කෝල් කරන ඩ්‍රීම් ගර්ල් නැවතත්! Dream Girl 02 හි ප්‍රධාන චරිතයට යළිත් අයුෂ්මාන් කුරානා

Avatar Kavinu Weerakkody | March 22, 2023 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

බොලිවුඩයේ එකම රාමුවකට කොටු නොවූ තරුණ රංගන ශිල්පීන් අතර Ayushmann Khurrana ප්‍රමුඛ පෙලේ නළුවෙක්. සිය පළමු සිනමාපටය වූ Vicky Donor (2006) හි සිට මේ දක්වාම එම විවිධත්වය රැකගැනීමට ඔහුට හැකිවුනා. මේ නිසාම, සිය රංගන ජීවිතය ආරම්භයේ සිටම තමන්ට අනන්‍ය වූ රසිකයින් පිරිසක් ගොඩ නඟා ගන්නට අයුෂ්මාන් සමත් වුනා. මේ වනවිට Ayushmann Khurrana වටා සිටින රසිකයින් සංඛ්‍යාව විශාල පිරිසක් වන නිසාම, පසුගිය කාල සීමාවේදී ඔහුගේ සිනමාපට දිගින් දිගටම කෝටි 100 ආදායම් සීමාව පසු කළේ ඒ බව මනාව සනාථ කරමින්…

2019 වසරේ ඔහු සහ Nushrratt Bharuccha ප්‍රධාන රංගනයෙන් එක් වුනු Dream Girl නැමැති හින්දි සිනමාපටය මෙරට රසිකයින් අතරෙ හි පවා ජනප්‍රියත්වයට පත් වුනා. Dream Girl යනු අයුෂ්මාන්ගේ සාර්ථකම රංගනයක් බව පැවසූ විචාරකයින්, සමකාලීන නළු නිළියන් බොහෝමයක් රඟපෑමට පවා අදිමදි කරන චරිත ඔහු පහසුවෙන්ම නිරූපණය කරන බවටත් ප්‍රශංසා කළා. එමෙන්ම ඉන්දීය කෝටි 28ක නිෂ්පාදන පිරිවැයකට එරෙහිව, ඉන්දීය කෝටි 200කට අධික Blockbuster ආදායමක් ලබා ගන්නටත් එය සමත් වුනා.

Dream Girl චිත්‍රපටය ලබා ගත් සාර්ථකත්වය නිසා එහි දෙවන දිගහැරුමක් නිර්මාණය වන බවට කාලයක පටන්ම විස්තර පළ වුනත්, එහි වැඩ කටයුතු ඇරඹෙන බවක් නම් පෙනෙන්නට තිබුනේ නැහැ. චිත්‍රපටයේ නිෂ්පාදිකාව වන Ekta Kapoorගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසූ අවස්ථා කිහිපයකදීම, ඇගෙන් ලැබුනේ එතරම් සුබවාදී ප්‍රතිචාරයක් නොවෙයි.

දෙවන කොටසකට එකඟතාවයක් ලැබුණත් එහි රූපගත කිරීම් මදක් ප්‍රමාද කළ බවකුයි 2020-2021 කාල සීමාවේදී විවිධ වෙබ්අඩවි හරහා හින්දි සිනමා රසිකයින්ට දැනගන්නට ලැබුනේ. නමුත් දැන්, Dream Girl 02 සිනමාපටයෙහි රූපගත කිරීම් ගැන නිශ්චිත තොරතුරක් මාධ්‍යයට අණාවරණය වී තිබෙනවා. පසුගියදා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විසින්ම පැවසූ පරිදි, මේ වනවිටත් Dream Girl 02 හි රූගත කිරීම්වලින් 90%ක පමණ ප්‍රමාණයක් අවසන් කර තිබෙනවා.
ඒ අනුව පළමු චිත්‍රපටයෙන් වසර 04කට පසුව Dream Girl හි නවතම දිගහැරුමක් නැරඹීමට රසිකයින්ට අවස්ථාව ලැබේවි.

මේ වනවිට චිත්‍රපටයේ Promo Clips කිහිපයකුත් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.

