කේරළයේ දක්ෂතම චරිතාංග නලුවන් දෙදෙනෙක් එකම සිනමාපටයකින් | Voice of Sathyanathan
කේරළ සිනමාවේ ප්‍රබලම රංගන ශිල්පීන් දෙදෙනා වන මෝහන්ලාල් (Mohanlal) සහ මම්මුටි (Mammootty) හැරුනු කොට, එම ප්‍රාන්තය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින තවත් නලු නිළියන් බොහෝ දෙනෙකු දක්නට ලැබෙනවා. මලයාලම් නලු Gopalakrishnan Padmanabhan Pillai හෙවත් Dileep ද කාලයක පටන් එවැනි ස්ථාවර ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කරගෙන සිටින, කලාපයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්.
2000-2015 අතර කාල සීමාවේදී ඔහු මලයාලම් සිනමාවේ ප්‍රබලම නලුවෙකු වශයෙන් මතු වී ගෙන පැමිණියත්, ඔහුට එල්ල වූ දූෂණ චෝදනා සහ ඔහු තෝරාගත් තිරපිටපත් තුළ තිබූ දුර්වලතා නිසා Dileepගේ ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් දියාරු වී ගියා. ඔහු රඟපෑ චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක වෙමින් නිෂ්පාදකයින්ට අලාබදායී තත්වයට පැමිණි නිසා මලයාලම් රසිකයින් පවා Dileepගේ සිනමාපට නරඹන්නට එතරම් උනන්දු වූයේ නැහැ.
මේ සියලුම අභියෝග මධ්‍යයේ කලක් නිහඬව ගත කළ ඔහු දැන් යළිත් සක්‍රීය සිනමා රංගනයට පිවිස තිබෙනවා. ඉදිරි වසර කිහිපය සඳහා චිත්‍රපට ගණනාවකට ගිවිසුම්ගත වෙමින් තමන්ට අහිමි වූ ජනප්‍රියත්වය සහ රසික ආකර්ෂණය යළිත් ළඟා කරගැනීමට ඔහු උත්සාහ දරමින් සිටිනවා. දිලීප්ට විරුද්ධව අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩු මධ්‍යයේ වුවත් සාර්ථක බොක්ස්-ඔෆිස් ආදායමක් උපයා ගත් Ramleela, Kammara Sambhavam, Kodathi Samaksham Balan Vakeel වැනි සිනමා නිර්මාණ ඊට හොඳ නිදසුනක්…
ඒ නිසාම 2015-2016න් පසු අවධිය, දිලීප්ගේ සිනමා ජීවිතයේ දෙවන අදියර බවටයි බොහෝමයක් මලයාලම් සිනමා කලාවේදීන් පවා හඳුන්වන්නේ.
ඉදිරියේදී නිකුත් වීමට නියමිත, දිලීප් විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපට කිහිපයකම නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදුවෙමින් තිබෙනවා. Voice of Sathyanathan යනුවෙන් හඳුන්වන්නේ එයින් ප්‍රධාන නිර්මාණයක් මෙන්ම රසිකයින්ගේ අවධානය වැඩිපුර යොමුව තිබෙන upcoming චිත්‍රපටයක්. ඔහුගේ සෙසු සිනමාපටවලට සාපේක්ෂව වැඩි මුදලක් සහ කාලයකුත් මේ වෙනුවෙන් යොදා තිබෙනවා.
Voice of Sathyanathan හි පූර්ව නිෂ්පාදන කටයුතු සහ පළමු දර්ශන තල කිහිපයේ රූගත කිරීම් කොටස ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදී යි. නමුත් නිෂ්පාදක මණ්ඩලයේ යම් මතබේදාත්මක තත්වයන් නිසා එහි වැඩ කටයුතු මඟදී නතර වුනා. දිලීප් සම්බන්ධ අධිකරණ කටයුතු පවා මේ චිත්‍රපටය ඇණ හිටීමට ප්‍රධාන හේතුවක් වූ බවයි පැවසුනේ… රසිකයින් පවා සිතුවේ Voice of Sathyanathan ව්‍යාපෘතිය නැවත ආරම්භ වීමට අවස්ථාවක් නොමැති බවටයි. පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වාම එහි රූගත කිරීම් යළිත් ඇරඹූ බවට කිසිදු ආරංචියක් නොලැබුනු නිසා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවට ඔවුන් ඉඟි පළ කලා.
නමුත් දැනට දින කිහිපයකට පෙර එක්වරම Voice of Sathyanathan හි නිෂ්පාදන කටයුතු සහ රූගත කිරීම් යළිත් ඇරඹුනේ ඔවුන් සියල්ලම විමතියට පත් කරමිනුයි. අධිකරණ චෝදනා නිසා නවතා දැමූ බවට ඉඟි පළවුනු සිනමාපටයක් නැවතත් continue වීම ඔවුන් බලාපොරොත්තු නොවූ සිදුවීමක්. නමුත් සිනමාපටයේ නිෂ්පාදකයින් විසින් මෙවර සිය දර්ශන තලය ලෙස තෝරා ගෙන තිබුනේ කේරළය වෙනුවට මුම්බායි නගරය ආශ්රිත ප්‍රදේශ කිහිපයකුයි.
“Voice of Sathyanathan shooting is starting after a while.
