කම්බිලි දැන් තිරගත වේ – ජනකාන්ත නලු නිළියන් රැසකගේ රංගනයෙන්

Avatar Kavinu Weerakkody | August 9, 2024 216 Views 0 Likes 1 On 1 Rating

216 Views 1 On 1 Rating Rate it

අමිල කරුණානායක සමඟින් නෙත්මි රොශෙල් ප්‍රධාන චරිත නිරූපණය කරන කම්බිලි (Kambili) නවතම සිංහල සිනමාපටය, EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා හල්වලදී දැන් සාර්ථකව තිරගත වනවා.

ඉතාමත් සුන්දර ගම්මානයක් සහ එහි ජීවත් වන පුද්ගලයින්ට එක්වරම මුහුණ දෙන්නට සිදුවන අර්බුදකාරී සිදුවීම් මාලාවක් වටා ගෙතෙන කම්බිලි සිනමාපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රසාද් කලුපහන විසිනි. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වීමත් විශේෂත්වයක්!

ආදරය – ත්‍රාසය – භීතිය – හාස්‍යය හොඳින් මුසු කරගත් චිත්‍රපටයක් වන මෙය, මුල සිට අග දක්වාම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි අපූරු නිර්මාණයක් ද වනවා.

කම්බිලි චිත්‍රපටය දිවෙන්නේ භානුක, කළණ නැමැති මිතුරන් දෙදෙනෙකු සහ ඔවුන්ට මුණ ගැසෙන සමාධි නැමැති සුන්දර තරුණියක වටා යි. භානුක සහ කළණ නගරයේ සිට ගමට පැමිණෙන්නේ ගම්මානයේ සියලු දෙනාගේම ගෞරවය දිනාගෙන සිටින වික්‍රමසිංහ වෙද මහතාව මුණ ගැසීමටයි.

ඒ කළණගේ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහායි. නමුත් රෝගය සුවපත් කරගන්නට නම්, ඒ ගම්මානයේ ම නැවතී ප්‍රතිකාර ලබාගන්නට ඔවුන්ට සිදු වීමත් සමඟ, භානුක සහ කළණට අසල නිවසක තාවකාලිකව පදිංචියට යෑමට සිදුවනවා.
කාටත් හොරෙන් ගම්මානයේ සිදුවන අනීතික සහ අනිසි දෙයක් ගැන මේ තරුණයින් දෙදෙනාට ඉව වැටෙන්නේ ඒ අතරතුරේදි යි. නොසිතූ පරිදි, වික්‍රමසිංහ වෙද මහතාගේ දියණිය වන සමාධිගේ ආදරය දිනා ගන්නටත් භානුකට හැකි වනවා.

කම්බිලි සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහතින්:

තමන්ගේ ආදරය පරිස්සම් කරගන්නට නගරයෙන් ගමට පැමිණි භානුකට ඉඩක් ලැබේවි ද?
ගම්මානයේ සුන්දරත්වයට යටින් සිදුවන මේ අනීතික නොකටයුත්ත කුමක් ද?
මේ උවදුරෙන් ගම්මානයේ අහිංසක ජනතාව බේරා ගැනීමට භානුකට සහ කළණට හැකි වේවි ද?

ඊට පිළිතුර සොයා ගන්නට නම්, ඔබට කම්බිලි (Kambili) සිංහල සිනමාපටය නරඹන්නටම සිදුවනවා…

චිත්‍රපටයේ භානුක සහ සමාධිගේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ තරුණ පරපුරේ ජනප්‍රිය නලු නිළියන් වන අමිල කරුණානායක සහ නෙත්මි රොශෙල් විසිනුයි. කබඩි, මොනාලිසා, ගුත්තිල, පෝරිසාදයා වැනි සිංහල චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වූ අමිල කරුණානායක මෙරට ජනප්‍රිය නිරූපණ ශිල්පියෙකු ද වනවා.

