Sri Lanka's Best Cinema Portal

 

ගැහැනියකට හීනයක් දකින්නට තබා හීනයක් තිබිය හැකි බවවත් බොහෝ පිරිමින් විශ්වාස කරන්නේ නෑ – lipstick under my burkha සිනමාපටය පිලිබඳ විමසුමක් – By Kumari Kumaragamage (Writer/Social activist)

0
Posted February 2, 2018 by Nisanka Weheraduwa in Articles
Untitled-2

‘ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා’ ඉන්දියාවේ ගැහැනු චිත්‍රපට අධ්‍යක්‍ෂකවරියක් විසින් කරන ලද නිර්භීත ගෑනු ප්‍රකාශනයකි. ඉන්දියාවේ කුඩා නගරයක බරපතලවම පුරුෂ මූලික වූ සමාජයක වෙසෙනා ගැහැනුන් කිහිපදෙනෙකුගේ බුර්කාවනට ඇතුලතින් ඇති ජීවිතයනට කැමරාවක් ඇල්ලීමකි එය. මේ නිසාම ඉන්දියාවේ කපන මණ්ඩලය චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර දීම ප්‍රතික්ෂේප කළේය. කපන මණ්ඩලයද පිරිමි එකකි. ඔවුන් ප්‍රකාශ කලේ මෙය ‘ගැහැනු මූලික වූ’ (women oriented) චිත්‍රපටයක් බවයි.

බුර්කාව සනිටුහන් කරන්නේ සමාජයක් විසින් ගැහැනියව වසා, සිරකොට, පාලනය කර තැබෙන  ආගමික, සංස්කෘතික හා  දේශපාලනික නීති පද්ධතියයි. අපගේ වන් සමාජයන් තුල සෑම ගැහැනියකටම ජීවත්වන්නට සිදුවන්නේ විවිධ වූ බුර්කාවන්ගෙන් වැසීගෙනය. ගැහැනිය පවා බොහෝ විට සැබෑ තමාව කිසිදින හඳුනාගන්නේ නැත. පෙනෙන්නට ඇති සැබෑ බුර්කාවන්ට අමතරව ඇති  මෙම බුර්කාවන් කිසිවෙකුගේ පියවි ඇසට පෙනෙන්නේ නැති බැවින් තමා සිරගතව සිටිනා බව බොහෝ ගැහැනුන් දන්නේද නැත. බොහෝවිට සිරගත කොට ඇත්තේ ආශාවන් හා  සිහිනයන්ය… දැන දැනද තම යදම්වලට ප්‍රේම කරනා වහලුන් සේ තම සිරගෙයටම ඇලුම් කරමින් තම සැබෑවට කිසිදිනෙක ජීවත්වීමට ඉඩක් ලබා නොදෙන  ගැහැණුන්ගෙන් අප සමාජයන් පිරී පවතී. එය යුක්තිසහගත කෙරෙන්නේ ‘දෛවය’ ලෙසිනි.  මේ චිත්‍රපටය ඇදෙන්නේ හදිසියේ කඩාවැදෙන අහම්බයන් නිසා තම සිරගෙවල් විවුර්ත වීමෙන්  ‘දෛවය’ට එරෙහි සටනකට එළඹීමට ආරාධනා ලැබෙන ගැහැනුන් හතර දෙනෙකු හරහාය.

මේ ප්‍රධාන භූමිකාවන් හතර වන්නේ ;

  1. යෞවනත්වයේ එළිපත්තේ සිටිමින් නිදහසේ හා පාලනයේ අන්ත දෙකට මැදිව විශ්මිත අරගලයක යෙදෙනා විශ්වවිද්‍යාල සිසුවියකවන, තරුණ ජවයෙන් පිරි රෙහානා
  2. ජීවත් වීමට වෙනත් කිසිදු මාර්ගයක් නොමැති බැවින් චිත්‍ර පාසැලක නිරුවත් මොඩලයක් ලෙස පෙනී සිටිනා තම වැන්දඹු මව විසින් තමාට විවාහ වීමට යෝජනා කරන ලද ධනවත් පිරිමියාත් වෙනත් ආගමකට ජාතියකට අයත් බැවින් කිසිදිනෙක තමාට අයිති කරගත නොහැකි පෙම්වතාත් අතර අනාගතය පිළිබඳ අරගලයක පැටලුන යොවුන් මදයෙන් ඔකඳ වූ ලීලා
  3. විවාහ වී දරුවන් තිදෙනෙකු ලදද කිසිදිනෙක තම සැමියාගෙන් ආදරයක් නොලත්, සැමියාට අවශ්‍ය වන හැමවිටෙක දෙපා විවෘත කිරීමට සූදානම්ව සිටිය යුතු බිරිඳක් ලෙස වුවද හැම දිනයකම තම අහිමි වූ ආදරය ගැන නැවුම් බලාපොරොත්තුවක් සමග ජීවිතය පටන්ගන්නට අරගලයක යෙදෙන ශ්‍රීන්

