ගලගෙදරගේ බයිස්කෝප් කතා: යුගයෙන් යුගයට (1987)
පැරණි සිංහල සිනමාව සහ ලාංකීය චිත්‍රපට පිළිබඳ රසවත් කතාබහ සිදු කෙරෙන ගලගෙදරගේ බයිස්කෝප් කතා විශේෂාංගය මෙවර වෙන් වන්නේ ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ, 1987 වසරේ තිරගත කළ “යුගයෙන් යුගයට” චිත්‍රපටය වෙනුවෙනුයි.
තිරගත කළ දිනය – 1987.01.23
668වන වන සිනමාපටය
ප්‍රධාන චරිත – විජය කුමාරතුංග, නදීකා ගුණසේකර
අධ්‍යක්ෂණය – ලෙනින් මොරායස්
නිෂ්පාදනය – පද්මසිරි කොඩිකාර
’70 ’80 සමයේ ප්‍රසිද්ධ කැමරා ශිල්පියෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වූ ලෙනින් මොරායස් මෙරට සිනමාවට දැවැන්ත වාණිජ චිත්‍රපට රාශියක් නිර්මාණය කළා. සූරයන්ගෙත් සූරයා, සූරයා සූරයාමයි, එදත් සූරයා අදත් සූරයා, ආවා සොයා ආදරේ, හිතමිතුරා වැනි චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අති – සාර්ථක වූ නිර්මාණ කිහිපයක්… මේ සෑම චිත්‍රපටයකම පාහේ ප්‍රධාන චරිතය සඳහා ගාමිණී ෆොන්සේකා මහතාව යොදා ගෙන තිබූ අතර ඒවා ගාමිණි ෆොන්සේකාගේ සිනමා ජීවිතයේ ද සුවිශේෂි සංදිස්ථාන බවට බොහෝ විචාරකයින් පවසනවා.
එවැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ලෙනින් මොරායස්ගේ අවසාන නිර්මාණය ලෙස සැලකෙන්නේ 1987 වසරේ තිරගත වූ, මෙම යුගයෙන් යුගයට සිනමාපටයයි. ලෙනින් මොරායස් ’70 දශකය මුල සිට දිගින් දිගටම චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නමුත්, යුගයෙන් යුගයට නිර්මාණයට පිවිසෙන්නේ විශාල කාල පරාසයකට පසුවයි. ඔහුගේ මෙම යුගයෙන් යුගයට තිරගත වූයේ 1978දී හිත මිතුරා අධ්‍යක්ෂණයෙන් වසර 09කට පසුවයි.
නමුත් ඔහුගේ සුපුරුදු රංගන ශිල්පියා වූ ගාමිණි ෆොන්සේකා මහතා මීට සම්බන්ධ නොවූ අතර මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ එකල සිනමාවේ ජනප්‍රියම ප්‍රේමවන්තයා වූ විජය කුමාරතුංගයි. ප්‍රධාන කාන්තා චරිතයට නදීකා ගුණසේකර රංගන දායකත්වය ලබා දෙනවා.
ඔවුන්ට අමතරව ටෙඩී විද්‍යාලංකාර, ජයසේකර අපොන්සු, සොමී රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, ශිරානි නුගේරා, ස්වර්ණා මල්ලවාරච්චි, හර්බට් අමරවික්‍රම, උදය කුමාරි රණසිංහ සහ මියුරි සමරසිංහ වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහෝ දෙනෙකු “යුගයෙන් යුගයට” සිනමාපටයෙන් දැකගත හැකියි.
මෙය තිරගත කර බොහෝ කාලයක් යනතුරුත්, චිත්‍රපටයේ ගීතවල ජනප්‍රියත්වයේ නම් අඩුවක් නොවූ බව අන්තර්ජාලයේ සඳහන් වනවා. විජය කුමාරතුංග – එච්. ආර්. ජෝතිපාල සුසංයෝගයෙන් නිර්මාණය වූ පෙර ගීත වගේම “යුගයෙන් යුගයට” ගීත ඇල්බමයත් රසිකයින්ගේ විශාල ආකර්ෂණයකට ලක් වී තිබෙනවා.
