Sri Lanka's Best Cinema Portal

 

කමල්, හේමාල් – ෆිල්ම් හෝල් “House Full”

0
Posted February 9, 2019 by Nisanka Weheraduwa in Articles
udithe article

සටහන : උදිත ලක්මාල් කහඳව ආරච්චි

වාර්ෂිකව මුදාහල දේශීය සිනමාපටයන්ගෙන් බහුතරයක් “House-Full” පුවරුව යටතේ තිරගතවූ සිනමා කර්මාන්තයකට අප 70 දශකයේදී හිමිකම් කීවද, වර්තමානයේදී එලෙසින් වාර්ෂිකව මෙරට ප්රේක්ෂකයන්ට මුදාහරින දේශීය සිනමාපට අතුරින් යම් සිනමාපටයක් “House-Full” පුවරුව යටතේ තිරගත වේනම් එය කලාතුරකින් සිදුවන්නකි. එවන් වාතාවරණයක් තුල එකම කාල වකවානුවක තිරගතවන “ගින්නෙන් උපන් සීතල” සහ ” තාල” යන සිනමාපට ද්විත්වය එම සිනමාපට මුදාහල ඇතැම් සිනමාහල් තුල “House-Full” පුවරුව යටතේ තිරගතව තිබීම ප්රශංසාජනකය.

CEL සහ රිද්මා යන මණ්ඩල ඒකාබද්ධව දේශිය සිනමාපට මුදාහැරීමට යොදාගන්නා ශාලා අතුරින් ප්රධානතම සිනමාහල වන කොළඹ- රීගල් , වර්තමානයේ කොළඹ නගරයේ ස්ථාපිතව ඇති විශාලතම සිනමා ශාලාව (මුළු ආසන 670: ප්රවේශ පත්ර මිල ඉදිරි පෙළ – රු 200/ ODC- රු 400/ බැල්කනි- රු 450/ බොක්ස්- 500) වේ. එසේම EAP මණ්ඩලය දේශීය සිනමාපට මුදාහැරීමට යොදාගන්නා ශාලා අතුරින් ප්රධානතම සිනමාහල වන සැවෝයි ප්රීමියර්- වැල්ලවත්ත, වර්තමානයේ දේශීය සිනමාපට වෙනුවෙන් මූලිකව වෙන්වූ මෙරට සියලුම සිනමාහල් අතුරින් ඉහළම ප්රවේශ පත්ර මිල ගණන් අය කරන (ODC- රු 700/ බැල්කනි- රු 900/ බොක්ස්- රු 1900: මුළු ආසන 330) සිනමා ශාලාව වේ. එම නිසාවෙන් ඉහත සිනමා ශාලාවන් ද්විත්වය තුල ඇතැම් දේශීය සිනමාපට දින 50, 75, 100 යන කඩයිම් පසුකරමින් තිරගත වුවද, ඒ තුල එක් වරක් හෝ “House Full” පුවරුව අත්පත්කර ගත්තේනම් ඒ ඉතාම කලාතුරිනි. මන්ද එය එතරම්ම අපහසු කටයුත්තක් වන බැවිනි. එහෙත් එකී කඩයිම සඵල කරගනිමින් සිනමාපටය තිරගත කොට දස වෙනි දිනයේදී (දෙවෙනි සති අන්තයේදී/ ඉරිදා සවස 7.00) “ගින්නෙන් උපන් සීතල” සිනමාපටය කොළඹ- රීගල් සිනමාහල “House-Full” කිරීමට සමත්වූ අතර, එය පසුගිය වසර 11 ක ඉතිහාසය තුල ශ්රී ලාංකේය සිනමාපටයක් හරහා කොළඹ- රීගල් සිනමාහල “House-Full” වූ එකම අවස්ථාව විය. එයට අමතරව ලිඩෝ- බොරැල්ල, රීගල්- ගම්පහ, රීගල් – නුවර, එරීනා- කටුගස්තොට, ප්රින්ස්- ගාල්ල, රුහුණු- තංගල්ල, මිලාන්- කෑගල්ල, විජේන්ද්ර- අනුරාධපුර, ඇමිටි ලයිට්- මහරගම, විස්ටා ලයිට්- ජා ඇල, ස්කයි ලයිට්- මාළඹේ සහ ස්කයිට් ලයිට්- මාතර යන සිනමා ශාලා 12 ද “ගින්නෙන් උපන් සීතල” සිනමාපටය හරහා දෙවෙනි සහ තුන් වෙනි සති අන්තයේදී “House-Full” පුවරුව එක් වරක් හෝ අත්පත් කරගැනීමට සමත්විය. පෙරකී ලෙසින් “ගින්නෙන් උපන් සීතල” චිත්රපටය දෙවෙනි සහ තුන් වෙනි සති අන්තයේදී “House-Full” වෙද්දී, තිරගත කොට සිව් වෙනි දිනයේදීම (පළමු සති අන්තයේදී/ ඉරිදා සවස 7.00) වැල්ලවත්ත- සැවෝයි ප්රීමියර් සිනමාහල “House Full” කිරීමට “තාල” සිනමාපටය සමත්විය. එය 2018 වසරේ මැයි මස ”බිම්බා දේවී හෙවත් යශෝධරා” සිනමාපටය හරහා අවස්ථා ද්විත්වයකදී සැවෝයි ප්රීමියර් සිනමාහල “House-Full” වූවාට පසුව “House-Full” වූ පළමු අවස්ථාව විය. එයට අමතරව සිටි සිනමා- ගල්කිස්ස හා සිනේමැක්ස්- ජා ඇල ශාලාවල අවස්ථා ද්විත්වයකදීද, සැවෝයි මෙට්රෝ – ගම්පහ හා විස්ටා ලයිට්-ජා ඇල ශාලාවල එක් අවස්ථාවකදීද “තාල” සිනමාපටය “House-Full” විය.

