Sri Lanka's Best Cinema Portal

 

ගින්නෙන් උපන් සීතල – මට දැනෙන හැටි – 01

0
Posted January 25, 2019 by Nisanka Weheraduwa in Articles
article 01

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා රිද්ම සහ CEL මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වනවා. ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගින් සිනමාහල් පිරෙන තරමින් ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබෙන බව ලැබෙන තොරතුරු වලින් පෙනී යනවා. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය තමාට දැනෙන ආකාරය පිළිබඳව අපි, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් අදහස් විමසීමක් කළා. මේ එහි පළමු පියවරයි.

රංගන ශිල්පී ජගත් මනුවර්ණ

ලංකාවේ සිනමාවට පුරුදු, හැමදාම සිනමාව එක්ක ඉන්න ප්‍රේක්ෂක කොටස විතරක් නොවෙයි, ඉන් ඔබ්බට සියලුම ජනතාව මේ චිත්‍රපටය ගැන ලොකු උනන්දුවකින් කතාබහ කරන බව පෙන්න තියෙනවා. ප්‍රේක්ෂකයින්ගෙන් ඈත් කර තිබූ සිනමාහල් වලට නැවත සිනමා ප්‍රේක්ෂකයින් ගෙන්වා ගන්න චිත්‍රපටයට හැකිව තිබෙන බව පෙනෙන්නට තියනවා. මේකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දේශපාලනික ඉතිහාසයේ වඩාත් අවධානයට ලක්වුණු කාලයක බිහිවුණු දේශපාලනික චරිතයක් සම්බන්ධයෙන් කරපු චිත්‍රපටයක් මේක. ඒක ප්‍රධානම හේතුවක්. ජනතා විමුක්ති පෙරමුණ, රෝහණ විජේවීර කියන චරිතය සහ අනිකුත් චරිත සම්බන්ධයෙන් ගවේෂණාත්මකව තොරතුරු සොයාබලා කළ චිත්‍රපටයක් මේක. ඒ නිසාම මේ ඉතිහාසය සහ ඒ චරිත පිලිබඳ මිත්‍යාවක හිටපු, කිසිවෙකු මවාපෑ ඉතිහාසයක් විතරක් දැනගෙන හිටපු තරුණ පරම්පරාවකට ඒ මිත්‍යාවෙන් මිදෙන්න මේක හොඳ අවස්ථාවක්. ඇත්ත දැනගන්න හොඳ මාර්ගයක් වීමත් වැදගත් කාරණයක්. ඒ වගේම ලංකාවේ චරිතාපදාන සිනමාවේ මම දැකපු හොඳම චිත්‍රපටය මේක කියලත් කියන්න පුළුවන්. මම මේ අදහස කියන්නේ චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෙක් විදිහට. ඒ වගේම අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහගේත් හොඳම චිත්‍රපටය මේක කියල කියන්න පුළුවන්. උපතිස්ස ගමනායක කියන චරිතයත්, රෝහණ විජේවීර චරිතය ඇතුළු මේ විල්ප්ලවයට සම්බන්ධ බොහෝ චරිත මම පෞද්ගලිකව ආස කරපු ආදරය කරපු චරිත. ඒ චරිත ගැන විශේෂ ගෞරවයක් ඇල්මක් මට එදා ඉඳන්ම තිබුනා. ඒ මගේ දේශපාලන මතවාදයත් එක්ක ගොඩනැගුන දෙයක්. ඉතින් එහෙම ඉන්න වෙලාවක අනුරුද්ධ මට උපතිස්ස ගමනායක කියන චරිතය කරන්න ආරාධනා කරාම, මම ඉතාම කැමැත්තෙන් ඒක බාරගත්තා. ඒ චරිත සැබෑවට දැකපු ඇසුරු කරපු අය තවම ජිවත් වෙනවා. නමුත් මට ඒ අවස්තාව ලැබිල නැහැ. කොහොම උනත් ඒ කියවලා හොයාගෙන දැනගත් තොරතුරු එක්ක මම හැකි උපරිමයෙන් ඒ චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ කළා. මගේ උත්සාහය සාර්ථකයි කියල දැනට ලැබෙන ප්‍රතිචාර වලින් පෙනෙන්න තියනවා.

