ගාඩි (Children of Sun) – දෙරණ Lux සිනමා සම්මාන 2024
දෙරණ මාධ්‍ය ජාලයේ මූලිකත්වයෙන් පැවැත්වෙන දෙරණ Lux සිනමා උළෙල මේ වසරේදී 09වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
සෑම වසරකම ලාංකීය සිනමාවේ විශිෂ්ටතම නිර්මාණ අගයමින්, ඒවාට සම්මාන ප්‍රදානය මෙහිදී සිදුවන අතර, මෙවර ඒ සඳහා තෝරා ගනු ලබන්නේ 2023 වසර තුළ තිරගත වුනු ලාංකීය චිත්‍රපට යි. මෙවර උළෙල සඳහා 2023 වසරේදී තිරගත වුනු සිංහල සහ දෙමළ භාෂිත ලාංකීය චිත්‍රපට 33ක් සැලකිල්ලට ගත් අතර විද්වත් ජූරි මණ්ඩලයක් විසින් ඒවා අතුරින් විශිෂ්ටතම නිර්මාණ තේරීම සිදු කරනු ලබනවා.
මෙම අවසන් ජයග්‍රාහකයින්ව දැනුම් දෙන්නේ සහ ඔවුන්ට සම්මාන පිරිනැමෙන්නේ එළඹෙන නොවැම්බර් මාසයේදී අති – උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන “09වන දෙරණ Lux සිනමා සම්මාන රාත්‍රියේ” දීයි.
ඊට සමගාමීව සිංහල සිනමාවට වසර 77ක් සපිරනු වස්, විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාවක් සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ විකාශය වනවා.
ඊට අමතරව, මෙතැන් සිට Derana Lux Film Awards සඳහා නිර්දේශ වුනු එම ලාංකීය චිත්‍රපට ගැන ලිපි පෙළක් ගෙන ඒමට ද Cinema lk අපි, සූදානමින් සිටිනවා!! මෙතුළින් සිනමා උළෙලට තෝරාගත් සිනමාපට පිළිබඳව ඔබට මනා අවබෝධයක් ලබා ගත හැකි වනු ඇති…
ගාඩි (Gaadi: Children of the Sun)
සජිත අනුත්තර සමඟින් ඩිනාරා පුංචිහේවා ප්‍රධාන චරිත රඟපෑ ගාඩි චිත්‍රපටය, මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි සම්මාන රැසක් සඳහා තරඟ වදිනවා.
මෙරට අවසාන රාජධානිය වූ උඩරට රාජධානියේ අවසාන දවස් කිහිපය වටා දිවෙන මෙය අධ්‍යක්ෂණය කළේ ප්‍රසන්න විතානගේ විසිනුයි. අනන්ත රාත්‍රිය | ආකාස කුසුම් | පැරඩයිස් වැනි සිනමාපට රැසක් නිර්මාණය කර තිබෙන ඔහු අන්තර්ජාතිකව ද සම්මාන රැසක් දිනාගත් නිර්මාණකරුවෙක්.
ඔහුගේ මෙම ගාඩි සිනමාපටයත් ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුනා. 18වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් දිනාගත් මෙය 03වන චෙන්නායි සිනමා උළෙලේදීත් සම්මානයෙන් පිදුම් ලැබුවා.
ගාඩි සිනමාපටයට තේමා වන්නේ උඩරට කුලවත් පෙළපතකින් රොඩී රැහැකට පාවා දෙන ටිකිරි නැමැති තරුණියකගේ කතාවයි. රාජද්‍රෝහී චෝදනාව මත ඇගේ පවුලේ සියලු දෙනාවම මරා දමන නමුත්, අවසන් මොහොතේදී මරණය ප්‍රතික්ෂේප කරන ඇය රොඩී තරුණයෙකු හා එක්වෙමින් උඩරට රාජධානියෙන් නෙරපා හරිනවා.
එලෙස ඇයව සහේට ගන්නේ විජයා නැමැති රොඩී තරුණයායි. විජයාට එක්වීමත් සමඟ කෙමෙන් කෙමෙන් රොඩී සනුහරය සමඟ මුහුවන ආකාරයත්, ටිකිරි සහ විජයා අතර දලුලන සම්බන්ධයේ කතාවත්, ගාඩි සිනමාපටය තුළින් ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකියි.
සජිත අනුත්තර – ශ්‍යාම් ප්‍රනාන්දු – ඩිනාරා පුංචිහේවා – රවීන්ද්‍ර රණ්දෙනිය – අයිරාංගනී සේරසිංහ – ජයබාලන් – දමයන්ති ෆොන්සේකා ඇතුලු නලු නිලියන් පිරිසක් මෙහි රංගනයෙන් එක්වනවා. ගාඩි චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ද ප්‍රසන්න විතානගේ විසිනුයි. ප්‍රවීණ මලයාලම් සිනමාකරුවෙකු වන රාජිව් රවී මෙහි කැමරාකරණය හසුරුවනවා.
චිත්‍රපටයේ සංගීතය ඉන්දියානු ජාතික ක්‍රිෂ්ණ කුමාර් විසිනි. ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ස්‍රීකර් ප්‍රසාද් ගාඩි චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියායි. තාප්ස් නායක් මෙහි ශබ්ද සැලසුම්කරණයටත්, ධම්මික හේවාදුත්ත කලා අධ්‍යක්ෂණයටත් සම්බන්ධ වුනා.
එළඹෙන නොවැම්බර් මාසයේදී අති – උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන 09වන දෙරණ Lux සිනමා රාත්‍රියේදී මෙම සිනමා නිර්මාණ ජයග්‍රහණය කළ සම්මාන පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිතයි.
Written by Kavinu Weerakkody