ඒත් ගැහැණු, හැබැයි සටන් කරන්න “හිතේ හයිය” තිබුණු ගැහැණු

Avatar Nisanka Weheraduwa | February 2, 2020 93 Views 0 Likes 5 On 1 Rating

93 Views 5 On 1 Rating Rate it

ගැහැණු ලඳ බොළඳ බව “පිරිමි” පවසති. ඇතැම් විට එහි සත්‍යතාවක් නැතුවාද නොවේ. සමහර ගැහැණු බොළඳය. සියුමැලිය. නමුත් ඒ සමහර ගැහැණු පමණි. තවත් සමහර ගැහැණු ශක්තිමත්ය. බොහෝවිට පිරිමින් තරමටම හෝ ඊටත් වඩා ශක්තිමත්ය. කය ශක්තියට වඩා සිතින් ඔවුන් ශක්තිමත්ය. දරාගැනීම මෙන්ම සටන් කිරීමටද, නොනවත්වා සටන් කිරීමටද මේ ගැහැණුන්ට හැකිය. ජිවිතයේ කවර අවස්ථාවක හෝ ඔබ අවටින් ඔබේ පවුලෙන් ඔබට එවැනි ගැහැණු හමුවී ඇතුවාට සැක නැත. පිරිමින්ට අනුව “බොළඳ” ගැහැණුන් තරමටම මේ ශක්තිමත් ධෛර්යවන්ත ගැහැණුද සුලභය. මාල්තිද එවැන්නියකි.

මේ දෘඩ බව, ශක්තිමත් බව හෝ ධෛර්‍යසම්පන්න බව ඇයට ලැබෙන්නේ වයස 19ත් ඉක්මවා ගිය පසුවය. එතෙක් ඇයද කෙළිලොල් සුකොමල තරුණියකි. ගායිකාවක් වන්නට Indian idol තරඟයට යන්නට සිහින මැවූ සුන්දර යුවතියකි. නමුත් ඔබට ඇය මුලින්ම හමුවන්නේ එලෙසින් නොවේ. රැකියාවක් සොයමින් අයදුම්පත් යවන සම්මුඛ පරීක්ෂණ වලට දිනපතා යන තරුණියකි. ඇය විශේෂිත වන්නේ ඇගේ මුහුණ අසාමාන්‍ය හෙයිනි. ඇයට ඇත්තේ, දැවී පිලිස්සීගිය පසු විවිධ ප්‍රතිකාර සහ ශල්‍යකර්ම රැසක් හරහා ගමන් කොට අසීරුවෙන් යම් තරමකට “පිළිසකර” කරගත් මුහුණකි. ඇගේ මුහුණට වුනු විපත පිලිබඳ ඔබට පළමු ඉඟිය ලැබෙන්නේ ඇය එක් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන අතරතුරය.

“ඔයා කොතැනවත් Mention කරලා නැහැ ඔයාගේ මේ පෙනුමට හේතුව ගැන” ඇගෙන් විමසන්නේ ආයතන නිළධාරියෙකි. “සර්, Acid survivor” කියල Option එකක් දීල තිබුනේ නැහැ, තිබුන නම් මට ඒක තෝරන්න තිබුනා” ඇය ඉතා සෘජු ලෙස සහ තියුණු ලෙස පවසා එතැනින් පිටව යයි. මෙලෙස රැකියාවක් සොයන අතරතුර ඇයට හමුවන මාධ්‍යවේදිනියක් මගින් Amol හඳුනා ගැනීමට ඇයට අවස්ථාව හිමිවේ. ඇසිඩ් ප්‍රහාරයන්ට ගොදුරුව පීඩා විඳින තරුණියන් වෙනුවෙන් සටන් කරන, ඔවුන්ට යුක්තිය ඉටුකරදීම, ප්‍රතිකාර සඳහා උදවු වීම, වැනි සුබසාධන වැඩකටයුතු කරන NGO එකක් ඔහු ආරම්භ කරයි. එහි ක්‍රියාකාරී සාමාජිකාවක සහ Co-Founder කෙනෙක් බවට ඇය පත්වේ. නමුත් මුල්‍ය තත්වය අර්බුධකාරී වීම, අරමුදල් සපයා ගැනීමට නොහැකි වීම ඇතුළු ගැටළු වලට ඔවුන් මුහුණ දෙයි. මේ අතරතුර ඇය වෙනුවෙන් යුක්තිය පසිඳලීමට ඇගේ නීතිඥවරිය දිගින් දිගටම සටන් කරයි.

