කළ පව් මැකූ තරු ගුණය – Pathu Thala (2023) – Review
සටහන: මහේල හෙට්ටිආරච්චි
Pathu Thala (2023) යනු 2017 නිකුත් වූ Mufti නම් කන්නඩ සිනමාපටයේ දමිළ අනුවාදයයි. Narthan විසින් අධ්‍යක්ශණය කල මුල් චිත්රපටයෙහි ශිව රාජ්කුමාර් සහ ශ්‍රී මුරළි යන තරු රංගන ශිල්පීන් දෙපළ ප්‍රධාන චරිතයන්ට පණ පොවයි. දමිළ චිත්‍රපටය තුල පිළිවෙලින් එම චරිතයන්ට පණ පොවන්නේ දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන සිලම්බරසාන් සහ ගෞතම් කාර්තික් යන රංගන ශිල්පීන් දෙපළයි. දමිළ චිත්‍රපටය අධ්‍යක්ශණය කරන්නේ ක්‍රිශ්නා නම් අධ්යක්ශකවරයායි. අතිශය ජනප්‍රිය වූ Silunu Oru Kadhal සිනමාපටයේ අධ්‍යක්ශකවරයා ඔහුය. ඔහු අතින් නිර්මාණය කෙරුණු එකම මතකයේ රැඳෙනා සිනමාපටය එය වන අතර, Pathu Thala එම වාර්තාවෙහි වෙනසක් සිදු නොකරයි.
Pathu Thala පළමු භාගය තුල කතාව ගොඩ නැගෙයි. තමිල්නාඩුවේ දේශපාලනය මෙහෙයවන, මහ ඇමතිවරුන් තම මනාපයට මාරු කරනා සියල්ලට ඉහළින් සිටිනා AGR (සිලම්බරසාන්) නම් ප්‍රබල අපරාධ නායකයෙකු සිටී. ඔහුගේ සෙවණ යටතේ සිදුවන දේශපාලන බල පෙරළි සහ ඔහුගේ නාමයෙන් සිදුවන ඝාතන සහ අනෙකුත් අපරාධ අපට දක්නට ලැබෙයි. ඔහු සිදු කළ අපරාධ වලට සාක්ශි රහසින් සෙවීමට පොලිස් බුද්ධි අංශයේ සේවය කරනා ශක්ති (ගෞතම් කාර්තික්) නම් නිළධාරියෙකු, ඔහුගේ කණ්ඩායමට එකතු වෙයි. ගුණා යන අසත්‍ය නාමයෙන් AGR යටතේ සේවය කරනා ශක්ති, කෙමෙන් කෙමෙන් AGR ට ලං වෙයි.
චිත්‍රපටයේ පළමු භාගය කිසිදු පදනමක් නැති දර්ශන වලින් ගහණය. චරිත වලට ඇත්තේ අඩු ගැඹුරකි. චරිත වල ගොඩ නැගීමක් දක්නට නොලැබෙයි. ගුණාගේ චරිතය, පොලිස් නිළධාරියෙකු ය යන Twist එක හැරුණු කොට චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ශකයා උනන්දු කරවන යමක් පළමු භාගයේ දී දක්නට නොලැබෙයි. STR ගේ මුහුණ පළමු භාගයේ අවසාන මොහොත තෙක්ම නොපෙන්වන අතර, වරින් වර ඔහුගේ ඡායාවන් පෙන්වීම නිසා ද කුතුහලය මදක් රැඳෙයි. රහ්මන්ගේ සංගීතයෙහි කියන්නට සුවිශේෂීත්වයක් නැත. සටන් ජවනිකා වල අලුත් කිසිවක් දක්නට නැත.
පළමු භාගයේ අවසානයේ පෙන්වන STR හෙවත් සිලම්බරසාන්, චිත්‍රපටයේ ගැලවුම්කාරයා ය. ඔහු සිය උරහිස මතින්, තනිව දෙවැනි භාගය පුරාවට සිනමාපටය ඔසවාගෙන යයි. STR තරුව යන වචනයට නිර්වචනය ලබා දෙයි. ඔහුගේ පෙනුමට, ඔහුගේ මුවින් පිටවන සෑම වචනයකටම, ඔහුගේ සෑම අංග චලනයකටම අසුනෙන් නැගිට අත්පොලසන් දෙන්නට ප්‍රේක්ශකයාට සිතෙයි.
සිලම්බරසාන් මේ මොහොතේ තමන්ගේ සිනමා දිවියේ සාර්ථකම කාලයක් ගෙවමින් සිටියි. Eeswaran, Maanadu, Vindhu Thaninadhu Kadhu ලෙස පිලිවෙලින් සාර්ථක චිත්‍රපට තුනකට, අගය කළ යුතු රංගන දායකත්වයක් ලබා දුන් සිලම්බරසාන් ගේ Pathu Thala ද සාර්ථක ආරම්භයක් ලබා ගෙන ඇත.
දෙවැනි භාගය, පළමු භාගයට වඩා හොඳින් නිර්මිතය. STR සිනමාපටය තම රංගනයෙන් ඔසවාගෙන යනවා සේම STR ගේ සම්බන්ධ වීමත් සමග චිත්‍රපටය හා සම්බන්ධ දෙපාර්තමේන්තු කිහිපයක් සක්‍රීය වී ඇති බව පෙනේ. එහෙත් රචනය තවමත් දුර්වලය. අයහපත් කමේ සංකේතය බඳු පුද්ගලයෙකු යහපත් යැයි පෙන්වීමට, සහ තහවුරු කිරීමට ශක්තිමත් Convincing කොටසක් අවශ්‍ය වෙයි. එය Pathu Thala තුල දකින්නට නොලැබේ.
අවසාන සටන් ජවනිකාව හොඳින් සහ වඩා සැලසුම්සහගතව නිර්මාණය කර තිබෙන බව පෙනේ. එහි දී රහමන් සිය සංගීතය සොයා ගනියි. එම ජවනිකාව හරහා Pathu Thala කණ්ඩායම නිර්මාණය තුල තමන් පෙර කල පව් යම් කොටසක් මකා ගැනීමට සමත් වෙයි.
ගෞතම් කාර්තික්ගේ රංගනය චිත්‍රපටය පුරාම Meh ගතියකින් යුක්තය. කියන්නට මහා හොඳකුත් නැත. කියන්නට මහා නරකකුත් නැත. Viduthalai එක කොටස තුල පොලිස් නිළධාරියෙකු වූ ගෞතම් වාසුදේවන් මෙනන්, Pathu Thala හි දී දේශපාලඥයෙකු වෙයි. රංගනය එතරම් සාර්ථක නැත. Impact එක අවමය.
Pathu Thala චිත්‍රපටය තුල AGR ගේ චරිතය විසින් නිරන්තරයෙන් කියනා වාක්‍යයක් ඇත.
“ගොඩක් හොඳ වෙන්න නම් ගොඩක් නරක බව පෙන්නන්න ඕන.”
Pathu Thala චිත්‍රපටය ද එම උදාන වාක්‍යය අනුගමනය කලා ද යන්න සැක සහිතය.
Written by Kavinu Weerakkody