හා

  1. මැදි වයස් වැන්දඹුවක්ව තමනට උරුමවූ දේපළ ආරක්ෂා කොට ගෙන එය තම ආදායම් මාර්ගය කරගනිමින්, සියල්ලනට සේවයන් සපයමින්, බාල මහළු සැමට ආදර්ශමත් වැඩිහිටියා වෙමින් තමන්ගේ නම පවා අමතක කර ගත් නමුත් තම අහිමිවූ යෞවනයේ ආශාවන් රහසේ කියවන ලාබ ශෘංගාරාත්මක ප්‍රේම කතා හරහා තෘප්තිමත්කරගන්නට උත්සාහ කරනා 55 හැවිරිදි ඌශා ය.

එක අතකින් මේ ගැහැනුන් හතර දෙනා ගැහැණියකගේ ජිවිතයේ විවිධ කාලයන් නියෝජනය කරනා බවක්දපෙනේ. මේ චිත්‍රපටයේ නම් ඒ, පියාගේ ආධිපත්‍යයට යටත්ව සිටිය යුතු කාලය, පෙම්වතාට යටත්ව සිටිය යුතු කාලය, ස්වාමි පුරුෂයාට යටත්ව සිටිය යුතු කාලය හා තම කුසින් උපන් පුතුන් නැතිනම් තම නෑදෑ පුතුනට හෝ යටත්ව සිටිය යුතු කාලය වශයෙනි.  මේ ගැහැනුන් හතර දෙනාම ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේ නිදහස්, සාරවත්, ස්වාධින, ආධිපත්‍යයක් සහිත, සතුටින් වෙසෙනා ගැහැනුන් ලෙසය.  එහෙත් සැබෑ තත්ත්වය සහමුලින්ම වෙනස් වූවකි. සිපිරි ගෙවල් තුල සිටිමින්ම රහසින් තම ආශාවන් ඉෂ්ඨ කර ගැනීමට උත්සාහ කලද යම් මොහොතක ඒවා එළිවිය යුතුම බව සත්‍යයකි. තමන් යටකොට ගෙන සිටිනා ආධිපත්‍යයට හානියක් නොවන අයුරින් තම හීන දකින්නට උන් විවිධ උපක‍්‍රම යොදයි. කිසිවෙකුගේ සිත රිදවීමට උන් කිසිවෙකු උත්සාහ කරන්නේවත් කිසිවෙකුට එරෙහිව සටන් වදින්නේවත් නැත.

මේ ඉන්දියාවේ පමණක් නොව ලංකාවේද සැබෑ තත්ත්වයයි. ගැහැනියකට හීනයක් දකින්නට තබා හීනයක් තිබිය හැකි බවවත් බොහෝ පිරිමින් විශ්වාස කරන්නේ නැත. අනෙක් ගැහැනුන් ඉදිරියේ ඉතාම ලිබරල් හා විකල්ප මත දරන පිරිමි පවා  තම සහෝදරිය පෙම්වතිය හෝ බිරිඳ සම්බන්ධව හැසිරෙන්නේ , බලන්නේ ඉතාම කැත පුරුෂ මූලික ආකල්ප සහිතවයි. පුරුෂ මූලික දේපළ අයිතිය සමග ගොඩ නැගුණු, ගැහැනිය පිරිමියාට අයත්වූ වස්තුවක්, දේපලක් ලෙස සැලකීම හරහා සිදුවූ ගැහැනිය දෙවැනි සේ සැලකීම මේ වනවිට ඇටමිදුළු තුලට පවා ඇතුලු වූ සත්‍යයක් හා සාමාන්‍යයක්  බවට පත්ව ඇත.