මේ අතරතුර සිදුවීමේ පූර්ව කතාවද තිරයේ දිස්වේ. පාරේ යමින් සිටි තරුණියට ඇසිඩ් පහර වැදීම, ඇය රෝහල්ගත වීම සහ පොලිස් පරීක්ෂණ ආරම්භ වීමත් පරීක්ෂණ අනුව අසල්වැසි හිතවත් පවුලක තරුණයකු වූ Basheer Shaikh සහ ඔහුගේ සොහොයුරාගේ බිරිඳ අත්අඩංගුවට පත්වීමත් සමග මාල්ති මෙතෙක් පසුකරමින් පැමිණි අතිශය වේදනාකාරී දුෂ්කර කාලසීමාව සහ මෙතෙක් අගේ සටන පිලිබඳ අවභෝධයක් ප්‍රේක්ෂකයාට ලැබේ. ඉතින්, මාල්ති වෙනුවෙන් කඳුලක් නොඋනන්නේ කෙසේද..? ඇසිඩ් ප්‍රහාරයන්හි වින්දිතයන්හට යුක්තිය ලබාගැනීම වෙනුවෙන් ඉන්දීය නීති සංශෝධනය කරවාගැනීම, ඇසිඩ් අළෙවිය ඉන්දියාව තුළ නීතියෙන් තහනම් වෙළඳාමක් බවට පත්කරවා ගැනීම ඇතුළු කරුණු රැසක් උදෙසා ඇය සහ ඇගේ කණ්ඩායමේ අරගලය ව්‍යාප්තව යයි.

Meghna Gulzar 2002 වසරේ සිට සිනමාකාරිනියක් ලෙස ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ අධ්‍යක්ෂවරියකි. ඇගේ පියාගේ චිත්‍රපට නිර්මාණ සමග වැඩකටයුතු කරමින් සිනමා ගමන් ඇරඹු ඇය 2002 වසරේ ඇගේ පළමු චිත්‍රපටය නිමකොට තිබේ. Raazi චිත්‍රපටය අවසන් වීමත් සමගම Meghna සිතමින් සිටි අලුත් ව්‍යාපෘතියට වැඩ අරඹන්නිය. ඇසිඩ් ප්‍රහාරයට ලක්ව පීඩා විඳි, එමෙන්ම ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වූවන් වෙනුවෙන් සටන් කරන luxmi Agrawal ඇයට හමුවේ. ඇය සමග තවත් බොහෝ ඇසිඩ් ප්‍රහාරයන්හි වින්දිතයන් වූ තරුණියන් ඇයට හමුවේ. මේ සියල්ලෝ වෙනුවෙන් Meghna සිය සිනමා මෙහෙයුම අරඹයි. ඒ Chapaak චිත්‍රපටයයි. මාල්ති සහ අමෝල් ඔබට හමුවන්නේ මේග්නාගේ චිත්‍රපටයෙනි. Deepika Padukone සහ Vikrant Massay මෙහි මාල්ති සහ අමෝල් ලෙස රංගනයේ යෙදෙති. බොහෝ විචාරක සහ ප්‍රේක්ෂක පැසසුම් මේ වනවිටත් චිත්‍රපටයට ලැබී තිබේ. විශේෂයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රංගනය පිලිබඳ පැසසුම් බොහෝය. වයස අවුරුදු 19 පාසල් වයසේ තරුණියක ලෙස දීපිකාවම යොදෙවා ගැනීම කෙතරම් උචිතදැයි යම් ගැටළුවක් පවතින්නේ එම දර්ශන කිහිපයේ ඇගේ රංගනය එම වයසේ තරුණියකගේ නොපවතින පැසුණු බවක් පෙන්වීම හේතුවනි. නමුත් එම දර්ශන කිහිපය නොසලකා හැරියහොත්, විශේෂයෙන් ඇසිඩ් ප්‍රහාරයෙන් පසුව සහ මුල් වරට සිය විරූපී මුහුණ කණ්නාඩියෙන් දකින අවස්ථාව වැනි දර්ශන දීපිකා ඉතාම තාත්වික සහ සංවේදී ලෙස ඉදිරිපත් කොට ඇත්තේ ප්‍රේක්ෂකයා තුළද කම්පනයක් හටගන්වන අයුරිනි.

