කොළඹ ඇහින් දකින ගමේ ළමයි – කසුන් චන්ද්‍රනාත්

Avatar Nisanka Weheraduwa | February 6, 2019 18 Views 0 Likes 0 Ratings

18 Views 0 Ratings Rate it

තාල චිත්‍රපටය පිලිබඳ කසුන් චන්ද්‍රනාත් පතිරණගේ සටහනක්

**********************************************************

දුශ්කර ගමක අඩු පහසුකම් සහිත පාසැලකි. ළමුන් මැරෑටියෝ ය. ඉගෙනුමෙහි අසමාර්ත ය. ගුරුවරු කම්මැලියෝ ය. සිසුන් ගැන නොසිතති. විදුහල්පති උපේක්ෂා සහගත ය. එහෙත් වයසක ය. කොළඹින් එන කඩවසම් ගුරුවරයෙකි / පියකරු ගුරුවරියකි. උත්තරීතර අරමුණු ඇත්තේ ය. දරුවන් උදෙසා සියල්ල කැපකරන්නේ ය. අවංක ය. ආදරණීය ය. පයිඩ් පයිපරයා මෙන් ගමේ ළමෝ ආකර්ශනය කර ගන්නේ ය. උන් හා නටන්නේ ය, ගී ගයන්නේ ය, බයිසිකල් පදින්නේ ය, බස් එලවන්නේ ය. ඔවුන්ගේ දුක හදුනන්නේ ය. දුකට පිහිටට එන්නේ ය. මොඩර්න් ය. පොශ් ය. පාසැල අලුත් වෙයි. ළමුන් කැල පිබිදෙයි. පරණ ගුරුවරු කෝප වෙයි. ගම්මු කොටසක් විරුද්ධයි. සාම්ප්‍රදායික ය. අංචි අදින්නේ ය. උගුල් අටවන්නේ ය. බාදක වැටෙන්නේ ය. මදක් පසුබා යන්නේ ය. එහෙත් නැවතත් අළු ගසා නැගිට ගමේ ළමෝ කොළඹට රැගෙන එන්නේ ය. තරග දිනයි. මුහුද බලයි. ළමෝ අත් අල්ලන් ගුරු තරුව වටා නටයි.

මෑත කාලයේ ළමා චිත්‍රපට ස්වරූපයෙන් සිනමාහල් වෙත පැමිනි සෑම චිත්‍රපටක්ම පාහේ පදනම් වන්නේ ඉහත කතා ආකෘතිය තුළ ය. හෝ ගානා පොකුණේ සිට ගෝල්, පහ සමත්, හීන හොයන සමනල්ලු, ටවුමෙ ඉස්කෝලේ වැනි සියලු චිත්‍රපට අඩු වැඩි වශයෙන් මෙම ආකෘතිය තුළ සිරවූ ඒවා ය. මේ ආකෘතියේ නවතම අනුප්‍රාප්තිකයා “තාල” ය. ගණිත ගුරුවරයෙකු ලෙස දුශ්කර පාසලකට පැමිනෙන අසේල (හේමාල්) එම පාසැලේ දරු දැරියන්ගේ එකතු කර ගනිමින් නිර්මාණය කර ගන්නා සංගීත කාණ්ඩායමක් කොළඹ ජනප්‍රිය පාසැල් සමග තරඟ කොට ජයග්‍රහණය කිරීම “තාල” කතා සාරාංශයයි.

කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාන්තික දෘෂ්ටිය (gaze)