Hoping for everyone’s prayers and blessings.”
ලෙස සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් පළ කරමින් මෙහි නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියා වන NM විසින් මෙම විස්තරය තහවුරු කළා. එක්වරම දැන ගන්නට ලැබුනු මෙම පුවත නිසා රංගන ශිල්පී දිලීප්ගේ සෙසු චිත්‍රපටවලටත් වඩා වැඩි ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් Voice of Sathyanathan නිර්මාණයට දැන් ලැබී තිබෙනවා.
ප්‍රවීණ මලයාලම් සිනමාකරුවෙකු වන Raffi විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර තිර පිටපත රචනා කර තිබෙන්නේ ද ඔහු විසින්මයි. රංගන ශිල්පී Dileep සහ ඔහු මීට පෙරත් සිනමාපට කිහිපයක්ම නිර්මාණය කොට තිබෙනවා. එමෙන්ම ඒ නිර්මාණ සියල්ලම පාහේ අදටත් කේරළයේ ජනප්‍රියම නව රැල්ලේ සිනමාපට!
රාෆි සහ දිලීප් සුසංයෝගයෙන් නිෂ්පාදනය වුනු පළමු සිනමාපටය 1998 තරම් අතීතයේදී නිර්මාණය වූවක්. Punjaabi House නමින් හැඳින්වෙන එය එකල සාර්ථකව ප්‍රදර්ශනය වූ චිත්‍රපටයක්. ඉන්පසුව Thenkaasipattanam (2002) | Pandippada (2005) | China Town (2011) | Ring Master (2014) ආදී රාෆි අධ්‍යක්ෂණය කළ විවිධ නිර්මාණ ගණනාවකම ප්‍රධාන චරිතය නිරූපණය කළේ Dileep විසිනුයි.
නමුත් ඒ සියල්ලටම වඩා රාෆි-දිලීප් සුසංයෝගය ජනප්‍රිය වූයේ 2015දී තිරගත වුනු Two Countires නැමැති මලයාලම් සිනමාපටය හරහායි. එය රාෆි විසින් අධ්‍යක්ෂණය නොකළත්, එහි තිර පිටපත රචනා කළේ ඔහු විසිනුයි. 2015දී Two Countires සිනමාපටයේ තිරගත වීම ඇරඹි පසු එය මලයාලම් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම්ලාභී සිනමාපට අතරටත් එකතු වුනා. ඉන්දීය කෝටි 50කට අධීක boxoffice ආදායමක් උපයමින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා.
විශේෂත්වය වූයේ එහි අධ්‍යක්ෂණයටත් වඩා විචාරකයින් විසින් ඇගයුමට ලක් කළේ Raffi රචනා කළ තිර පිටපත වීමයි.
මේ වනවිට චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පෝස්ටර කිහිපයක්ම නිකුත් වී තිබෙන අතර එළඹෙන වසරේදී සිනමාශාලා වෙතට මුදා හරින බවටත් නිවේදනය කොට තිබෙනවා. Dileepට අමතරව තවත් දක්ෂ චරිතාංග නලුවෙකු වන Joju George ද මෙහි ප්‍රධාන භූමිකාවකට සම්බන්ධ වීමට නියමිතයි. ඊට අමතරව Johny Antony, Siddque, Ramesh Pisharody සහ Veena Nandakumar ද මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් එක් වනවා.
නිෂ්පාදකයින් පවසන පරිදි දිලීප්- ජෝජු දෙදෙනා නිරූපණය කරන්නේ කුඩා කළ සිටම හොඳින් හඳුනන මිත්රයින් දෙදෙනෙකුගේ චරිත ද්විත්වයක්. Dileep රඟපාන්නේ ‘සත්‍යනාදන්’ නැමැති විනෝදකාමී ව්‍යාපාරිකයාගේ චරිතයයි. ඔහු සෑම දෙයක්ම විනෝදයෙන් භාර ගන්නා තරුණයෙකු වුවත්, එක්වරම සිදුවන අවිනිශ්චිත සිදුවීමක් සමඟ ඔහුගේ ස්වභාවය සම්පූර්ණයෙන්ම බවත්, එයින් පසු ඔහු මුහුණ දෙන සිද්ධි මාලාව Voice of Sathyanathan නැමැති හාස්‍යමය චිත්‍රපටයට පාදක වූ බවත්, මෙහි අධ්‍යක්ෂකවරයා වරෙක සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.
පසුගිය දිනවල මෙරට ප්‍රේක්ෂකයින් අතරෙ හි අතිශය ජනප්‍රියත්වය පත් වූ June නැමැති මලයාලම් සිනමාපටය අධ්‍යක්ෂණය කළ Jithin Stanislaus මෙහි කැමරාව හසුරුවන අතර සංස්කරණය Shameer Mohomad විසිනි. පසුගිය වසර කිහිපය තුළ සාර්ථක චිත්‍රපට ඇල්බම කිහිපයක්ම නිර්මාණය කළ Justin Verghese මෙහි සංගීත අධ්යක්ෂණයට එක්ව තිබෙනවා.
එළඹෙන වසරේදී ලෝ පුරා සිනමා හල්වලට මෙය නිකුත් වීමට නියමිතයි.
Written by Kavinu Weerakkody