාත් වලට යන්න. ආපහු එද්දිත් එහෙම වෙලා තියනවා. ඔය වගේ හුඟක් දුෂ්කරතා තිබුනා. නමුත් ඒ සියල්ලට මුහුණ දෙමින් මෙතෙක් කළ වැඩ ගැන හිතද්දී අද දැනෙන්නේ සතුටක්.

එදා සහ අද වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?
මෙහෙමයි. මුලිකම දේ තාක්ෂණිකව ලොකු විපර්යාසයක් වෙලා. එදාට වඩා පහසුවෙන් සෑම දෙයක්ම කරගන්න පුළුවන් වෙලා. ඒක  පහසුවක් තමයි. එත් මට වෙලාවකට හිතෙනවා ඒ පහසුව නිසාම මිනිස්සු කම්මැලි වෙලා වත්ද කියලත්. ඉස්සර වගේ නෙමයි. රඟපාන්න ගියත් එහෙමයි. අනික් දේවලුත් එහෙමයි. මේවායේ හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා කියලයි මට හිතෙන්නේ. අනික් වැදගත්ම දේ අද ඉන්න පරම්පරාවේ විනය කියන එක. ඒ ගැන නම් කියන්න කණගාටුයි. ප්‍රවීණයින්ට ගරුත්වයක් සැලකිල්ලක් නැහැ. තමන් කරන වැඩේට අවංක නැහැ. හොඳ විනයක් ඇති අය නැතුව නෙමෙයි. නමුත් බහුතරයකේ තත්වය අන්තිමයි. වැඩේට ආවහම ඒ ගැන හිතනවා නෙමෙයි. ෆෝන් එකේ චැට් එකක එහෙමත් නැත්තන් තව කවුරුහරි එක්ක අනුන්ගේ ඕපාදුප කියවනවා. ඔන්න ඔහොමයි තත්වේ. ඒ ගැන නම් කියන්න ඇත්තටම කණගාටුයි.

ඔබ කීප වතාවක්ම ඇගයීම් වලට ලක්වුනා…?
ඔව් 1966 සරසවි සම්මාන උළෙලේ හොඳම නිළිය විදිහට නිර්දේශ වුනා. 1988 OCIC සම්මාන උළෙලේ හොඳම නිළිය විදිහට සම්මානයට පාත්‍ර වුනා. ඔය වගේ කිහිප වතාවකදීම නිර්දේශ වීම් සහ සමහර සම්මාන ලැබිල තියෙනවා. නමුත් පාරෙතොටේ යද්දී ලැබෙන ප්‍රේක්ෂක ආදරය මේ සියල්ලට වඩා මට නම් වටිනවා. මොකද ඒවා හරි අවංකයි. නිර්ව්‍යාජයි. මේ දවස් වලත් මම ටෙලි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුනා. ඉතින් පුළුවන් තාක් කල් හිතට දැනෙන නිර්මානයකටත් සම්බන්ධ වෙලා දරු මුණුබුරන් එක්ක සන්තෝසෙන් ජිවත් වීම තාමා දැන් මගේ බලාපොරොත්තුව.

Image By : Kasun Deegodagamage

Share

About the Author

samitha samitha


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2