ගජමෑන් – දෙරණ LUX සිනමා සම්මාන 2024
09වන දෙරණ සිනමා උළෙලෙ හි අවසන් වටය නියෝජනය කරන චිත්‍රපට අතුරින් ප්‍රධාන තැනක් ගන්නා නිර්මාණයක් ලෙසට ගජමෑන් හඳුන්වා දෙන්නට පුලුවන්. ගජමෑන් චිත්‍රපටයට මෙරට තරුණ සිනමා රසිකයින්ගෙන් ලැබුනු ජනාදරය සහ රසික ආකර්ෂණය මෑතක තිරගත වූ වෙනත් කිසිදු සිනමාපටයකට ලැබුනේ නැහැ.
ඒ නිසාම, දෙරණ LUX සිනමා උළෙල ගැන උනන්දුවෙන් සිටින තරුණ රසික ප්‍රජාව පවා බොහොම නොඉවසිල්ලෙන් තොරතුරු සොයන චිත්‍රපටයක් ලෙසට මෙය හඳුන්වා දිය හැකියි.
ලංකාවේ පැරණිතම පුවත්පත් චිත්‍රකතාවක් වන, කැමිලස් පෙරේරා මහතාගේ ‘ගජමෑන්’ කාටූනය ඇසුරෙන් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය, මෙරට සිනමා ඉතිහාසයේ බිහිවූ පළමු 3D Animation දිගු වෘතාන්ත සිනමාපටය ද වනවා.
එමෙන්ම Avatar, The Adventures of TinTin වැනි ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටවල භාවිතා කළ නවීනතම Motion Capture තාක්ෂණය ලාංකීය නිර්මාණයකට උපයෝගී කරගත් පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
මුල සිට අවසානය දක්වාම නරඹන්නන්ව හාස්‍යයෙන් ඇඳ බැඳ තබා ගන්නා විනෝදකාමී දර්ශන රැසක් ඇතුළත් මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ චානක පෙරේරා විසිනුයි. ඔහු සහ ඔහුගේ Studio 101 සජීවීකරණ කණ්ඩායමේ මූලිකත්වයෙන් මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුනේ 2010 වසරේදී යි. 2010 අගෝස්තු මාසයේදී චිත්‍රපටයේ මූලික වැඩ කටයුතු ආරම්භ කරන ඔවුන් ඉන්පසුව Motion Capture තාක්ෂණය භාවිතයෙන් මෙහි රූගත කිරීම් සිදු කොට තිබෙනවා.
Motion Capture තාක්ෂණයෙන් සිදු වූ මෙහි දර්ශන සඳහා ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වන්නේ පහත පිරිසයි.
ගජමෑන් – දසුන් පතිරණ
මගෝඩිස්තුමා – ටිරාන් අබේවර්ධන
ඇම්ඩා – චාමර ප්‍රියදර්ශන
ස්වීටි – නිපුනි ශාරදා
පද්මාවතී – කසුනි කාවින්දි
ටික්කා – ප්‍රදීප් රාමවික්‍රම
මෙම 3D Animation සිනමාපටය දිවෙන්නේ “ගජමෑන්” යනුවෙන් හැඳින්වෙන එක්තරා තරුණයෙකු වටායි. ඔහු සහ ඔහුගේ ගම්මානයේ ජීවත් වන තවත් පුද්ගලයන් අතර සිදුවන සිද්ධි දාමයක් වටා චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. මගෝඩිස්තුමා නැමැති ප්‍රාදේශීය දේශපාලකයා සමීපයේ සිටින ගජමෑන්, මගෝඩිස්තුමාගේ ඡන්ද කටයුතුවලට සහාය දෙමින් ඔහුගේ සහායකයෙකු ලෙස සේවය කරනවා.
