කලංසූරියට දැන් හොඳටම සුවයි

Avatar Nisanka Weheraduwa | September 13, 2018 45 Views 0 Likes 0 Ratings

45 Views 0 Ratings Rate it

පසුගිය කාලය තුළ දේශීය සිනමා ක්ෂේත්‍රය වගේම සිනමාලෝලීන් කැළඹීමට ලක්කළ ආරංචියක් පැතිර ගියා. ප්‍රවීණ ජනප්‍රිය රංගවේදී අමරසිරි කලංසූරිය ශිල්පියා අසාද්‍ය තත්වයෙන් රෝහල්ගත කළ බව ඒ ආරංචියෙන් කියැවුනා. සිනමාවට ආදරය කරන වගේම කලංසූරිය රංගන ශිල්පියාට ආදරය කළ රසිකයින් බොහොමයක් මේ ආරංචිය සමග කම්පාවට පත්වුනා. රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් කලංසූරිය රංගන ශිල්පියා ප්‍රතිකාර  නිමවා රෝහලින් නික්ම ගිය බව අසා රසිකයින් සතුටට පත්වූ නමුත් ඔහු සම්පුර්ණ සුවය ලබා තිබුනේ නැහැ. කෙසේ වෙතත්  ඊයේ (සැප්. 13 වැනිදා) වනවිට ලැබුනු ආරංචි අනුව කලංසූරිය රංගවේදියා බොහෝ දුරට සුවය ලබා ඇති බවත්, ඔහු සාමාන්‍ය තත්වයෙන් පසුවන බවත් දැනගන්නට ලැබෙනවා. සරසවිය සිනමා පුවත්පතේ උප කතෘ නුවන් නයනජිත් මාධ්‍යවේදියා වෙත දුරකථන මාර්ගයෙන් ඇමතූ බවත් තමා අසනීප වූ අවස්ථාවේ උපකාර කළ සහ සුවය ප්‍රාර්ථනා කළ සියළුම දෙනා වෙත සිය ස්තුතිය පළකර සිටින බව ලියන්නැයි කලංසූරිය රංගවේදියා ඉල්ලා සිටි බවත් ඔහු සිය Facebook පිටුවේ සටහන් කර තිබුනා. ඒ සටහන මෙසේයි.

නුවන් නයනජිත් කුමාර මාධ්‍යවේදියාගේ සටහන

මා හිතාදර මිතුරු මිතුරියනි.අද උදෑසන මගේ ජංගම දුරකථනය නාද වූයේය.මා ඒ දෙස බැලූ කල එහි මුහුණතෙහි “Kalan uncle”යන්නෙන් සටහන් වී තිබිණ.මා ඊට පිළිතුරු සපයන්නට පටන් ගත්තේ එතුමාගේ හඬ ඇසේවා යන පැතීමෙනි.එය එලෙසින්ම ඉටු විය. කලං අංකල් මා ඇමතුවේය. එය එතුමාගේම වචනයෙන් මෙසේය. “පුතා මට අද තමයි හරිහැටි සිහියක් ආවේ. පසුගිය මාසයක කාලයක් මට මොනවා වුණාද කියලා මම දැනගෙන හිටියේ නෑ.මට වෙච්ච දේ ගැන පවුලේ අයගෙන් මම දැනගත්තා. තව ජීවත් වෙන්න මං පින් කරල තිබුණා කියල හිතුණා. පුතා මං ඔයාට කතා කළේ මංදැඩි ලෙස අසනීප වෙලා රෝහල් ගත වෙලා හිටපු කාලේ මට විවිධාකාරයෙන් පිහිට වූ උපකාර කළ වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය ,ජනාධිපතිතුමා සහ ප්‍රවීණ කලාකරුවන් ඒ වගේම මගේ ජීවිතේ රැකල දෙන්න කියලා ඉල්ලා සිටිමින් බෝධි පූජා කළ, යාඥා කළ මට අසීමිතව ආදරය කරන මේ රටේ ජනතාවට මං ඉතා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා කියලා ඔයාට ලියන්න කියන්න.මේ බව පත්‍රවලටත්, මාධ්‍යයටත් දැනුම් දෙන්න.බොහොම පින් හැමෝටම”.

ප්‍රවීණ රංගවේදී අමසිරි කලංසූරිය මහතාට දීර්ඝායු ලැබේවායි cinema.lk අප සමස්ථ ශ්‍රී ලංකාවාසීන් සමග එක්ව ප්‍රාර්ථනා කරසිටිමු.

Share

45 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.