කියවා නිමකළ නොහැකි “ද නිවුස්පේපර්” – භාතිය ගුණසේන

Avatar Nisanka Weheraduwa | September 9, 2020 75 Views 2 Likes 0 Ratings

75 Views 0 Ratings Rate it

සටහන : භාතිය ගුණසේන

මමත් අවුරුදු පහක් පත්තර රස්සාවෙ හිටපු කෙනෙක්. මම පත්තර රස්සාවෙන් අයින් වුණේ ඒ ආයතන ඇතුළෙ සිද්ධ වෙන මජරකම් ඉවසගන්න බැරුව. සහෝදර මාධ්‍යවේදීන්ගෙ කැපිලි කෙටිලි කුහකකම් නම් දරා ගන්න පුළුවන්. ඒත් මට දරාගන්න බැරි සිදුවීමක් වුණා. ඒක පාස්කු බෝම්බෙ වෙලාවෙ සිදු වුණු දෙයක්. පාස්කු බෝම්බෙන් ජීවිත බර ගාණක් මේ රටට නැතිවුණා. කිරි සප්පයන්ගෙ පවා දිවි අහිමි වුණා. “බෝම්බ පුපුරපු පැතිවල එවුන් දෙදාස් පහළවේ ඡන්දෙ දුන්නෙ යහපාලනේට. යහපාලනේට ඡන්දෙ දුන්නට යසයි ඕකුන්ට” කියලා මම වැඩ කරපු පත්තරේ ලොක්කෙක් පාස්කු බෝම්බෙ පුපුරපු වෙලාවෙ කිව්වා. “හෙණ ගහපන් ඕකට” එදා මුමුණපු විදියටම මම අදත් මුමුණනවා. කවද හරි ඌට හෙණ වදිනවා. ඒ ඇති වුණු කම්පනයට මම ආයෙ කවදාවත් පත්තරේක වැඩට යන්නෙ නෑ. මට යන්න බෑ. හිරිකතයි. අපුලයි.
තමන් නියෝජනය කරන පක්ෂයට ඡන්දය දුන්නෙ නැති නිසා බෝම්බ වැදිලා මැරුණු එක හොදයි කියන මීඩියා කාරයො ඉන්න භූමියක තමයි ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය උපදින්නෙ. මීඩියාවල පළ කරපු වැරදි ප්‍රවෘත්ති නිසා කී දෙනෙක්ගෙ ජීවිතවලට කෙළවෙලා ඇද් ද? ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටියෙ කතා කරන්නෙත් වැරදි නිවුස් එකක් හිංදා නන්නත්තාර වෙච්ච පවුලක කතන්දරයක් ගැන.
ජනමාධ්‍ය කියන්නෙ හතරවෙනි ආණ්ඩුව කියලනෙ කියන්නෙ. ඒ කතාව හරි. මොකද පළවෙනි ආණ්ඩුව වගේම හතරවෙනි ආණ්ඩුවත් මිනිස්සුන්ගෙ ජීවිත කාබාසිනියා කරලා දාන එකනෙ කරන්නෙ. අපේ රටේ බොහොමයක් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන් වැඩ හිඳින්නෙ පළවෙනි ආණ්ඩුවේ කැබිනෙට්ටුවෙ. අනික් ඒවා විවිධ දේශපාලන පක්ෂ මතින් යැපෙන මාධ්‍ය. ස්වාධීන යැයි කිව හැකිව තිබෙන්නෙ බොහොම අල්පයයි. මේක තමයි අපේ රටේ ජන මාධ්‍ය පිළිබඳව තිබෙන පොදු චිත්‍රය.
කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල සුසංයෝගය විසින් තමයි ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටය ලියන්නෙ සහ අධ්‍යක්ෂණය කරන්නෙ. තිරිමාදුර කියන්නෙ අවුරුදු දා හතක් දිවයින පත්තරේ වැඩ කරපු මාධ්‍යවේදියෙක්. ඔහු තමන්ගෙ වෘත්තිය ඇතුළෙ දැකපු ඛේදවාචක තොගයෙන් බිඳක් සංකේතාත්මකව මේ සිනමාපටයට ගේන්න ඇති කියලා මම හිතනවා. සරත් කොතලාවල තමයි මේ සිනමාපටයේ ගමේ කොටස ලියන්න ඇත්තෙ. කොහොම හරි මේ සුසංයෝගය සිංහල සිනමාවට දැනෙන වැඩක් කළා කියල තමයි මට නම් කියන්න තියෙන්නෙ.