මනෝහාරී හේවාවසම්

මුලින්ම කියන්න ඕනේ, මම මේ චිත්‍රපටයට ඉතාම කැමතියි. ඒ වගේම හැමෝටම මේ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන්නත් ඕනේ. විජේවීරගේ දේශපාලනය චිත්‍රපටය ඇතුලෙන් හොයන්න එපා කියල මට කියන්න බැහැ. මොකද ඔහු සම්පුර්ණ දේශපාලනික ජීවියෙක් නිසා. නමුත්, මේක නිර්මාණයක් විතරයි. ඒ නිසා චිත්‍රපටයක් කියන අවභෝධය ඇතුව මේක බලන්න කියලත් කියන්නම වෙනවා. අපි මහත්මා ගාන්ධි ගනිමු. ගාන්ධි ගැන චිත්‍රපට විශාල ගණනක් විවිධ භාෂාවන්ගෙන් විවිධ අධ්‍යක්ෂවරුන් විසින් නිර්මාණය කරනවා. ඒ එකිනෙක සැලකුවොත් ඒවායින් ගාන්ධිව කියවාගත් කෝණය එකිනෙකට වෙනස්. ඉතින් විජේවීර ගැනත් තව විවිධ කෝණයන්ගෙන් චිත්‍රපට බිහිවෙන්න ඕනේ. මේක එකක් විතරයි. මේක අනුරුද්ධ දකින කෝණයෙන් කළ නිර්මාණයක්. ඉතින් ඒ නිසා චිත්‍රපටයට මුලික වෙලා තියෙන්නේ මේ සම්පුර්ණ Layer එකේ තියන දේවල් වලින් අනුරුද්ධ විසින් හසුකරගත් තැන ටිකක් විතරයි. අන්න ඒ අවභෝධයෙන් චිත්‍රපටය බලන්න. චෝදනා කරනවා, අපහාස කරනවා වෙනුවට සිනමාත්මක අවභෝධයෙන් යුතුව මේ චිත්‍රපට බලන්න කියල මම ආරාධනා කරනවා. විශේෂයෙන්ම අනුරුද්ධ තෝරාගත් ශිල්පින් ගැන කියන්න ඕනේ, ඔවුන් හැමෝම ඔවුන්ගේ කොටස ඉතා හොඳින් නිරුපණය කරනවා. සුලෝචනා ගැන විශේෂයෙන් කියන්න ඕනේ, චිත්‍රපටයේ විජේවීර නිසා චිත්‍රාංගනී යටපත් නොවන්න සුලොචනාගේ රංගනය ලොකු දායකත්වයක් දෙනවා.

දයාන් පතිරණ

චිත්‍රපටය විශිෂ්ටයි. එක විදිහකට සිනමාව නිදහස ලබල කියලත් අපට කියන්න පුළුවන්. පසුගිය කාලේ පැවතුනු දේශපාලන ක්‍රමයට අනුව නම් මේ වගේ චිත්‍රපටයක් අනිවාර්යෙන්ම වාරණයට ලක්වෙන්න තිබුනා. නමුත් දැන් විජේවීර චරිතය ගැන සිනමාවෙන් විවෘතව කතාබහ කරන්න අවස්ථාවක් ලැබී තිබීමෙන්ම සිනමාව යම් නිදහසක් ලබල තියෙන බව පැහැදිළියි. ඒ ගැන ප්‍රේක්ෂකයින් විදිහට අපි සතුටු වෙන්න ඕනේ. මේ චිත්‍රපටය, රෝහණ විජේවීර කියන චරිතය ගැන අපේ පරම්පරාව තුළ ධනාත්මක සහ සුභවාදී ආකල්පයක් ඇති කරන්න හේතුවෙන බව කිව යුතුමයි. කෙටියෙන්ම කියනවා නම් හදවත ප්‍රබෝධමත් කරපු ඇඟට දැනෙන චිත්‍රපටයක්. සත්‍ය කතාව සහ ඒ ආශ්‍රිත සිදුවීම් ගැනත් මතවාද, විසංවාද තියෙන්න පුළුවන්. Facebook, Twitter, Whatsapp නැති කාලේ, කොටින්ම සන්නිවේදන ක්‍රමවේද හරියට දියුණු නැති කාලේ මේ පිරිස සංවිධානය වුන විදිහ හරිම අපුරුයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන තරුණ පරපුර වෙනස් විදිහකට හිතන්න මේ චිත්‍රපටය හොඳ පෙළඹවීමක් ඇති කරනවා. ජ.වී.පෙ. ගමන්මගේ දිශානතිය වෙනස් කරන එක් හැරවුම් ලක්ෂයක් බවට මේ චිත්‍රපටය පත්වේවි.

සංවාද සටහන : නිසංක වෙහෙරදුව

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2