මේග්නා නිර්මාණය කරන තිර රචනය ප්‍රබලය. විශේෂයෙන් ඇසිඩ් ප්‍රහාරයක් ලක්වූ තරුණියක් සිය ජීවිතය ගොඩනගා ගැනීම, අනික් ඇසිඩ් ප්‍රහාරයන්හි වින්දිතයන් වෙනුවෙන් යම් වැඩ කොටසක දීම වැනි සරළ කතාවකින් ඔබ්බට ඇය මේ තිර රචනය මෙහෙයවන්නිය. කාන්තාවගේ සටන්කාමීත්වය, ධෛර්යය, වෙනම තලයකට ගෙන ඒමට ඇය සමත් වෙයි. ඇගේ කතාවේ මාල්ති මුල් කාලය තුළ කඩාවැටුණු ස්වරූපයක් පෙන්වුවද, නඩුවාරයට මුහුණදෙන තැන පටන් ඇය ක්‍රමයෙන් ගොඩනැගෙන අයුරුත්, හිස ආවරණය ඉවත් කොට, සැබෑ තමන් ලෙස සමාජයට පිවිසෙන අයුරුත් අපූරුව ගොඩනංවා තිබේ. නමුත් ඇය කරාබු කණට තබා හැඩබලන අයුරු වැනි අතිශය සංවේදී අවස්ථාද කතාවට ඇතුලත් කිරීමට තරම් ඇය පරිස්සම් වී තිබේ. චිත්‍රපට කතාව ඇරඹෙන්නේ උද්ඝෝෂණයක අවස්තාවකිනි. එතැනදී සිදුවන සිද්දි දාමය ඔස්සේ මාධ්‍ය හැසිරීම පිලිබඳ යම් ඉඟියක් ඇය ඉදිරිපත් කරයි. නඩුවාරයකට පසු උසාවි පරිශ්‍රයෙන් පිටතට එන මාල්ති සහ නීතිඥවරිය ඉදිරියට එන මාධ්‍යකරුවන් ඔවුන්ගෙන් ප්‍රශ්න අසයි. මේ ප්‍රශ්න කිරීම හරහා සමස්ථ මාධ්‍ය අධිකාරයේ හැසිරීම පිලිබඳ අපූරු පැතිකඩක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ඇය සමත් වේ. එතෙක් මාල්තිට සහ නීතිඥවරියට සිතින් ආදරය කරන ප්‍රේක්ෂකයා එම මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන්ට අප්‍රසාදය පලකිරීමට පෙළඹෙන්නේ නිතැතිනි.

ඇය අපූරු සැමියකු කතාවට ගෙන එයි. ඒ නීතිඥ ආර්චනාගේ සැමියාය. මාල්ති නඩුව වෙනුවෙන් අදාළ කටයුතු කිරිමට ඇගේ නිවසට එන අනික් නීතිඥවරියන්ට තේ සකස් කොටදී ඔවුන්ට බාධා කරමින් සිටින දරුවා රැගෙන පිටතට යන සැමියෙකි. දියණියගේ උපන් දින සැමරුම පටන් ගනිද්දිම හදිසි ඇමතුමක් නිසා පිටතට යන බිරිඳ සනසන තරම් අපූරු සැමියෙකි. මේග්නා මේ සියලු චරිත අපුරුවට පෙළගස්වා තිබෙන්නේ ඇයට අවශ්‍ය වූ “ගැහැණු සටන” ඉතා හොඳින් ගොඩනැගෙන පරිදිය.

නඩුවාරයේදී දැඩිව සහ තියුණුව සටන් වදින නීතිඥ වරියත් සියලු ඛේදවාචක අවසානයේ තමන් තමන් වශයෙන්ම විවෘතව ස්වාධීනව ටෙලිවිෂන් නිවේදිකාවක ලෙස වැඩකටයුතු කරන මාල්තිවත් ඇය ගොඩනගන්නේ සටන්කාමි ගැහැණු දෙදෙනෙක් ලෙසිනි. ලක්ෂ්මි අග්‍රාවල් සහ ඇගේ කතාව ඇසුරේ මේග්නා තවත් බොහෝ කාරණා සාකච්චාවට විවෘත කරන්නීය. සමාජ දේශපාලනික ක්‍රියාකාරීත්වය, නීතිය, නීතියේ හැසිරීම මෙන්ම පොදු සමාජ ක්‍රියාකාරීත්වයත්, පොලිසියේ ක්‍රියාකාරීත්වයත් ඇය තිර රචනය හරහා මැනවින් පිළිබිඹු කරයි. කාන්තා පාසලකට යන දියණියගේ දුරකථනයේ “පිරිමින්” එවූ මැසේජ් මෙතරම් තිබෙන්නේ කෙසේදැයි පොලිසිය ප්‍රශ්න කරන විට ඊට එරෙහිවන නීතිඥවරිය හරහා ඇය පොදු සමාජයේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ චින්තය සියුම්ව කොනිත්තයි. තවත් එවැනි බොහෝ අහුමුලු කරා විහිදුනු ප්‍රබල තිර රචනයකට විශිෂ්ට අධ්‍යක්ෂනයක් එක් කොට තිබේ. දීපිකා සහ වික්‍රාන්ට් මෙන්ම අනික් ශිල්පීන්ද සිය කාර්ය මැනවින් ඉටුකොට ඇත. ප්‍රේක්ෂකයා තුළ දුක, සතුට, සංවේදනය ඇතුළු මිශ්‍ර හැඟීම් සමුදායක් ගෙනෙන Chapaak අවසානයේ බොහෝ ප්‍රේක්ෂකයින් කිසියම් වික්ෂිප්ත භාවයකට පත්වන්නේ මේ සියල්ල සිනමාහලෙන් පිටත සමාජයේ මේ මොහොතේත් සිදුවෙමින් පවතින සත්‍ය බව සිහිපත් වීමෙන්ද විය හැක.

Share

93 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.