ආදායම් අතින් අතිශය සාර්ථකත්වයට පත් වුණු චිත්‍රපට බොහෝමයක අධ්‍යක්ෂකවරයා වුණත් ලෙනින් මොරායස්ගේ අවසාන කාලය වනවිට ඔහු බොහොම අසරණබාවයට පත් වී තිබෙනවා. ඒ කාලය තුළදී මොරායස්ට උපකාර කර තිබෙන්නේ ඔහුගේ මිතුරෙකු වූ චිත්‍රපට නිෂ්පාදක පද්මසිරි කොඩිකාර විසිනුයි. ලෙනින් මොරායස්ගේ තත්වය දුටු පද්මසිරි කොඩිකාර විසින් යුගයෙන් යුගයට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට ඔහුට ආරාධනා කර තිබෙනවා. පද්මසිරි කොඩිකාරගේ මුල්‍යමය දායකත්වය මත මොරායස් විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය ඇරඹුවත්, නිෂ්පාදකවරයා වශයෙන් විශාල ගැටලුවකට මුහුණ දෙන්නට ඔහුට සිදුව තිබෙනවා.
ඒ මොරායස් දැඩි ලෙස අසනීප වීමත් සමඟයි. මොරායස්ගේගේ අසනීප තත්වය නිසා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු වසර ගණනාවක් තිස්සේ නතර වී තිබෙනවා. ඒ හේතුව නිසාම, 1978 වසරේදී රූපගත කිරීම් ඇරඹි යුගයෙන් යුගයට සිනමාපටයේ සිනමාශාලා ප්‍රදර්ශනය සිදු කර තිබෙන්නේ ඉන් වසර 09කට පසු 1987 වර්ෂයේදී යි. මේ ආකාරයට දිගු කලක් තිස්සේ මෙහි නිෂ්පාදන කටයුතු ඇණ හිටීම නිසා පද්මසිරි කොඩිකාරට විශාල මූල්‍යමය පාඩුවක් සිදු වූයේලු.
මෙවර බයිස්කෝප් කතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේ “යුගයෙන් යුගයට” සිනමාපටය නිසා පද්මසිරි කොඩිකාර නිෂ්පාදකවරයාට මතුවූ ගැටලු ගැන කිසිවෙකුත් නොදන්නා කතාවකුයි.
සිනමාපටය – යුගයෙන් යුගයට ( 1987 . 01 . 23 )
අධ්‍යක්ෂණය – ලෙනින් මොරායස්
කතාව සහ තිර රචනය – ලෙනින් මොරායස්, පද්මසිරි කොඩිකාර
දෙබස් – ආරියරත්න කහවිට
නිෂ්පාදනය – පද්මසිරි කොඩිකාර
කැමරාකරණය – ලෙනින් මොරායස්
සංස්කරණය – සෙක්ටස් අපොන්සු
වේෂ නිරූපණය – ඩී ඩී ඇන්තනි
ශබ්ද පරිපාලනය – එස්. සාරන්ග රාජා
නිෂ්පාදන සැලසුම්කරණය – ධර්මකිර්ති සිසිර කුමාර
ගීත රචනය – ආනන්ද පද්මසිරි, කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොල
රංගන දායකත්වය :
විජය කුමාරතුංග, නදීකා ගුණසේකර, ටෙඩී විද්‍යාලංකාර, හර්බට් අමරවික්‍රම, ජයසේකර අපොන්සු, සොමී රත්නායක, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, ටයිරන් මයිකල්, ස්වර්ණා මල්ලවාරච්චි, මියුරි සමරසිංහ, ශිරානි නුගේරා, තලතා ගුණසේකර, ශාන්ති ලේඛා, බර්ටි මහින්ද, උදය කුමාරි රණසිංහ, ප්‍රියන්ති ඩි සේරම්, රන්ජිත් සුරංග, පර්ල් වාසුදේවි
Written by Kavinu Weerakkody