කන්දක් සේමා – නූපා සහ මසායා සංගේ අප්‍රමාණ ආදර සිත්තම
වසර ගණනාවක් තිස්සේ මෙරට සිනමා රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටි, නවතම සිනමා නිර්මාණයක් හෙට සිට (නොවැම්බර් 02 වනදා) දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹෙනවා.
ඒ සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත ‘කන්දක් සේමා’ සම්මානනීය නවකතාව ඇසුරින් එම නමින්ම සිනමාවට නැගුනු, නූපා සහ මසායා සන්ගේ ආදර කතාන්දරය, ‘කන්දක් සේමා’ සිංහල සිනමාපටයයි.
කන්දක් සේමා සිනමාපටයට පාදක වන්නේ වයස්ගත ජපන් ජාතිකයෙකු හා විවාහ වන රූමත් ලාංකික තරුණියකගේ කතා පුවතයි.
මසායා සන් නැමැති වයස්ගත ජපන් ජාතිකයෙකු සමඟින් මුදලට විවාහ වන්නට නූපාට සිදුවන්නේ ඇගේ පවුල දිළිඳු බවින් මුදවා ගැනීමටයි. සිය අසරණකම නිසා ම, වයස්ගත මසායා සන්ව විවාහ කරගන්නා නූපා ඔහු සමඟින් ජපානයට යන අතර නුපුරුදු සංස්කෘතියක් – නුපුරුදු සමාජයක් මැද හුදෙකලා වන්නටයි නූපාට එහිදී සිදුවන්නේ… මසායා සන්ට දාව ඇයට උපදින දියණිය කසුමි.
නමුත් අහම්බයෙන් මෙන්, ජපානයේදී නූපාට මුණ ගැසෙන සුමල් නැමැති ලාංකික තරුණයා නිසා ඇගේ මුලු ජීවිතයම කණපිට හැරෙනවා. හුදෙකලා ජපානය තුළ සිය ආදරය සොයා ලුහුබඳින නූපාගේ ජීවිත කතාව ‘කන්දක් සේමා’ සිනමා නිර්මාණය තුළින් ඔබට නැරඹිය හැකියි.
ශ්‍රී ලංකාවේ සහ ජපානයේ සුන්දර ප්‍රදේශ ගණනාවක රූගත කිරීම් සිදු කළ මෙම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු අවසන් වී බොහෝ කාලයක් ගත වුනත්, විවිධ හේතු නිසා මේ වනතෙක්ම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාවක් ලැබුනේ නැහැ.
2021 වසරේදී කන්දක් සේමා තිරගත කරන්නට සැලසුම් කර තිබුනද කෝවිඩ් වසංගතය නිසා යළිත් එය කල් ගියා. කෙසේ වුවත්, එම බාධක සියල්ලම මඟ හරවා ගනිමින් හෙට සිට දිවයින පුරා සිනමා හල් රැසකදී ඔබට මෙය රස විඳින්නට පුලුවන්.
චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ සුමිත්‍රා රාහුබද්ධ විසින්, එම නමින්ම රචනා කරන ලද ‘කන්දක් සේමා’ නැමැති සම්මානනීය නව කතාවයි. 2010 වසරේ විශිෂ්ටතම සිංහල නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය මෙන්ම, එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය – ගොඩගේ සම්මානය මෙන්ම – විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුයේ ද සුමිත්‍රා රාහුබද්ධ රචනා කළ කන්දක් සේමා නව කතාවයි.
කන්දක් සේමා නවකතාව මේ ආකාරයට සිනමා රූපයට නඟන්නේ අසෝක අතාවුදහෙට්ටි විසිනුයි. මෙය අසෝක අතාවුදහෙට්ටිගේ පළමු සහ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය ද වනවා. රුපියල් කෝටි 08කට අධික නිෂ්පාදන පිරිවැයක් දරමින් නිපද වූ මෙම සිනමාපටයේ රූපරාමු බොහෝමයක් ගෙතෙන්නේ හිම වැටුනු ජපානයේ සුන්දර දර්ශන තල පාදක කරගෙනයි.
චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරකපටය නිකුත් වූ දැන් වසර කිහිපයක්ම ගතවී තිබෙන නිසා නිෂ්පාදක කණ්ඩායම විසින් එහි නවතම පූර්ව ප්රචාරක පටයක් පසුගියදා නිකුත් කළා. පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.
ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝශා පෙරේරා විසින් නූපා නැමැති ලාංකික තරුණියගේ ප්‍රධාන චරිතයට පණ පොවන අතර ඇගේ සැමියා වන මසායා සංගේ චරිතය නිරූපණය කරන්නේ ජපන් ජාතික ජුන් ඉතෝ විසිනුයි.
ලෝක ප්‍රසිද්ධ ‘ඔෂීන්’ කතා මාලාවෙ හි ළමා ඔෂීන්ගේ චරිතයට රඟපෑ කොබයාෂි අයාකෝ ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. සුමල්ගේ චරිතයට පණ පොවන්නේ බිමල් ජයකොඩියි. නූපාව මසායා සංට මුදලට අලෙවි කළ තැරැව්කරුගේ චරිතය නිරූපණය කරන්නේ මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සිරිල් වික්‍රමගේ යි.
ඊට අමතරව දිනෙත් ද සිල්වා, වීණා ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, වසන්ත කොටුවැල්ල, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, ජයනි සේනානායක, දසුන් පතිරණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, පුබුදු චතුරංග වැනි ලාංකීය සිනමාවේ ජනප්‍රිය නලු නිළියන් ගණනාවක් ම මෙහි රංගනයෙන් දායක වනවා.
කන්දක් සේමා චිත්‍රපටයේ සංස්කරණය අජිත් රාමනායක විසිනි. සුරේෂ් මාලියද්දගේ සුමියුරු සංගීතයෙන් හැඩවන මෙහි ගීපද රචනය සිදු කළේ මහාචර්ය සුනිල් ආරියරත්නයි. ගී ගායනය සඳනි විජේතුංග විසිනි.
අග්නිදාහය – සිකුර හතේ – සුපර් සික්ස් – ආශාවරී – මහරජ ගැමුණු වැනි ලාංකීය සිනමාපට 30කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වූ, ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන රුවන් කොස්තා විසින් මෙහි කැමරා අධ්‍යක්ෂණය හසුරුවනු ලබනවා.
කන්දක් සේමා නවකතාව මෙන්ම, ඒ අනුසාරයෙන් නිපදවූ මෙම චිත්‍රපටයේ දෙබස් සහ තිර පිටපත රචන කර තිබෙන්නේ ද සුමිත්‍රා රාහුබද්ධ විසිනුයි. මෙය අසෝක අතාවුදහෙට්ටිගේ පළමු අධ්‍යක්ෂණයයි. චිත්‍රපටයේ දර්ශන වැඩි ප්‍රමාණයක් ජපානය තුළ රූගත කර තිබෙන නිසා, ජපාන ජාතික සිනමාකරුවෙකු වන ටාඕ නසිමටෝ (Tao Nasimoto) මීට සම – අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුනා.
ලාංකීය ප්‍රදර්ශනයට සමගාමීව තවත් විදෙස් රටවල් කිහිපයකම කන්දක් සේමා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි පළමු විදෙස් ප්‍රදර්ශනය නොවැම්බර් 12 වනදා සිට ඕස්ට්‍රේලියාවේදී ඇරඹීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ද කන්දක් සේමා චිත්‍රපටයට ලැබෙන්නේ බොහොම උණුසුම් ප්‍රතිචාරයක්. ඉදිරියේදී එරට ඇරඹීමට නියමිත දර්ශන වාර 05ක පමණ සියලුම ප්‍රවේශපත් මේ වනවිටත් විකිණී අවසානයි.
කන්දක් සේමා නිෂ්පාදනය සිදු කරන්නේ ජයන්ත හෙට්ටිආරච්චි – ආශු මාරසිංහ – සමන්මලී පද්මකුමාර සමඟින් – සුමිත්‍රා රාහුබද්ධ එකතුවෙනි.
EAP මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින්, KCC | PVR | Regal ඇතුළු දිවයින පුරා සිනමා හල්වලදී ඔබට දැන් මෙම අපූර්ව සිනමා සිත්තම රස විඳිය හැකියි.
කන්දක් සේමා චිත්‍රපටය තිරගතවන සිනමාශාලා සහ වේලාවන්;
සිනේමැක්ස් – ජාඇල 10.30 A.M /1.30 P.M
විල් මැක්ස් – අනුරාධපුර 10.30 A.M/1.30 P.M
ජෝති – රත්නපුර 10.30 A.M /1.30 P.M
සිනෙක්ස්පෝ – කුරුණෑගල 10.15 A.M/3 P.M
රීගල් – අම්බලන්ගොඩ 10A.M/1.30P.M
සැවෝයි ප්‍රිමියර් – වැල්ලවත්ත 10.30 A.M /1.30 P.M
සැවෝයි ප්‍රිමියර් – රාජගිරිය 1.30 P.M
සැවෝයි මෙට්‍රෝ – ගම්පහ 10.15 A.M/ 12.30 P.M
සැවෝයි මෙට්‍රෝ – මහරගම 10.15 A.M / 2.45 P.M
ප්‍රිස්කා – කලුතර 10.30 A.M
SK මාතර – 10.30 A.M / 2.30 P.M
ස්කයි ලයිට් – මාලඹේ 12.30 P.M
නිව් ටවුන් – ඇඹිලිපිටිය 10.30 A.M
නිකාඩෝ – කඩවත 1 P.M
මැජෙස්ටික් ගෝල්ඩ් – කොළඹ 04 10.30 A.M / 1.30 P.M / 4.30 P.M
රීගල් – ගම්පහ 10.15 A.M
රීගල් – කටුබැද්ද 10.30 A.M / 6 P.M
රීගල් – බණ්ඩාරවෙල 10.30 A.M
රීගල් – දෙමටගොඩ 10.30 A.M
ජයබිම – ගම්පොල 10.30 A.M
සීගිරි – කටුගස්තොට
සිනෙල්මා – බදුල්ල 10.30 A.M / 2.30 P.M / 6.30 P.M
ලක්බිම – කුලියාපිටිය 10.30 A.M / 12.30 P.M
ලේඛා – හෝමාගම 4 P.M
CK by ලයිට් සිනෙමා – කිරිදිවැල 10.30 A.M
PVR One Galleface 10.40 A.M / 4.45 P.M
KCC – මහනුවර
නිව් ඉම්පීරියල් – කුරුණෑගල 10.30 A.M
EDC – කැකිරාව 1P.M
ස්කයිලයිට් – මාලඹේ 12.30 P.M
ප්‍රින්ස් – ගාල්ල 7 P.M
රේඛා – කඩුවෙල 1 P.M
Minewwa – කළුතර නොවැම්බර් 13 සිට 4.15 P.M
වින්ස් – වාද්දූව 12.30 P.M / 4.30P.M
රෝයල් – මීගමුව 3 P.M
මිලානෝ ඩයමන්ඩ් – කෑගල්ල 10 A.M/2P.M
චම්පිකා – ඉංගිරිය නොවැම්බර් 7 සිට 10.15 A.M
සරසවි – අලව්ව 2.30 P.M
ස්කෝප් සිනෙමා – කොළඹ 11A.M
වොක්ස් ලයිට් අවිස්සාවේල්ල 10.30 A.M
මැක්ස් ලයිට් – මොරටුව 4.45 P.M
ලිබර්ටි – කොල්ලුපිටිය 12.45 P.M
සිටි ලයිට් – මවුන්ට්ලිවීනියා 10.30 A.M
Written by Kavinu Weerakkody