ඒ ඉන්නේ කමල් නෙමේ විජේවීරයි කියන එකම මට ඇති – නාරද

Avatar Nisanka Weheraduwa | February 5, 2019 6 Views 0 Likes 0 Ratings

6 Views 0 Ratings Rate it

චිත්‍රපටයේ පේන්නේ කමල් නෙමෙයි, විජේවීර’ කියන කමෙන්ට් එකම මට වටිනවා – නාරද ධනංජි තොටගමුව

සංවාදය සහ සටහන : භාතිය ගුණසේන

***************************************************************

ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ ඇඳුම් නිර්මාණ ශිල්පී, සංජීව කරුණාරත්න සහ එම චිත‍්‍රපටයේ අංග රචනා ශිල්පී, නාරද ධනංජි තොටගමුව යන ශිල්පීන් දෙදෙනා සමග සිදුකළ සංවාදයක් ඇසුරින් සැකසිණි.
————————–————————–————————–—-

අංගරචනය නමැති වෘත්තියට ඔබ යොමුවුණේ කොහොමද?

අංගරචනය පිළිබඳව මට උනන්දුවක් ඇති වෙන්නේ ටවර් හෝල් පදනමේ පාඨමාලාවට ආවාට පස්සේ. ඊට පස්සේ වැඩ කරන්න ලැබුණු වේදිකා නාට්‍යවල, රූපවාහිනී නාට්‍යවල සහ ‘ටී.වී. සීරීස්’වල වැඩ කරද්දී තමයි, තේරුණේ, මට ‘මේකප්’ බෑ කියලා. එතකොට සිද්ධ වෙනවා නේ බැරි දේවල් හොයාගෙන යන්න. නමුත්, ඒ වෙන කොට ලංකාවේ අංගරචනය ඉගෙන ගන්න තැනක් තිබුණෙ නෑ, නමුත්, මගේ වාසනාවට ජයන්ත රණවක මහතා පටන් ගන්නවා, අංගරචන ශිල්පීන්ගේ ඩිප්ලෝමා පාඨමාලාවක්. ඒ සිනමාව සහ රූපවාහිනී මාධ්‍යයන් සඳහා. එම පාඨමාලාවේ පළමුවැනි ‘බැච්’ එකට මම ඇතුළත් වුණා. මම විශ්වාස කරනවා, මම ‘මේකප් ආටිස්ට්’ කෙනෙක් වෙන්නේ එතනින් පස්සේ කියලා. මොකද? මේකප් කියන විෂයය අපි ඉගෙනගෙන කරන්න ඕන වැඩක්.

මෙම විෂයයේදී යම් චරිතයකට අංගරචනය කරද්දී, ඔබේ මූලික ප‍්‍රවේශය සිද්ධ වෙන්නේ කොයි ආකාරයටද?

මූලිකවම එතනදී මම කාරණා දෙකක් දකිනවා. ඒ කියන්නේ, පිටපතේ තිබෙන විදියට නිවැරදිව චරිතයක් ‘ඇනලයිස්’ කරගන්න පුළුවන් විය යුතුයි. දෙවැන්න තමයි, ඒකට පාවිච්චි කරන තාක්ෂණය නිර්මාණාත්මකව පාවිච්චි කරන්න අපට හැකියාව තිබිය යුතුයි.

ලංකාවේ මේකප් එහෙම නැත්නම්, අංගරචනය කියලා හඳුන්වන්නේ ‘ලිප්ස්ටික්’, ‘පව්ඩර්’, ‘ඩයි’ කිරීම, කොණ්ඩයක් දැමීම වගේ කාරණා. ඇත්තටම මෙම විෂයය එතැනින් එහාට ගිය ගැඹුරු කාරණයක් නේද?

ලංකාවේ මේකප් ගැන දන්නේ නැහැ. මොකද? ලංකාවේ මේකප් කියලා හිතාගෙන ඉන්නේ කාට හරි ‘ෆවුන්ඬේෂන්’ එක දාලා, ලිප්ස්ටික් ටික දාලා ‘අයිලයින්’ එක දාලා, එහෙම යවන එක. අපේ බහුතරයක් මේකප් කියලා හිතාගෙන ඉන්නේ ඒ දේ. නමුත්, මේකප් කියන්නේ, ඉතාම වගකිව යුතු කාරණාවක් සහ නිර්මාණයට බලපෑම් කළ හැකි කාරණයක්. අංගරචනය කියන වෘත්තිය හරිම සැහැල්ලූවෙන් ගන්න රටක් විදියට තමයි, මම ලංකාව දකින්නේ.

‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටයට ඔබේ විෂය දැනුම පාවිච්චි කළේ කොයි ආකාරයටද?

අපට මේ චිත‍්‍රපටයේ තිර පිටපත අතට ලැබෙන කොට අපි දන්නවා මේ කතාවේ කාලය මොකක්ද කියන එක. 1977-1989 අතර කාලය තමයි, ‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටයේ ‘පීරියඞ්’ එක විදියට හඳුනාගන්න ලැබෙන්නේ. මේ චිත‍්‍රපටයේ හිටපු චරිත ගැනත්, ‘රෙෆරන්ස්’ යම් ප‍්‍රමාණයක් ඉතිරි වෙලා තිබෙනවා. ඒ වගේම වීඩියෝ කිහිපයක් තිබුණා. ඊළඟට අපි කල්පනා කළා ඒ ගොල්ලන්ට මොන විදියේ අංගරචන ක‍්‍රම විධි ද පාවිච්චි කරන්නේ කියලා. උදාහරණයක් විදියට කැලේ මැද දී කොටයක් උඩ වාඩිවෙලා ගත්ත ඔරිජිනල් පින්තූරය අපට හම්බ වෙනවා නේ. එතකොට අපි කරපු නිර්මාණයේ පින්තූර සහ ඒ පින්තූරය හුඟක් දුරට සමානයි. නමුත්, මෙතැනදී කියන්න ඕන මේක තනි කර්තව්‍යයක් නෙමෙයි. ඇඳුම් නිර්මාණ ශිල්පියා, කලා අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂවරයා, කැමරා අධ්‍යක්ෂවරයා කියන සියලූ දෙනාගේ එකතුවෙන් තමයි, ඔය කියන කාරණාව උඩට එන්නේ. එතකොට මූලික වශයෙන් මම අධ්‍යයනය කළේ මේ කාලේ තිබුණු විලාසිතා මොනවාද කියන එක.

මේ වෙන කොට ‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටය තිරගත වෙමින් තිබෙනවා. එයට ලැබෙන ප‍්‍රතිචාර සහ ඔබ ආපසු මේ චිත‍්‍රපටය බලද්දී ඔබට දැනෙන හැඟීම මොන වගේද?

ලංකාවේ අංගරචන ශිල්පියකු මේ තරම් ම අවධානයට ලක් වුණු පළමුවැනි අවස්ථාව ‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටය කියලා මම විශ්වාස කරනවා. එතකොට මට පොඩි සතුටක් දැනෙනවා, මේ වෘත්තිය යම් කිසි අගයක් දැනෙන තත්ත්වයකට ගේන්න මට පුළුවන් වුණු එක ගැන. ඒ තරමට ඇගයීමක් ඇත්තටම මේ චිත‍්‍රපටයත් සිද්ධ වුණා. ”කමල් අද්දරආරච්චිව නෙමෙයි පේන්නේ, රෝහණ විජේවීරව” කියන ‘කමෙන්ට්’ එක ම ඉතාම වටිනවා. සමහර විචාරකයන් තමන්ගේ චිත‍්‍රපට විචාරවල මේකප් සම්බන්ධව කතා කරලා ම නැහැ. හේතුව විදියට මම දකින්නේ, ලංකාවේ මේකප් ගැන අවධානයක් සහ අවබෝධයක් නැති තත්ත්වයක් තිබීමයි.
මම මේ චිත‍්‍රපටය පස් වතාවක් බැලූවා. මට තව වතාවක් බලන්න ඕන. ඒ කියන්නේ, මගේ ජීවිත කාලය ඇතුළත මම වැඩ කරපු චිත‍්‍රපටයක් පස් වතාවක් බලපු පළමුවැනි වතාව මේකයි. බලන බලන හැම වතාවකම මට මේ චිත‍්‍රපටය අලූතින් දැනෙන්න පටන් ගන්නවා. මුලින් මේ චිත‍්‍රපටය ‘ස්ලෝ රිදම්’ එකක ගියාට ටිකක් වෙලා යන කොට පේ‍්‍රක්‍ෂකයන් අල්ලා ගැනීමේ හැකියාව ඊට තිබෙනවා.