මීඩියා එක්ක වැඩ කරන එක හරියට ‘දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්’ කියලා හුඟක් අය කියනව මට ඇහිලා තියෙනවා. එහෙම කියන්නෙ සාමාන්‍ය අය නෙමෙයි. රාජ්‍ය සේවයේ ලොකු ලොක්කො, ආණ්ඩුවේ ලොකු ලොක්කො වගේ අය. එවැනි අයටත් මීඩියා එක්ක වැඩ කරන එක අමාරු වැඩක් වෙච්ච යුගයක තමයි කුමාරයි සරතුයි බඹරෙට ගල් ගැහුවෙ. මේ චිත්‍රපටයෙ ට්‍රේලර් එක බලද්දිම මට හිතුණා මුන් දෙන්නා රජ කෑමක් කන්න තමයි හදන්නෙ කියල. මොකද ? මීඩියා එකක වැඩ කරන ඡායාරූප ශිල්පියෙකුට, ප්‍රාදේශීය වාර්තාකරුවෙකුට, මාධ්‍යවේදියෙකුට රැව්වත් ඇති ගිණි ඇවිලෙන්න.
එහෙව් එකේ කුමාරයි සරතුයි මේ ගහපු ගැහිල්ලට මීඩියා කටපියාගෙන ඉන්නෙ මොකද කියල මට තාම හිතා ගන්න බැරුවයි ඉන්නෙ. මීඩියා මේ විදියට ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නකොට මට නං හිතෙන්නෙ මීඩියාවලට උත්තර නැතුව ඇති කියලා. මොකද මේ ගහල තියෙන ගැහිල්ල එසේ මෙසේ ගැහිල්ලක් නෙමෙයි. චිත්‍රපටයේ අවසාන ෂොට් එකෙන් ඉතා පැහැදිළිව ම කියනවා මීඩියා විසින් තවදුරටත් විකෘතිය සමාජගත කරමින් බොරුව කන්ටිනිව් කරමින් ඉන්නවා කියන එක. ඔවුන් වර්තමානය තුළත් සමාජයත් එක්ක, මිනිස් ජීවිතත් එක්ක පිස්සු නටනවා කියන එක කියනවා. මම හිතන්නෙ මීඩියා සද්ද නැතුව ඉන්නෙ ‘ ඔවු අනේ. ඒ අපේ හැටිනේ ! ‘ කියලා වෙන්න ඇති කියල මට හිතෙනවා. අඩුම ගානෙ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයක්වත් මේකට මුකුත් නොකියපු එක ගැන මට තියෙන්නෙ ප්‍රශ්නෙකට වඩා සැකයක්.
චිත්‍රපටය පුරාම ඊළග මොහොතේ කුමක් සිදු වෙයිද කියන කුතුහලය ගැබ් වෙලා තිබෙනවා. මට හීන් දාඩිය දාපු සීන් එක තමයි කුඩු පාර්සලය බෑග් එකේ දාගෙන පොලිසිය ඉස්සරහින් යන ෂොට් එක. මම හිතුවෙ හිරේ ඉඳලා ආපු ලුයියට ආයෙත් ෂොට් එක හම්බවෙයි කියලා. එතනදි නම් මගේ හදවත පන්තේරු නැටුම් නැටුවා. ඇතැම් අය පුද්ගලිකව මාත් එක්ක කිව්වා කුඩු පාර්සලේට වෙච්ච දේත් පෙන්නුවා නම් හොඳයි නේද වගේ දේවල්. කුඩු පාර්සලේට මොකක් හරි වෙන්න ඇති. මට නම් කුතුහලයයි වැදගත්. ඊටත් වඩා මට කුඩු පාර්සලේට වෙච්ච දේ ගැන හොයන්න ඕන කමක් තිබුණෙම නෑ. මට ඕන වුණෙත් ලුයියටයි ගුණාටයි වගේ ගුණාගෙ මල්ලි නිර්දෝෂයි කියලා පත්තරේ මුල් පිටුවෙ ලොකු අකුරින් දාගන්න.
‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ මම දැකපු තව සුවිශේෂී කාරණාවක් තමයි සංකේත භාවිතය. සරළව ම කියනව නම් සංකේත කියන්නෙ ටිකක් කල්පනා කරලා තේරුම් ගන්න ඕන දේවල්වලට. මේ චිත්‍රපටයෙ මතුපිට කතාවෙන් චිත්‍රපටය කියවාගන්න පුළුවන් තමයි. නමුත් චිත්‍රපටය ගැන නැවත නැවත කල්පනා කරන ප්‍රේක්ෂකයෙකුට ඇතිපදම් වින්දනය කරන්න පුළුවන් තරමේ සංකේතාවලියක් මේ තුළ තිබෙනවා. පිටපත් රචකයකු අතින් සිදුවන අතිශය දුර්ලභ දෙයක් තමයි බරසාර සංකේත භාවිතය කියන්නෙ.
චිත්‍රපටයෙ එක තැනක තිබෙනවා ජාතික වීරයෙක් ගැන කියවෙන දෙබසක්.
