කැලුම් ආර්යන් රඟන Villain ටීසර්පටය අන්තර්ජාලයට

Avatar Kavinu Weerakkody | November 12, 2022 1587 Views 1 Like 2.33 On 3 Ratings

1587 Views 2.33 On 3 Ratings Rate it

එළඹෙන වසරේදී නිකුත් වීමට නියමිත ‘විලන් – Villain’ සිංහල සිනමාපටයේ පළමු පූර්ව ප්‍රචාරකපටය (teaser) දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා. නැඟී එන තරුණ රංගන ශිල්පියෙකු වන කැලුම් ආර්යන් කුලරත්න ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙය, ක්‍රියාදාම දර්ශන බහුල Action – Thriller ශානරයේ සිනමා නිර්මාණයක්!

සිය බලය අවභාවිතා කරන දේශපාලඥයින්, ඔවුන්ගේ පුත්‍රයන් සහ මැරවරයින් නිසා සාමාන්‍ය ජනතාවට සිදු වන අකටයුතුකම් ආශ්‍රිත කතා තේමාවක් මුල් කරගෙන නිර්මාණය වූ ‘විලන් – Villain’ සිනමාපටය, එළඹෙන 2023 වසරේ මුල භාගයේදී දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීමට නියමිතයි.
ලාංකීය දේශපාලනයේ අඳුරු පැතිකඩත්, ඔවුන්ගේ බලය අවභාවිතය නිසා සිවිල් වැසියන්ට සිදු වන හිරිහැර පිළිබඳවත්, මෙම චිත්‍රපටය හරහා පෙන්වීමට අධ්‍යක්ෂකවරයා උත්සාහ ගෙන ඇති බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා සම්බන්ධ වන්නේ ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ නැඟී එන තරුණ නලුවෙකු වන කැලුම් ආර්යන් කුලරත්නයි.
ඊතලය, නිලංජනා වැනි චිත්‍රපටවල මුල් භූමිකා රඟපෑ ඔහු මෙරට රසිකයින් අතරෙ හි වැඩිම කතාබහට ලක්වූයේ ගෝරි චිත්‍රපටයත් සමඟයි. කැලුම් ආර්යන් රඟපෑ Case No: 447 නැමැති චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙනවා.
කැලුම් ආර්යන්ට අමතරව ශෙරාන් පීරිස්, සංජු සමරසිංහ, ටෙඩී විද්‍යාලංකාර, පවිත්‍රා වික්‍රමසිංහ, සමාදි පෙරේරා, දසුනි සෙනෙත්මා සහ කුමරා වදුරැස්ස වැනි තවත් නලු නිළියන් රැසක්ම මෙහි රංගනයෙන් එකතු වනවා.

පහත සබැඳිය ඔස්සේ මෙහි පළමු පූර්ව ප්‍රචාරකපටය නැරඹීමට ඔබට හැකියි.

‘විලන් – Villain’ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ සංගීත නිර්මාණය සිදු කොට තිබෙන්නේ ලස්සන ජයසේකර විසිනුයි. මෙම චිත්‍රපටයට පෙර නෝනෙ මගෙ සුදු නෝනේ, පුංචි අපිත් බය නැහැ දැන්, ස්වීට් ඒන්ජල් වැනි සිනමා නිර්මාණ ගණනාවක සංගීත සංයෝජනය සිදු කළ ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් සඳහාත් සම්බන්ධ වූවා.
මෙය ඔහු අධ්‍යක්ෂණය කරන පළමු දිගු වෘතාන්ත සිනමාපටය බවයි පැවසෙන්නේ.

මෙහි කතාව සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද, චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟන කැලුම් ආර්යන් විසින්මයි. රංගන ශිල්පියෙකුට අමතරව තිර පිටපත් රචකයෙකු ලෙසත් නමක් දිනාගෙන සිටින ඔහු මින් පෙර අවස්ථා කිහිපයකදීම දිගු වෘතාන්ත චිත්‍රපට රචනයට එක්ව තිබෙනවා.
2019 වසරේදී නිකුත් වූ උද්දික ප්‍රේමරත්න රඟපෑ රශ් (Rush) සහ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ගෝරි (Goree) යන සිනමාපට ද්විත්වයම රචනා කළේ ඔහුයි.

NK Films බැනරය යටතේ විලන් සිනමාපටයෙ හි නිෂ්පාදන පිරිවැය දරන්නේ ලස්සන ජයසේකර – කැලුම් ආර්යන් දෙදෙනායි. කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ගිහාන් විරාජ් විසිනි. සහාය අධ්‍යක්ෂණයෙන් චමින්ද හේවාවසම් ද, නිෂ්පාදන කළමනාකරණයෙන් ජැකී අපොන්සු ද සම්බන්ධ වනවා. චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය මෙහෙයවන්නේ මෙරට සිටින ප්‍රවීණතම සිනමාකරුවෙකු වන ටෙඩී විද්‍යාලංකාරයි. වේෂ නිරූපණය ආසිරි චතුරංග සහ ගීත රචනය මැණික් ජයසිංහයි. චිත්‍රපටයේ පරිගණක දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය සිදු කරන්නේ අකේෂ් සඳුමන් විසිනි. කලා අධ්‍යක්ෂණය රුෂාන් මදුරංග සහ හේෂා මින්රදිගෙනි.

පසුගිය මැයි – සැප්තැම්බර් කාල වකවානුවේදී ‘විලන් – Villain’ චිත්‍රපටයෙ හි රූගත කිරීම් සිදු වුනු අතර මේ වනවිට දර්ශන සියල්ලම රූගත කොට අවසානයි. චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක් රූගත කිරීමේදී සිදු වූ අනතුරක් නිසා කැලුම් ආර්යන්ව රෝහල්ගත කර ප්‍රතිකාර කරන්නටත් නිෂ්පාදක කණ්ඩායමට සිදුව තිබෙනවා.
මේ වනවිට සිනමාපටයේ සංස්කරණ සහ පසු නිෂ්පාදන කටයුතු ද අවසාන අදියරේ පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ.

‘විලන් – Villain’ චිත්‍රපටයේ චරිත හඳුන්වා දෙමින් ආකර්ෂණීය පෝස්ටර කිහිපයක්ම මාධ්‍යයට නිකුත් කොට තිබෙන අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී මෙහි Trailer පටයත් එළි දැක්වීමට නියමිතයි. බොහෝදුරට 2023 ජනවාරි – මාර්තු අතර කාලයේදී මෙහි සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙනු ඇති බවටයි තොරතුරු දැක්වෙන්නේ.
Engaging Thriller සිද්ධි දාමයක් සහ Action Sequences බහුල මෙම සිනමාපටය, මෙරට ක්‍රියාදාම චිත්‍රපට ලෝලීන්ට නම් ගැළපෙනම නිර්මාණයක් වනු ඇති..!!

Share

1587 Views 2.33 On 3 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.