ඉහත කතා ආකෘතිය මත නිපැයුනු සෑම චිත්‍රපටියක්ම දිග හැරෙන්නේ කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාන්තික දෘෂ්ටියක් හරහා ය. මේ සෑම චිත්‍රපටයක් තුළින්ම විදහා දැක්වෙන ගම කර්කෂ ය, සාම්ප්‍රදායික ය, නොදියුණු ය, එහෙත් සුන්දර ය. එහි වෙසෙන ගැමියන් නූගත් ය, වැඩවසම් ය, ආවේගශීලී ය, මෝඩ ය. දරුවන් අසරණ ය, අශිෂ්ඨ ය, වල්මත් ය. කොළඹින් එන ගුරු නෝනා මහත්වරුන්ගෙන් පිහිටක් නොලදහොත් උන් සදා අනාත ය. කොළඹින් එන ගුරුතුමා / ගුරුතුමිය නූතනවාදී ය, සැම කෙරේ කාරුණික ය, උගත් ය, බුද්ධිමත් ය, අසරණ සරණ ය. චිත්‍රපට වලට අනුව ගැමි දරුවන්ගේ අවසාන සිහිනය කොළඹ ජය ගැනීම ය. ඒ හැර අන් සිහින නැත. කොළඹ ජය ගෙන යලි පැමිනි පසුවත් යන්නට වන්නේ පරණ පාසැලට ම ය. ළගින්නට වන්නේ පරණ ගුබ්බෑයමේ ම ය. පාසැල් කරා යන්නේ සුපුරුදු ලෙසම වැවේ පිහිනාගෙන ගොස් ය. දුප්පත්කම් ද, අසරණකම් ද එසේ ම ය. එහෙත් ගැටළුවක් නැත. මොක නැති වුනත් කොළඹ ජය ගෙන ඇත.

මෙම චිත්‍රපට හාස්‍ය උපදවන්නේ ද ගැමියා තුළිනි. ගැමියා ගේ මෝඩකම්, අසංස්කෘතිකකම්, දෛනික ජීවන අරගලයන්, කොළඹ මධ්‍යම පන්තියට සාපේක්ශව ලාභදායී සිහින, උපහාසයට ලක් කිරීම හරහා චිත්‍රපටය තුළ හාස්‍ය රසය ගොඩ නැංවීමට අධ්‍යක්ශකවරු, තිර පිටපත් රචකයෝ නොපැකිලෙති. ග්‍රාමීය ජන ජීවිතයේ දුශ්කරත්වය පිළිබිඹු කරන්නේ ද ස්වර්ණවාහිනියේ “ගමට අට” පන්නයේ කතාන්දර නැතහොත් ලංකාදීපයේ “දෙයියෝ සාක්කි” කොලමේ එන සිදුවීම් වැනි ඒවා ආශ්‍රයෙනි. ඒවායේ ඇත්තේ පාසැලට යෑම සදහා වැවක් හරහා පිහිනීමට සිදුවීම, කසිප්පු පෙරන පියා තම දරුවාගේ පාසැල් ගමනට වැට බැදීම වැනි නාගරික මධ්‍යම පන්තියට රසවත් නාට්‍යානුසාරී මතුපිට සිදුවීම් මිස ගැමියා මුහුණ දෙන සැබෑ ප්‍රශ්න නොවේ.

ළමා චිත්‍රපට සහ ළමයින් යොදා ගෙන කරන චිත්‍රපට

ළමා චිත්‍රපට නැමැති ශානරයට ඇතුලත් වන්නේ ළමයින්ගේ රසවින්දනය උදෙසා ම නිපදවන චිත්‍රපට ය. නමුත් ලංකාව තුළ ළමා චිත්‍රපට නැමැති වර්ගීකරනය යටතේ එන බහුතරයක්, ළමා චිත්‍රපට නොව ළමුන් යොදාගෙන කරන චිත්‍රපට ය. චිත්‍රපටයේ රංගනයේ යෙදන බහුතරයක් ළමුන් වූ පමනින් හෝ එය ළමුන් කණ්ඩායමකට සිදු වන සිදුවීම් මාලාවක් වටා ගෙතී තිබුනු පමනින් ඒවා ළමා චිත්‍රපට වන්නේ නැත. සෝමරත්න දිසානායකගේ සිට මෙම ළමා චිත්‍රපට අධ්‍යක්ශකවරුන් විසින් සිදු කළේ ආදායම් වාර්තා වැඩි කර ගැනීම සදහා වැඩිහිටි තේමාවක් ළමුන් කිහිපදෙනෙකු උපයෝගී කර ගනිමින් ළමා චිත්‍රපට ලෙස ඉදිරිපත් කිරීම පමනි. ලංකාවේ නිශ්පාදිත ළමා චිත්‍රපට වර්ගීකරනයෙහිලා සදහන් කළ හැකි චිත්‍රපට ඇත්තේ ටයිටස් තොටවත්තගේ “හඳයා” සහ ප්‍රියන්ත කොළඹගේ ගේ “අරුමෝසම් වැහි” වැනි අතලොස්සක් පමනි. (අරුමෝසම් වැහි වලින් පසු ප්‍රියන්ත කොළඹගේට සිදුවූ වින්නැහිය පිළිබද කණගාටුව!) ළමා චිත්‍රපටයක් තුළ වැඩිහිටි තේමාවන් සංවාදයට බදුන් කරන්නේ කෙසේද යන්න හැදෑරීමට අවශ්‍ය අයෙකු E.T., Up, Horton says who, Wall E, Zootopia වැනි චිත්‍රපට අධ්‍යනය කළ යුතු ය.