පසුගිය මාස කිහිපයේදී එකදිගට රූගතකිරීම් සිදු කළ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය සුපුරුදු පරිදිම Ayushmann Khurrana විසින් නිරූපණය කරනු ලබනවා. ඔහු මෙහි දෙවැනි පියවරේ ප්‍රධාන නළුවා ලෙස නිෂ්පාදකයින් විසින් තෝරාගත් නිසාම, ඔහුගේ කාර්යබහුල තත්වය අඩුවන තුරු මෙතරම් කාලයක් නිෂ්පාදන කටයුතු ප්‍රමාද කළ බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත් පසුගිය වසර මුල භාගයේදී මෙහි Pre productions සහ script writing ඇරඹි තිබුනා.
නමුත් මාස හයක පමණ කාලයක් තිර පිටපත වෙනස් කරමින්- ඒ ගැන විවිධ සාකච්ඡා පැවැත්වූ පසුවයි Ayushmann හා නිෂ්පාදිකා Ekta මෙම දෙවන චිත්‍රපටයට කැමැත්ත පලකොට තිබෙන්නේ.

පළමු චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය Nushrratt Bharucchaට හිමිව තිබුනු නමුත් ඇයට වඩා ජනප්‍රිය – බොලිවුඩයේ දෙවන පෙළ නිළියක මෙම චිත්‍රපටයට එක් කර ගැනීමට නිෂ්පාදකයින් තීරණය කොට තිබෙනවා.
කෙසේ වුවත්, විශ්වාසන්ත මූලාශ්‍ර පවසන පරිදි මෙහි Leading Ladyගේ චරිතය නිරූපණය සඳහා නිෂ්පාදකයින් විසින් තෝරාගෙන තිබෙන්නේ හින්දි නිළි Ananya Pandeyවයි. එසේම ඇය රඟන දර්ශන සියල්ලම පාහේ මේ වනවිටත් රූගත කොට අවසානයි.

පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Raaj Shaandilyaa විසින් දෙවන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කරන අතර පළමු චිත්‍රපටයේ තිර පිටපත රචනා කළ Nirmaan D Singh නැවතත් මෙහි කතාව – දෙබස් – තිර රචනයට සම්බන්ධව තිබෙනවා. පළමු චිත්‍රපටය Nirmaan D Singh තනිව ලියූ නිර්මාණයක් වුවත්, මෙම දෙවන චිත්‍රපටයේ ඇතැම් සිද්ධීන් නිර්මාණය සඳහා අධ්‍යක්ෂක Raaj Shaandilyaaත් එකතු වී තිබෙනවා.

’90 දශකයේ හින්දි නිළියක වන Seema Pahwa ද, දක්ෂ චරිතාංගන නළුවකු වන Paresh Rawal ද මෙම සිනමාපටයෙන් දැකගත හැකියි. Ayushmann සහ Seema එකම සිනමාපටයක රඟන සිව්වන අවස්ථාව මෙය වන අතර මින් පෙර Dum Laga Ke Haisha | Bareily Ki Barfi | Bala යන නිර්මාණවලත් ඔවුන් දෙදෙනාව එකට දැකගත හැකි වුනා. බොහෝදුරට Paresh සහ Seema නිරූපණය කරන්නේ ආයුෂ්මාන්ගේ දෙමාපියන්ගේ චරිත ද්විත්වය විය හැකියි.

නමුත් අධ්‍යක්ෂක Raaj Shaandilyaa පැවසූ ආකාරයට, මෙම දෙවන දිගහැරුම මුල් චිත්‍රපටයේ දිගුවක් නොවෙයි. දෙවන සහ පළමු චිත්‍රපට අතර එතරම් සම්බන්ධතාවයක් දක්නට ලැබෙන්නේත් නැහැ. මුල් චිත්‍රපටයේ සිටි චරිත කිහිපයක් මෙම නව නිර්මාණයට සම්බන්ධ කරගැනීම පමණයි අධ්‍යක්ෂකවරයා විසින් සිදු කොට තිබෙන්නේ. ඒ හැරුනුකොට, සිනමාපටයේ කතා තේමාව එකිනෙකට සබැඳියාවක් දක්වන්නේ නැහැ.
එමෙන්ම මෙම චරිත ආශ්‍රයෙන් ඉදිරියේදී හාස්‍යමය සිනමා විශ්වයක් (Cinematic Universe) ගොඩ නඟන්නට තමන් බලාපොරොත්තු වන බවත් Raaj Shaandilyaa එහිදී ඉඟි කළා.

Dream Girl 02 යනු හින්දි නලු අයුෂ්මාන් කුරානා සහ අනන්‍යා පාණ්ඩේ එකම සිනමාපටයකින් දැක ගන්නට ලැබෙන පළමු අවස්ථාවයි. මුම්බායි සහ අග්‍රා නගර ආශ්‍රිතව රූපගත කළ මෙම සිනමාපටය මෙම වසරේ මැද භාගයේදී (2023 ජූලි 07 වනදා) ලෝ පුරා සිනමාහල් වලට මුදා හැරීමට නියමිතයි.

Share

69 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.