කළණගේ ‘මංකි මෑන්’ පූර්ව ප්‍රචාරක පටය – Monkey Man
නිරන්තරයෙන්ම නැවුම් සිනමා හැඩතල – නැවුම් කතා තේමා සොයා යන මෙරට තරුණ සිනමාකරුවන්, එකිනෙකට වෙනස් – නිර්මාණශීලි චිත්‍රපට ලාංකීය සිනමාවට එකතු කරනවා. මෙරට චිත්‍රපට කර්මාන්තයේ පවතින නිමක් නොමැති අර්බුද හමුවේ වුවත්, ඔවුන් සිය නිර්මාණ භාවිතය අත් හරින්නට සූදානමක් නැහැ.
“මංකි මෑන්” යනුවෙන් හැඳින්වෙන්නේ ත් මෙරට සිටින තරුණ සිනමාකරුවන් පිරිසකගේ එකතුවෙන් නිර්මාණය වුනු එවැනි නැවුම් සිනමාපටයක්. කළණ ගුණසේකරගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුනු මංකි මෑන් (Monkey Man) චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.
නුදුරේදීම දිවයින පුරා සිනමා හල්වල තිරගත වීමට නියමිත එහි නිල පූර්ව ප්‍රචාරකපටය පහත සබැඳිය ඔස්සේ ඔබට නරඹන්නට පුලුවන්.
මංකි මෑන් (Monkey Man) චිත්‍රපටයට පාදක වන්නේ සිනමාපටයක් තනන්නට සිහින දකින තරුණයින් පිරිසකගේ කතාවක්. මුදල් නොමැතිකම නිසා ඔවුන්ගේ චිත්‍රපට සිහිනය අතරමඟ නතර වී තිබුනත්, ඔවුන් සිය උත්සාහය අත් හරින්නේ නැහැ. චිත්‍රපටයක් කරන්නට තියා, එදිනෙදා ජීවිතය ගැට ගහගන්නට පවා මුදලක් සොයාගන්නේ බොහොම අපහසුවෙන්.
අවසානයේදී ඔවුන් රෝද සපත්තු කුට්ටමක් සොරාගන්නට තීරණය කරන්නේ මේ කරදර සියල්ලෙන්ම බේරෙන්නට විශාල සැලසුමකුත් සමඟ… නමුත් ඔවුන්ට එයින් සිදුවන්නේ ඊටත් වඩා වැඩි කරදරයකට පැටලෙන්නටයි.
මේ තරුණයින් පිරිසෙ හි ප්‍රධාන භූමිකාව රඟපාන්නේ කළණ ගුණසේකර විසිනුයි. නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර කූඹියෝ ටෙලි නාට්‍ය මාලාව තුළින් මෙරට රසිකයින්ගේ විශාල ජනාදරයකට පත් වුනා. ඉක්කා, සූස්ති, පියාඹන්න ආයෙත්, වියසිදුරු, නයිට් රයිඩර් වැනි චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිතය රඟපෑවේ ඔහුයි.
ලාංකීය සිනමාවේ සිටින ප්‍රවීණ සහ දක්ෂතම නලුවෙකු වන ලක්ෂ්මන් මෙන්ඩිස් ද මංකි මෑන් චිත්‍රපටයෙන් දැකගත හැකියි. නිදහසේ පියා, දැකලා පුරුදු කෙනෙක්, සක්කාරං, මචං, මිල්ලෙ සොයා වැනි සිනමාපට රැසක රඟපෑ ඔහු වසර 30කටත් වැඩි කාලයක් පුරාවට මෙරට කලා ක්ෂේත්‍රෙය් සැරි සරනවා.
ඊට අමතරව දසුන් පතිරණ, මනෝජා ෆර්නෑන්ඩෝ, මධුර ප්‍රභාෂ්වර, උදාර අබේසුන්දර, සංජීව දිසානායක, මදනායක, ධනුෂ්කා ජයරත්න, ලසන්ත ප්‍රමුදිත, ලසන්ත ෆැන්සිස් වැනි නලු නිළියන් පිරිසකුත් මෙයින් දැකගත හැකියි.
පුංචි තිරයෙන් මෙරට රසිකයින්ට සමීප වුනු මනෝජා ෆර්නෑන්ඩෝගේ පළමු සිනමා රංගනය වන්නේ ද මෙයයි.
මංකි මෑන් (Monkey Man) චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය තරිඳු දේශප්‍රිය විසිනි. මෙය තරිඳුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වීමත් විශේෂත්වයක්! චිත්‍රපටයේ කැමරා කාචය ඇඩම් ස්ට්‍රයිනර්ගෙන්. චරිත වික්‍රමතිලක කලා අධ්‍යක්ෂණයෙනුත්, එරංග ජයවර්ධන සංගීත නිර්මාණයෙනුත්, මලින්ද සම්පත් සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙනුත් දායක වන මේ චිත්‍රපටයට සහය අධ්‍යක්ෂණයෙන් නාමල් ගමගේ සම්බන්ධ වනවා.
අංගරචනය මනනුවන් රූපසිංහ. ඇඳුම් නිර්මාණය නෙළුම් කුරුගලආරච්චි. රේඛීය නිෂ්පාදනය ඩිලංක රංගනාත්. ඩිලංක රංගනාත් විසින් ‘ඩිංගා’ නමින් තවත් අලුත්ම සිනමාපටයක් අධ්‍යක්ෂණය කර තිබෙන අතර එය ද ඉදිරියේදී තිරගත කිරීමට සියලු කටයුතු සූදානම්. සෙහාන් කාවින්ද මෙහි නිශ්චල ඡායාරූපකරණයෙන් සහාය වී තිබෙනවා. ශබ්ද සැලසුම්කරණය සසික රුවන් මාරසිංහගෙනි. චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ තරිඳු දේශප්‍රිය සහ කළණ ගුණසේකරගේ එකතුවෙනි.
නයිජීරියාවෙ හි පැවැත්වූ Edo State International Film Festival අන්තර්ජාතික සිනමා උළෙලේදී විදෙස් ප්‍රදර්ශනය සඳහාත් මෙම නිර්මාණය තේරී පත් වුනා.
ළඟදීම දිවයින පුරා සිනමා හල් රැසකදී මංකි මෑන් (Monkey Man) සිංහල චිත්‍රපටය නැරඹීමට ඔබට අවස්ථාව උදා වේවි..!
Written by Kavinu Weerakkody