————————–————————–————————–
————————–————————–————————–

නළුවෙක් චරිතයට පිවිසෙන්නේ මේකප් එකෙන් සහ ඇඳුම් නිර්මාණයෙන් පසුවයි   –   සංජීව කරුණාරත්න

——————————————————————————————-

චිත‍්‍රපටයකට ඇඳුම් නිර්මාණය කිරීමට ආරාධනයක් ලැබුණු විට ඔබේ ප‍්‍රවේශය සිද්ධ වෙන්නේ කොයි ආකාරයටද?

අපිට පිටපතක් ලැබුණාම පස්මහ බැලුම් බලනවා. මොකද? මේ තිර කතාව ලියවිලා තිබෙන්නේ මොන වාගේ කාලයක් ගැනද? ඊළඟට මොන වාගේ ප්‍රෙද්ශයක් ගැනද? ඒ චිත‍්‍රපටයේ චරිතවල මට්ටම් මොන වාගේද කියන කාරණා නිරීක්ෂණය කිරීමෙන් පසුව තමයි, අපි වැඬේට බහින්නේ.

ඇඳුම් නිර්මාණය කියන්නේ, චිත‍්‍රපටයක් ඇතුළේ තනි පුද්ගලයකුගේ වැඩක් වගේ තමයි, දැකිය හැක්කේ. ඒක එහෙමමද?

චිත‍්‍රපටයක් කියන්නේ, ‘ටීම් වර්ක්’ එකක්. අපි හිතමු, එක ජවනිකාවක යම් චරිතයකට තුවාලයක් වෙන්න තිබෙනවා කියලා. ඒ තුවාලය දාන එක ‘මේකප් ආටිස්ට්ගෙ’ වැඩක් තමයි. හැබැයි, මේකප් ආටිස්ට්ට තනියම තුවාලය දාන්න බැහැ. මොකද? අපි හිතමු, ඒ තුවාලයට ප්ලාස්ටරයක් හරි බැන්ඬේජ් එකක් හරි යොදන්න ඕනනෙ. ඒක මේකප් ආටිස්ට තීරණය කරන්න බැහැ. හේතුව තමයි, ඒ කාලයට ගැළපෙන විදියට ප්ලාස්ටරය හෝ බැන්ඬේජ් එක යොදන්න ඕන නිසා. රජ කතාවක් නම්, බැන්ඬේජ් කරන්න බැහැ නේ. එතකොට මොකකින්ද ඔතන්නේ? ඇඳගෙන ඉන්න ඇඳුමෙන් කෑල්ලක් ඉරලා තුවාලය වෙලනවාද කියලා තීරණය කරන්න ඕන. එතකොට මට කියන්න ඕන වුණේ මේ ටීම් වර්ක් එක ඇතුළේ කාටවත් තනි තනිව වැඩකරන්න බැහැ.

ඔබේ විෂයය ඇතුළේ ඔබ වැඩිපුර අවධානයෙන් ඉන්නේ මොන වගේ කාරණා පිළිබඳවද?

මම වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඒ ඒ ‘සීන්ස්වලට’ ගැළපෙන ඇඳුම් ඇන්දවීම කියන කාරණයට. උදාහරණයක් කිව්වොත්, යම් චරිතයක් කපලා, කොටලා, තුවාල කරන සීන් එකක් කියලා හිතමු. ඒ වාගේ වෙලාවක රතු පාට ඇඳුමක් හරි අඳුරු පාට ඇඳුමක් හරි ඇඳලා වැඩක් නැහැ. එතකොට මගේ වැඬේ තමයි, ඒ මොහොතට උචිත ඇඳුම අන්දවන එක. අපි යම් චරිතයකට කොටු කොටු එව්වා අන්දවලා, අනෙකුත් චරිතවලට එහෙ ම කොටු කොටු ඒවා අන්දවන්නෙ නැහැ කියමු. එක මොහොතක ඒ චරිතය අතුරුදන් වෙනවා. දැන් හොයනවා. හොයන කොට කොටු කොටු ෂර්ට් එකක කෑල්ලක් කොහේ හරි තිබිලා පොලිසියට හම්බ වෙනවා. පොලිසිය දන්නෙ නැහැ අහවලා කොටු කොටු ෂර්ට් ඇන්දා කියලා. හැබැයි, පේ‍්‍රක්ෂකයා දන්නවා මේ අහවලාගේ කියලා. ඒ කියන්නේ, අනන්‍යතාවක් හැදුවොත්, ඒක කතාව කියා ගන්න, පේ‍්‍රක්ෂකයා සමඟ ගනුදෙනු කරන්න හරිම පහසුයි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටයේ ඇඳුම්වලට අමතරව පැළඳුම් ගැන ඔබ දැක් වූ අවධානය මොන වාගේද?