පුංචි තිරයේ නිර්මාණ රැසකට දායක වී සිටින නෙත්මි රොශෙල්, පසුගිය වසරේ තිරගත වූ ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටත් රංගනයෙන් එක්වුනා.

ඔවුන්ට අමතරව බිමල් ජයකොඩි වික්‍රමසිංහ වෙද මහතා ලෙසත්, සනත් ගුණතිලක ජයදේව අමාත්‍යවරයා ලෙසත්, නීටා ප්‍රනාන්දු ලලිතා අම්මා ලෙසත් රංගනයෙන් සම්බන්ධ වනවා. ධර්මප්‍රිය ඩයස්, කෝරළගේ සමන්, ජනිත රූපසේන, දේව් සුරේන්ද්‍ර සහ සමිත සුදීශ්වර වැනි තවත් ජනකාන්ත නලු නිළියන් රැසක් කම්බිලි සිනමාපටය තුළින් ඔබට දැකිය හැකියි.

ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍යෙව්දියෙකු ලෙසින් ක්ෂේත්‍රයට පැමිණි ප්‍රසාද් කලුපහන අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය වන්නේ කම්බිලි යි. ගීත රූප රචනා සහ වෙළඳ දැන්වීම් නිර්මාණකරණයෙ හි දිගු කලක් රැඳී සිටින ඔහු මෙරට ජනප්‍රිය වෙළඳ දැන්වීම් රැසක ම නිර්මාණ අධ්‍යක්ෂකවරයායි.

කම්බිලි නිෂ්පාදනය කරන්නේ YaYu Entertainment වෙනුවෙන් නිශාන්ත ගල්හේන විසිනි. මෙය ඔහුගේ තෙවන චිත්‍රපට නිෂ්පාදනය වන අතර මීට පෙර තිරගත වූ මොනාලිසා චිත්‍රපටය ද ඔහුගේ ම නිෂ්පාදනයක්. නිලූ මන් ආදරෙයි නමින්, නිශාන්ත ගල්හේන නිෂ්පාදනය කළ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත කිරීමට නියමිතව තිබෙනවා.

නිදුක් මදුෂිත විසින් කම්බිලි (Kambili) චිත්‍රපටයේ තිර පිටපත රචනා කළ අතර කැමරාකරණය පුෂ්පිත නිර්මාල් සූරිගේ යි. අනුර බණ්ඩාර සංස්කරණය සහ, ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජනය සිදු කළා. සංජීව කරුණාරත්න කලා අධ්‍යක්ෂකවරයායි. අංග රචනය සුපුන් ස්ටෙන්වෝල් විසිනි. ඩිල්ශාන් සිල්වාගේ සංගීත අධ්‍යක්ෂණයට චිත්‍රපටයේ ගීපද රචනා කළේ ලසන්ත ජයනෙත්ති ආරච්චියි. ක්ෂේත්‍රෙය් ප්‍රවීණයෙකු වන වසන්ත කුමාරවිල මෙහි සටන් අධ්‍යක්ෂණය සිදු කළා. සහාය අධ්‍යක්ෂණය සඳුනි ජයපද්ම යි. නාද ශික්ෂණය, සශින් ගිම්හාන් පෙරේරා යි. හර්ෂාන් විජේසේකර සහ නිදුක් මදුෂිතගෙන් චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරණය සිදු වුනා. නර්තන වින්‍යාසය රසික ප්‍රබාත්ගෙනි.

බාචි සුසාන්, කාන්චනා අනුරාධි, රයිනි චාරුකා, සෙන්ටිග්‍රේඩ්ස්, සේනානායක වේරලියද්ද ඇතුලු ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත රැසකින් කම්බිලි චිත්‍රපටය පිරී තිබෙනවා.

Regal, PVR, Lite Cinemas සහ EAP මණ්ඩලය ඇතුලු දිවයින පුරා සිනමා ශාලා රැසකදී ඔබට දැන් “කම්බිලි” සිනමා නිර්මාණය නැරඹිය හැකියි!!

Share

216 Views 1 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.