මෙරට ආන්දෝල්නාත්මක චරිතයක් වූ රෝහණ විජේවීර වටා චිත්රපටය ගොඩනැගී තිබීමත්, විද්යුත් , මුද්රිත මාධ්ය හරහා මෙන්ම සමාජ මාධ්ය ජාලා හරහා ධනාත්මක ප්රතිචාර අසීමිතව සිනමාපටයට හිමිවීමත් නිසාවෙන් “ගින්නෙන් උපන් සීතල” සිනමාපටය දැඩිව ප්රේක්ෂක ආකර්ෂණයට නතුව ඇත. එසේම මෙරටදී ඉහළම අදායම් වාර්තාවන්ට නතුවන සිනමා ශානරයක් වන ළමා සිනමා ශානරයට සිනමාපටය අයත්වීමත්, වත්මන් සිනමාවේ සුපිරි තරුව යන කිරුළ හිස මත දෝලනය වන නලුවන් දෙදෙනාගෙන් එක් අයකු වන හේමාල් රණසිංහ ප්රධාන චරිතය රඟ දැක්වීමත් සහ සිරස මාධ්ය ජාලා හරහා ලැබෙන ඉහළ ප්රචාරයත් නිසාවෙන් ” තාල” සිනමාපටය ප්රෙක්ෂකයින් සිනමාශාලා වෙත කැන්දන සිනමාපටයක් බවට පත්ව ඇත. එලෙසින් ශ්රී ලාංකේය සිනමාපට තිරගත වන සිනමාශාලා දිනෙන් දින වැසී යන කාලයක සහ නවීන තාක්ෂණය යටතේ අලුතෙන් ඉදිවූ සිනාමාශාලාවලින් අති බහුතර තිර කාලයක් විදෙස් සිනමාපට වෙනුවෙන් වෙන්වන සමයක, පෙරකී ලෙසින් ශ්රී ලාංකේය සිනමාපට වෙත ජනයා ඇදී ඒම, අහිමි වූ තිර කාලය නැවත ලබා ගැනීමටත් පවතින තිර කාලය ස්ථාවරව තබා ගැනීමටත් නිබඳව ඉවහල් වේ. එහෙයින් එහි පූර්ණ ගෞරවය “ගින්නෙන් උපන් සීතල” හරහා අනුරුද්ධ ජයසිංහ සහ චමත්කා පීරිස්ටත්, ” තාල” හරහා පාලිත පෙරේරා , නිලාන් වීරසිංහ සහ එම්. එන්ටර්ටේන්මන්ට්ස් ආයතනයටත් හිමිවිය යුතුය.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2