” ඇයි එයා පාර දිහා බලාගෙන ඉන්නෙ ?” ලුයියා ගුණාගෙන් අහන සීන් එක. ඒ පිළිරුව නිර්මාණය කරලා තිබෙන්නෙ පාර දිහා බලාගෙන ඉන්න විදියට නෙමෙයි. බොහොම ගාම්භීර බවක් ඒ තුළ තිබෙනවා. නමුත් ඒ කව්ද කියලවත් දන්නෙ නැති ගල්ලෑල්ලෙ ලුයියට පේන්නෙ කව්ද කෙනෙක් ඔහේ පාර දිහා බලා ඉන්නවා වගේ දෙයක්. හැබැයි ලුයියා විදියට පෙනී සිටින්නෙ කව්ද ? ජාතික වීරයො ඇයි පාර දිහා බලාගෙන ඉන්නෙ කියල මේ නිර්මාණකරුවන් දෙදෙනා නේද අහන්නෙ. ඒ ප්‍රශ්නයට ගුණා උත්තර නොදීමම නේ ද ” ඇයි එයා පාර දිහා බලාගෙන ඉන්නෙ ?” කියන ප්‍රශ්නය සංකේතයක් බවට පත්වෙන්නෙ. මේ දේවල් එසේ මෙසේ සංකේත නෙමෙයි.
ලුයියයි ගුණයි අමාරුවෙන් ලිපිනයක් හොයාගෙන යන පළවෙනි පත්තර කන්තෝරුව මේ චිත්‍රපටයෙ එන තවත් සංකේතයක්. ඉඳුරාම පැහැදිළියි ඒක වමේ පත්තර කන්තෝරුවක්! වමේ පත්තරේ මුර කාරයත් මහදවාලෙ නිදි. වමේ මුරකාරයාගෙ ඉඳන්ම නිඳි වගේ කියන එකක් එතන කියන්නෙ. එතනිනුයි සංකේතාවලිය ඇරඹෙන්නෙ. ඒ පත්තරේ තවම පාවිච්චි කරන්නෙ පැරැණි යතුරු ලියනයක් (ටයිප් රයිටරයක්). කොයි තරම් පසුගාමීද ? කොයි තරම් ස්ලෝ ද? මේ කියන්නෙ ටයිප් රයිටරේ ස්ලෝ කියල නෙමෙයි. වම ස්ලෝ කියලා. වම පැරැණියි කියලා. වම පසුගාමීයි කියලා. ඊළගට ඒ පත්තරේ වාමාංශික ප්‍රධාන කතෘවරයා සහ ටයිප් රයිටර් එකේ වැඩ කරන සේවකයා අතර ඇතිවන කෙටි සංවාදය මගින් කොයි තරම් දේවල් කියවෙනව ද ? ප්‍රධාන කතෘවරයා ඔහුගෙන් නැහැ නේද කියලා අහලා හොරෙන් නැහැ කියන්න කියලා ඉරියව්වකුත් පානවා ඔබට මතක ඇති. වාමාංශික ව්‍යාපාරය තුළ තිබෙන වංකකම නේ ද නිර්මාණකරුවන් මේ හරහා පෙන්වන්නෙ. එතකොට ටයිප් රයිටර් සේවකයා කියන්නෙ නැහැ කියලා නෙමයි. වමේ ව්‍යාපාරවල ඉන්න ලොකු ලොක්කන්ගේ නිලධාරීවාදයට පහළ සාමාජිකයන් ඔලුව පාත් කරනවා කියන සංකේතයයි මේ ඉදිරිපත් කරලා තිබෙන්නෙ. වමට මෙච්චර ගහද්දිත් අර මීඩීයා වගේම වමත් නිහඬයි. මම නම් හිතන්නෙ මේක නිද්‍රාශීලී තත්ත්වයක් නෙමයි. උත්තර නැති තත්ත්වයක්.
ඊළගට නිදහස් චතුරශ්‍රය ළඟ තිබෙන පොකුණෙ ලුයියා නාන සීන් එක වගේ තව ගොඩක් සංකේත මේ චිත්‍රපටයේ අන්තර්ගතයි. මේ සංකේත එකක්වත් නිකමට ඇතුළත් කරපු සංකේත නෙමෙයි. මේවා ඉතා බරපතළ සංකේත. ඉතා පුළුල් බහුවිධ අර්ථ සපයන සංකේත.
චිත්‍රපටයේ සෑම දර්ශනයක්ම ඉතා වැදගත්. ඒ එකඳු තැනක්වත් මග හැරලා චිත්‍රපටය බලලා වැඩක් නෑ. තව ගොඩක් දේවල් මට චිත්‍රපටය ගැන කියන්න තියෙනවා. ඒත් පතරංග රිවීව් කවුද කියවන්නෙ. ඒ නිසා මේ හරියෙන් ඉවර කරනවා. අන්තිමට මට කියන්න තියෙන්නෙ පත්තරයක් එක පාරක් කියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි නිවුස් පේපර් කියවලා ඉවර කරන්න පුලුවන් චිත්‍රපටයක් නෙමෙයි !
– භාතිය ගුණසේන –

Share

75 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.