උදාහරණයක් විදියට සුලෝචනා කරපු විජේවීරගේ බිරිඳ කියන චරිතයේදී කෙල්ල කාලේ මම එයාට පාවිච්චි කළේ එක මාලයක්. විවාහයෙන් පස්සේ වෙන මාලයක්. කොණ්ඬේ කැපුවට පස්සේ කරාඹු වෙනස් කළා. ඔය චරිතයේ ‘ස්ටෙප්ස්’ ටික ඒ ඒ විදියට වෙනස් කළා. රෝහණ විජේවීර ඔරලෝසු පාවිච්චි කරන්නෙ නැහැ නෙ. හැබැයි, අත්තනායක මුදලාලි විදියට යන කොට එයා රත්තරන් පළඳින්න පටන් ගන්නවා. හැබැයි, ඒක ඇතුළේ මට රෝහණ විජේවීරව තියා ගන්න ඕනෑ. ඒ කියන්නේ එයා ගෝල්ඞ් ඔරලෝසුවක් දානවා. මාලයක් දානවා. මුද්දක් දානවා. කණ්ණාඩි වෙනස් කරනවා. ඊළඟට පොඩි බෑග් එකක් පාවිච්චි කරනවා. එතන දී අපිට මුදලාලි කෙනෙක් තමයි, නිර්මාණය කරන්න ඕනෑ. හැබැයි, ඒක ඇතුළේ විජේවීරව තියා ගන්න අපි සමත් වෙන්න ඕනෑ. කැලේදි ගත්ත ඇත්ත ෆොටෝ එකට මට සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් වුණා. ඒකට සීයට සීයක් නොවුණාට ආසන්නයට ගේන්න අලුත් පින්තුරයට හැකි වුණා. ඒ දේවල්වලට අපේ ටීම් එකම ගොඩක් මහන්සියක් ගත්තා.

ඇඳුම් නිර්මාණකරණයට ඔබේ ප‍්‍රායෝගික ප්‍රෙව්ශය සිද්ධ වෙන්නෙ කොහොමද සහ එයින් පසු ඔබ ලබන අත්දැකීම කිව්වොත්?

මම බොහෝ වේලාවට කණ්ණාඩියක් ඉස්සරහ තමයි, ඩ්ස්‍රෙස්’ කරන්නේ. ඒකත් එක්ක මට දැනෙනකම්ම මම ඩෙ‍්‍රස් කරනවා. ඒ චරිතය මට දැනෙන තැනක් එනවා. ඊට පස්සේ මම නිදහස්. ‘කොස්ටියුම් ඩිසයිනර්’ කෙනෙක් වුණාම කොස්ටියුම් සම්බන්ධව නොකරන දෙයක් නැහැ. ‘ඩයි’ කරනවා, හෝදනවා, මදිනවා. හැම දෙයක් ම කරනවා. ඒ වගේම අපිට පුළුවන් වෙන්න ඕන රංගන ශිල්පියාව උපරිම විදියට සතුටු කරන්න. මොකද? නළුවා තමන්ට හිමි චරිතයට පිවිසෙන්නේ වෙන්නේ මේකප් එකෙන් සහ ඇඳුම් නිර්මාණය කියන කි‍්‍රයාවලියෙන් පසුවයි.
————————–————————–————————-
– භාතිය ගුණසේන –

 

Share

6 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.