“තාල”ය බිඳ වැටීම

ඉහත දැක්වූ හම්පඩ ගහස ළද කතා ආකෘතිය ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කළ චිත්‍රපටයකි “හෝ ගාන පොකුණ”. කිසිදු සිනමාත්මක ස්වරූපයක් නොතිබුන (වේදිකා නාට්‍යයක් කැමරාවකින් පටිගත කළා වැනි) හෝ ගාන පොකුණ මෙම පට්ට ගැසූ ආකෘතික රාමුව ඒ අයුරින්ම ප්‍රක්ශේපනය කළේ ය. නමුත් “තාල” මෙම සියවස් ගණනක් පැරණි දුර්වලයා ජයගැනීමේ කතා ආකෘතිය ද (underdog story) පටලවා ගනියි. චිත්‍රපටයේ වීරයාට පැමිනෙන බාධකය තව තවත් ප්‍රභල කිරීම සදහා අධ්‍යක්ශකවරයා තෝරා ගන්නේ ඇමතිවරියකි. ඇමතිවරිය පාරක් තැනීමේ මුවාවෙන් නිධානයක් හැරීමට අර අදිද්දී ඊට බාධකය වන්නේ ගමේ පාසැල යි. එහෙයින් පාසැල කඩා දැමීමට ඇමතිවරිය සහ ගෝල බාලයෝ කුමන්ත්‍රණය කරයි. චිත්‍රපටයේ පලමු කොටස තුළ මෙම ඇමතිවරිය නිධානය ලබා ගැනීමට දරණ තැත, ඊට හවුල් වන ඔසුකුල ගුරුවරයා ඇතුලු ඇමති ගෝල බාලයන්, පාසැල පවත්වාගෙන යෑමේ අසීරුතාව, ගුරුවරුන්ගේ ඇති ඕලරික බව වැනි කතා තේමාවන් කිහිපයක් පැටලුම් සහගත සමාන්තර ජේදනයන් හරහා ඉදිරිපත් කරයි. එහෙත් චිත්‍රපටයේ දෙවන අර්ධය වන විට නිධානයත්, ඇමතිවරියත් බොරු සෙප්පඩ විජ්ජාවක් පමනක් බවට පත් වේ. මූලික කතාවේ ගලා යෑමට කිසිදු බලපෑමක් නොකරයි.

එකම ආකෘතියේ “හෝ ගාන පොකුණ”ත් සමග සංසන්දනාත්මකව බැලූ කළ “තාල” වඩා සිනමාත්මක ය. චින්තන සෝමකීර්තිගේ මානව හැගීම් වලින් හැඩගැසුනු කැමරාකරනය කලිත් වරක් පුළුල් තිරයක දකින්නට ලැබීම සතුටුදායක ය. වට්ටෝරු සිනමාවේ මෝඩ ජෝක් කොමඩි චරිත වෙනුවට “තාල” හි ධනුෂ්ක ඩයස්ගේ චරිතය (රොෂාන් සර්) මතු කරන ප්‍රහසනය ආශ්වාදජනක ය. ප්‍රියන්ත සිරිකුමාර විශිෂ්ඨ ය. කෞෂල්‍යා, මනෝරත්න ඊට නොදෙවෙනි ය. මේ නිර්මාණය පසු පස සිටින්නේ සිනමාව නොදන්නා උන් නොවේ. කණගාටුව ඇත්තේ වැඩේ හොඳින්ම දන්නා උන් අතින් මෙවන් නිර්මාණ බිහිවීම ය.

– කසුන් චන්ද්‍රනාත් –

Share

18 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.