ඔසඳට පෙම්බැඳි වෛෂ්ණාවිය මුණගැසුනාද…??

Avatar Nisanka Weheraduwa | April 17, 2018 203 Views 0 Likes 0 Ratings

203 Views 0 Ratings Rate it

ඔහු නමින් ඔසඳ. තමන්ගේ පියාගේ කුසලතාවන් නිසඟව උරුම කරගත් යෞවනයෙක්. මව්පියන් අහිමි ඔහු ජිවත් වන්නේ මිත්තණිය සහ මාමණ්ඩිය ඇසුරේ. මාමණ්ඩියගේ දියණිය ඔහුට දක්වන්නේ අපරිමිත සෙනෙහසක්. නමුත් ඒ සහෝදර පෙමක්ද ඉන් ඔබ්බට යන්නක්දැයි නිශ්චිතව වටහාගත නොහැකි තැනක දෝලනය වෙමින් තිබෙන්නක්. නෛසර්ගිකව තමා සතු හැකියාවෙන් රූකඩ නිර්මාණය කිරීමත් ඒ රූකඩ ප්‍රසංග පවත්වමින් ගමින් ගමට යාමත් නිසා ඔසඳ කා අතරත් ජනප්‍රියයි. ඔහුගේ මාමණ්ඩියට ගමේ යම් පිළිගැනීමක් තිබෙන නිසාම ඔසඳ වෙනුවෙන් පළාතේ පොහොසත් මුදලාලි කෙනෙකුගේ දියණියක් විවාහයට යෝජනා කෙරෙනවා. නමුත් වෙනත් සම්බන්ධයක් ඇති ඒ තරුණිය විවාහයට පෙර සිය පෙම්වතා සමග පලායාමෙන් ඔසඳ පත්වන්නේ ඉච්ඡාභංගත්වයකට. මාමණ්ඩිය නොවන්නට ඔහු සිය දිවි නසාගැනීමටත් ඉඩ තිබුනා.  කෙසේ වෙතත් ඔසඳ අතින් නිර්මාණය වන ඊළඟ රූකඩයට  ලැබෙන්නේ අපූරු පෙනුමක්. ජීවී කාන්තාවක් තරම්ම ඒ රුපය සජීවියි. නිසි අවසරයකින් තොරව කපාගත් ගසකින් කළ මේ  රූපයට ගසේ ජිවත් වූ වෛෂ්ණාවි නම් රුක්   දෙවඟන ඇතුල් වෙන්නේ එහෙම. ඒ රූපය තුළ ජිවත් වන අතර ඔසඳට පෙම් බඳින වෛෂ්ණාවියට කුමක් සිදු වේද..? මිනිස් ලොවත් දෙව්ලොවත් අතර හටගන්නා මේ අධ්‍යාත්මික ප්‍රේමයේ බර කොපමණක්ද..?

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස්ගේ කතා සංකල්පනාවකට ටෝනි රණසිංහ තිර රචනා කළ වෛෂ්ණාවි චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ සුමිත්‍රා පිරිස් සිනමාවෙදිනිය. මේ දිනවල දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාහල් වලදී ඔසඳ සහ වෛෂ්ණාවි ආදර අන්දරයේ අධ්‍යාත්මික සිනමා රස විඳින්නට සිනමා ප්‍රේක්ෂකයින්ට   අවස්ථාව උදා වනවා. තුමිඳු දොඩන්තැන්න, යශෝධා විමලධර්ම, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, වසන්ති චතුරාණි,   ටෝනි රණසිංහ, විණා ජයකොඩි, රොෂාන් පිලපිටිය, ඇතුළු නළු නිලියන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. උපතිස්ස ඉලංගකෝන් කළා අධ්‍යක්ෂණයෙන් සුරංගනී විජේවික්‍රම ඇඳුම්   නිර්මාණයෙන් දායක වුනු චිත්‍රපටයට ඩොනල්ඩ් කරුණාරත්න කැමරාකරණයෙන් දායක වුනා. චමිත් පරණවිතාන සංස්කරණ සහ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණ ශිල්පියා වනවා. විනාඩි 155ක ධාවන  කාලයකින් යුත් චිත්‍රපටය මනෝ නානායක්කාර නිෂ්පාදනයක්.

Share

203 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.