ගජමෑන්ගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වන්නට ගන්නේ මගෝඩිස්තුමාගේ දියණිය වන පද්මාවතී විදේශ රටක සිට නැවත ගම්මානයට පැමිණීමත් සමඟයි. ගජමෑන්ගේ සිතෙ හි ඇය ගැන ආදරයක් හට ගන්නා අතර විවිධ උපක්‍රම යොදා ගනිමින් ඇගේ සිත දිනා ගැනීමටයි ඔහු උත්සාහ දරන්නේ.
ගජමෑන්ගේ මෙම උත්සාහයට ඔහුගේ මිතුරන් දෙදෙනා වන ඇම්ඩා සහ ලපයාගේ සහායත් ලැබෙනවා. ගජමෑන් සිනමාපටය ගෙතෙන්නේ ඔවුන් එක්ව පද්මාවතීගේ සිත දිනා ගැනීමට උත්සාහ කරන ආකාරයත්, ඒ අතරතුරදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන නොසිතූ කරදරවලින් බේරෙන ආකාරයත් පාදක කොටගෙනයි.
සිනමාපටයෙ හි චරිත සඳහා හඬ මුසු කරන්නට එක්ව තිබෙන්නේ දැනට ලංකාවේ සිටින ජනප්‍රියම සහ ප්‍රවීණතම හඬ නලුවන් පිරිසකුයි. පොඩි මල්ලි – චූටි මල්ලි යුගලයේ මූලිකත්වයෙන් සිදුව තිබෙන මෙහි හඬ පරිපාලන කටයුතුවලට ජනප්‍රිය හාස්‍ය ශිල්පීන්, නලු නිළියන්, රේඩියෝ නිවේදකයින් ගණනාවක්ම එක්ව තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘ගජමෑන්’ සඳහා හඬ මුසු කරන්නේ ගාමින්ද ප්‍රිත්විරාජ් විසිනුයි. සුනෙත් චිත්‍රානන්දගේ හඬින් ‘ඇම්ඩා’ගේ චරිතය රසවත් වී තිබෙනවා. රශිප්‍රබෝදා ‘පද්මාවතී’ චරිතයටත්, අනුරාධ සිගේරා ‘කට්ටඬි ගුරා’ චරිතයටත්, යුරේනි නොෂිකා ‘ස්වීටි’ චරිතයටත් එක්ව තිබෙනවා.
‘මගෝඩිස්තුමා’ වෙනුවෙන් හඬ මුසු කොට තිබෙන්නේ මෙරට සිටි ජනප්‍රියම සංගීතවේදියෙකු වන සුනිල් පෙරේරා විසිනුයි. රංගන ශිල්පිනී දමිතා අබේරත්න හඬ කවන්නේ මගෝඩිස්තුමාගේ බිරිඳගේ භූමිකාවටයි.
ඊට අමතරව Gehan Block, Dino Corera, දිලාන් සේනානායක සමඟින් රේඩියෝ නිවේදකයින් දෙපළක් වන DJ Ara – Pasbara වැනි ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුම මෙම චිත්‍රපටයේ සෙසු චරිත හඬ කවන්නට සම්බන්ධ වී තිබෙනවා.
ගජමෑන් තිර පිටපත රචනය සිදු කොට තිබෙන්නේ ද මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට හඬ මුසු කරන ගාමින්ද ප්‍රිත්විරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද (පොඩි මල්ලියි චූටි මල්ලියි) දෙදෙනාගේ එකතුවෙනුයි. චාමික ජිනදාස චිත්‍රපටයේ නිෂ්පාදකවරයායි. ගජමෑන් හි සංගීත අධ්‍යක්ෂණය අනුෂ්ක උදාන ලියනගේ (Wasthi) විසිනි.
ගජමෑන් චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.
මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!
එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…
මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
09වන දෙරණ LUX සිනමා උළෙලෙ හි ජයග්‍රාහී සිනමාපටවලට සම්මාන ලබා දෙන අති – උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය එළඹෙන නොවැම්බර් 10 වනදා TV දෙරණ ඔස්සේ නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody