කාජොල් – ප්‍රිත්විරාජ් ප්‍රථම වතාවට එකම තිරයකින්

Avatar Kavinu Weerakkody | December 20, 2022 61 Views 0 Likes 0 Ratings

61 Views 0 Ratings Rate it

හින්දි සිනමාවේ ප්‍රධාන නිර්මාණකරුවෙකු වන Karan Johar, දශක ගණනාවක් තිස්සේ අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය යන අංශ දෙක ඔස්සේම ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. ඔහු හිමිකාරීත්වය දරන Dharma Productions චිත්‍රපට ආයතනයෙන් බිහිවූ සිනමා නිර්මාණ ගණනාවක් අදටත් එරටින් බිහිවූ ජනප්‍රියම සහ Iconicම නිර්මාණ ගනයෙහි ලා සැලකෙනවා.
1980 වසරේදී තිරගත වූ Dostana චිත්‍රපටයේ සිට මීට දින කිහිපයකට පෙර නිකුත් වූ Govinda Naam Mera දක්වා ඔවුන් නිෂ්පාදනය කළ චිත්‍රපට සංඛ්‍යාව 50කට ආසන්නයි.

Kuch Kuch Hota Hai, Kal Ho Naa Ho, The Lunchbox, Duniya සහ වැනි බොහෝ දෙනෙකු හඳුනන චිත්‍රපට ගණනාවක්ම නිෂ්පාදනය කළේ කරන් ජොහාර් හිමිකාරීත්වය දරන මෙම “ධර්මා ප්‍රඩක්ෂන්” ආයතනය හරහායි. 80 දශකයේ සිට මේ දක්වාම හින්දි වාණිජ සිනමාවේ ප්‍රමුඛතමයින් වන ඔවුන් සිද්ධාර්ත් මල්හෝත්‍රා, වරුන් ධවාන්, ආලියා භාත් වැනි රංගන ශිල්පීන් ගණනාවක් ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නා.
මේ වනවිට Dharma Productions සහ Shah Rukh Khan සුසංයෝගයෙන් නිර්මාණය කර තිබෙන චිත්‍රපට සංඛ්‍යාව 07කට අධිකයි. අමිතාබ් බච්චන් සමඟින් චිත්‍රපට 05ක්; රන්බීර් කපූර් සමඟින් චිත්‍රපට 04ක්; ආක්ෂේ කුමාර් සමඟින් චිත්‍රපට 04ක් ඔවුන් නිෂ්පාදනය කොට තිබෙනවා.

මීට අමතරව වර්තමාන ඉන්දියානු සිනමාවේ සිටින තවත් ජනප්‍රියම නිළියක වන Kajol Devgan ද Dharma Productions චිත්‍රපට 04කට ප්‍රධාන චරිත රංගනයෙන් එක්ව තිබෙනවා. ඇගේ රංගන ජීවිතයේ සුවිශේෂීම චිත්‍රපට ද්විත්වයක් ලෙසට විචාරකයින් විසින් හැඳින්වෙන Kuch Kuch Hota Hai සහ Kabhi Khushi Khabhie Gum නිෂ්පාදනය කළේත් මෙම ආයතනය හරහායි. එම චිත්‍රපට දෙකම ධර්මා ප්‍රඩක්ෂන් හි හිමිකාරීත්වය දරන කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කොට තිබීම තවත් සුවිශේෂීත්වයක්!

Kajol විසින් අවසාන වතාවට රඟපෑ ධර්මා ප්‍රඩක්ෂන්ස් සිනමාපටය වන We Are Family (2010)න් වසර දොළහකට පසුව දැන් යළිත් නවතම නිර්මාණයක් වෙනුවෙන් ගිවිසුම්ගතව තිබෙන බවට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයෙන් ආරංචි වී තිබෙනවා.

කාශ්මීරය පාදක කොටගත් චිත්‍රපටයක් බවට පැවසෙන මෙය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබෙන්නේ ප්‍රවීණ චරිතාංග නලු Boman Iraniගේ පුත්‍රයා වන Kayoze Irani විසිනුයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙහි තිර පිටපත රචනා කර තිබෙන්නේ කාශ්මීර් ප්‍රදේශය සහ එම ප්‍රදේශයේ ව්‍යාප්තව තිබෙන ත්‍රස්තවාදී සංවිධාන අළලා යි. සංවේදී කතා පුවතක් රැගත් මෙම සිනමාපටයට තවමත් නිශ්චිත නමක් යෝජනා වී නැහැ. නමුත් පූර්ව නිෂ්පාදන කටයුතු බොහෝමයක් මේ වනවිටත් අවසන් කිරීමට අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට හැකිවී තිබෙනවා.

මෙය උතුරු ඉන්දියානු- හින්දි චිත්‍රපටයක් වුවත්, රංගන ශිල්පිනී Kajol Devgan සමඟින් මෙහි සෙසු ප්‍රධාන භූමිකාවට ගිවිසුම්ගත වී තිබෙන්නේ හින්දි නලුවෙකු නොවන බවටයි පැවසෙන්නේ. වාර්තා වන පරිදි, එම අවස්ථාව හිමිව තිබෙන්නේ වර්තමාන දකුණු ඉන්දියාවේ සිටින ප්‍රබලම සහ ජනප්‍රියම නලුවෙකු වන Prithviraj Sukumaran හටයි. කේරළා ප්‍රාන්තයේ මලයාලම් සිනමාව නියෝජනය කරමින් දකුණු ඉන්දියානු සිනමාව තුළ පෙරළිකාර නිර්මාණ රැසකට පන පෙවූ ඔහු නලුවෙකුට අමතරව දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු, පසුබිම් ගීත ගායකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ද වනවා.
මෙය Kajol සහ Prithviraj Sukumaran එකම චිත්‍රපටයකින් දැකගැනීමට ලැබෙන මුල්ම අවස්ථාවයි. එමෙන්ම ඔහු හින්දි චිත්‍රපටයක රඟපාන්නේ Naam Shabana (2017)න් වසර පහකට පසුවයි.

එමෙන්ම රංගන ශිල්පී Saif Ali Khanගේ වැඩිමහල් පුත්‍රයා වන Ibrahim Ali Khanත් මෙය තුළින් සිනමාවට පිවිසීමට නියමිතයි. කාජොල් සහ ප්‍රිත්විරාජ්ගේ චරිත යුගලය ගැන විවිධ ඉඟි පළවී තිබුනත් Ibrahim Ali Khan නිරූපණය කිරීමට සූදානම් වන්නේ කුමන ආකාරයක භූමිකාවක් ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් අණාවරණය වී නැහැ.
කෙසේ වෙතත්, සිනමාපටයෙ හි මූලික චරිත ත්‍රිත්වය රඟන මොවුන් තිදෙනා සහ අධ්‍යක්ෂක Kayoze Iraniගේ සහභාගීත්වයෙන් තිර පිටපත ගැන සාකච්ඡා වට කිහිපයක් පවත්වා අවසානයි. සෙසු නිර්මාණවලට වඩා යම් තාක් දුරකට වෙනස් නිර්මාණයක් වන නිසා, මෙහි චරිත සඳහා සූදානම් වීමේ අරමුණින් ඔවුන් තිදෙනාට acting workshops කිහිපයක් සංවිධානය කිරීමටත් නිෂ්පාදක කණ්ඩායම පෙළඹ තිබෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් එළඹෙන 2023 වසරේ ජනවාරි මාසයේදී ඇරඹීමට නියමිතයි. නිර්මාණයෙන් 80%ක පමණ ප්‍රමාණයක කාශ්මීරය පාදක කොටගත් දර්ශනතල තිබෙන නිසා මාස 2-3 වැනි කාල පරිච්ඡේදයක් රූගත කිරීම් පැවැත්වීමට සිදුව තිබෙන්නේ හිමෙන් වැසුනු හිමාචල් සහ කාශ්මීර් ප්‍රාන්ත තුළදී යි.

මෙහි අධ්‍යක්ෂකවරයා වන Kayoze Irani සහ කරන් ජොහාර්ගේ Dharma Productions අතරත් සුවිශේෂී සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ Kayoze Iraniගේ සිනමා ආගමනය සිදු වූයේත් “ධර්මා ප්‍රඩක්ෂන්ස්” හි නිෂ්පාදනයක් වන Student of the Year (2012) හරහායි. නමුත් ඒ නලුවෙකු ලෙස මිස අධ්‍යක්ෂකවරයෙකු ලෙස නොවෙයි. Student of the Year (2012) හි තම පළමු රඟපෑමෙන්ම රසිකයින් බොහෝ දෙනෙකුට සමීප වූ ඔහු ඉන්පසුව Bombay Talkies, Youngistaan, The Legend of Micheal Mishra වැනි තවත් චිත්‍රපට කිහිපයක උප ප්‍රධාන චරිත නිරූපණය කළා.

ඉන්පසුව කයෝසි සිනමා අධ්‍යක්ෂණයට පිවිසි අතර ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සිනමාපටය 2021 වසරේදී Ajeeb Daastaans නමින් Netflix ඔස්සේ නිකුත් වුනා. සිනමාකරුවන් කිහිප දෙනෙකුගේ එකතුවෙන් නිර්මාණය කළ Anthology ශානරයේ චිත්‍රපටයක් වූ එය සමස්ත ඉන්දියාව පුරාම ජනප්‍රිය වුනේ ධනාත්මක ප්‍රතිචාර ලබා ගනිමින්…
Ajeeb Daastaansට පසුව කයෝසි අධ්‍යක්ෂණය කරන දෙවන සිනමාපටය වන්නේ මෙයයි.

Share

61 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.