ගැහැනියද පිරිමියා හා සමාන මනුෂ්‍යයෙකු ලෙස කිසිවෙකුම නොසිතන තරමට අපේ සමාජයන් පුරුෂ මූලික වී හමාරය.  ගැහැනිය සිටගත යුත්තේ, හිඳ ගත යුත්තේ, නිදාගත යුත්තේ, ඇවිදිය යුත්තේ, අතපය හැසිරවිය යුත්තේ, හැඩවිය යුත්තේ, කතාකළ යුත්තේ, සිනාසිය යුත්තේ, ඇඳුම් ඇඟලා ගත යුත්තේ, කොණ්ඩය සැකසිය යුත්තේ, කිසිවෙකු හා කතාකළ යුත්තේ, අන් අය ඉදිරියේ හැසිරිය යුත්තේ ආදී වශයෙන් හැටහුටහමාරක් කාරණා ඒ  මොහොතේ අධිපතිත්වය දරන පිරිමියා විසින් තීරණය කරයි. ඊට අමතරව කසාද බැඳිය යුත්තේ, දරුවන් ගණන තීරණය කල යුත්තේ, උපත් පාලනය ගැන දැන ගත යුත්තේ, එසේ පාලනයක් අවශ්‍යනම් එය කල යුත්තේ යනාදී වශයෙන් සියල්ල තීරණය කරන්නේද පිරිමියෙකුමය. ගෙදර පිරිමියා නැතහොත් පිරිමි මූලික ආගමික හෝ සංස්කෘතික සංස්ථාවන් විසින්ය. ගැහැනියට ඇත්තේ තමා අයිතිකර ගත් පිරිමියාට අගවුරව නොවන සේ තමන් පාලනය කර ගැනීමයි. මෙවන් ගැහැනියකට ලිංගික අවශ්‍යතාවක් ඇතිවන්නට ඉඩක් කොයින්ද? තම ගැහැනියගේ අඩුපාඩු කියමින් හෝ එසේ නැතිවත් පිරිමිනට තවත් ගැහැනියකට ආදරය කිරීමට, ලිංගිකව හැසිරීමට තහනමක් නැති වුවද ගැහැනියක් වෙනත් පිරිමියෙකු කෙරෙහි ආකර්ශනය වීමක් තියා කසාදයකට පෙර තම පෙම්වතා ඉදිරියේ නිරුවත් වීමක් පවා මහා අපරාධයකි.

Alankrita තම චිත්‍රපටයෙන් නිරුවත් කරන්නේ පුරුෂ මූලිකවූ සමාජයේ මේ කුහකවතයි.  ඒ අතර ඇය තමා තෝරාගත් ගැහැනුන් සිව්දෙනා උන්ගේ  බුර්කාවන්ට යටින් lipstick ගා ගැනීමට පොළඹවයි.  ඒ තොල් ආලේපනයන් යනු තමා සිර කොට බැඳ දමා තිබූ බැමි කඩා දැමීමයි. උන් සිරගේවලින් මිදී නටයි, සින්දු කියයි, sex කරයි, රැකියා කරයි. පිහිනයි, හීන දකියි…. අවසන උන්ට  මුහුණ දීමට සිදුවන්නේ මේ මොහොතේ සත්‍යයටය. ඒ සත්‍යය මේ ගැහැනුන්ව ප්‍රතික්ෂේප කරයි. පුදුමයක් නැත. එය එසේ විය යුතුය. අලුත් ලෝකයක් ගොඩ නැගිය හැක්කේ පරණ හණමිටි ලෝකයේ මතවාදයන්ගෙන් තමා මානසිකව ගැලවුනහොත් පමණි.  එතැන් සිට තම සටන ගෙන යා යුත්තේ තනිව නොව තමා මෙන්ම සිරගෙවල් බිඳ දමාගත් ගැහැනුන් සමග එක්ව බවද සත්‍යයකි. තමාගේ stress නැතිකර ගැනීමට පිරිමි සිගරැට්ටුවක් ඉරුවොත් කිසිවෙකු උරණ නොවේ. එහෙත් සියලු ව්‍යසනයන් මැද (මෙතෙක් කල් මුණගැසී තිබුනද) සැබෑවට මුණගැසෙන මේ ගැහැනු සිව්දෙනා ඌෂාගේ බොළඳ පෙම් කතා කියවමින් සිනාසෙමින් සිගරුට්ටුවක් ඉරීම නැවතත් පුරුෂ මූලික දෘෂ්ටි කෝණයේ උදහසට ලක්වේ. ඉතින් මොකද?????

උපුටා ගැනීමකි.

කුමාරි කුමාරගමගේ.

2017 දෙසැම්බර් 20

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2