ගුත්තිල – දෙරණ Lux සිනමා සම්මාන 2024

Avatar Kavinu Weerakkody | September 29, 2024 25 Views 0 Likes 0 Ratings

25 Views 0 Ratings Rate it

සිංහලයේ මහා කාව්‍යය ලෙසින් හැඳින්වෙන වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය ඇසුරෙන්, සනත් අබේසේකර සිනමාවට නැඟි “ගුත්තිල” සිංහල චිත්‍රපටයත් 09වන දෙරණ Lux සිනමා උළෙලේදී සම්මාන රැසක් සඳහා තරඟ වදිනවා.

මෙම සිනමාපටයට පාදක වන්නේ පන්සිය පනස් ජාතක කතා පොතෙ හි 237වන ජාතකය වන ‘ගුත්තිල ජාතකය’ යි. ගුත්තිල ජාතකය ඇසුරෙන් ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ සයවැනි පරාක්‍රමබාහු රජ සමයේදී, වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළ “ගුත්තිල කාව්‍යය” ඇසුරෙනුයි මෙය නිර්මාණය කර තිබෙන්නේ…

චිත්‍රපටයෙ හි ප්‍රධාන චරිතය වන ගුත්තිලගේ භූමිකාව රඟපාන්නේ මෙරට සිටින දක්ෂ සංගීතවේදියෙකු වන විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනුයි. මෙය ඔහුගේ පළමු සිනමා රංගනය වන අතර ගුත්තිලගේ ගායනා සඳහාත් ඔහු සිය හඬ දායකත්වය ලබා දුන්නා. ජාතක කතාවට අනුව ගුත්තිලගෙන් ශිල්ප උගෙන, පසුව ඔහුගේ ප්‍රතිවාදියා බවට පත්වන මූසිලගේ චරිතය නිරූපණය කරන්නේ අඛිල ධනුද්දරයි.

ගුත්තිල පඬිවරයාගේ අඳ දෙමාපියන්ගේ චරිත රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ අයිරාංගනී සේරසිංහයි. යශෝදරා දේවියගේ පෙර භවයක ලෙසින් හැඳින්වෙන චුන්නාගේ චරිතයට යශෝධා විමලධර්ම රංගනයේ යෙදෙනවා.

ඊට අමතරව සනත් ගුණතිලක, චුලක්ශි රණතුංග, ගිරිරාජ් කෞෂල්‍ය, වීණා ජයකොඩි, ශ්‍රිමාල් වෙඩිසිංහ, සරත් චන්ද්‍රසිරි, නදීකා ගුණසේකර, මහින්ද පතිරගේ, අමිල කරුණානායක, පූජනි භාග්‍යා, අනුර බණ්ඩාර රාජගුරු, හේමන්ත ඊරියගම, වත්සලා කල්පනී ,ආලෝකා ධනන්ජනි, දුෂි පබා සහ රෝහිත් මාන්නගේ වැනි ලාංකීය කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය – ප්‍රවීණ සහ නවක නලු නිළියන් රැසක්ම “ගුත්තිල” සිනමාපටයට රංගනයෙන් එක්වුනා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම දෙබස් සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද සනත් අබේසේකර විසිනුයි. 2011 වසරේදී මහින්දාගමනය තුළින් සිනමාවට පිවිසි ඔහු ඉන්පසුව සිරි දළඳාගමනය (2014), අනගාරික ධර්මපාල (2014) සහ මහරජ අජාසත් (2015) යන චිත්‍රපට නිර්මාණය කළා. සනත් අබේසේකරගේ මුල්ම චිත්‍රපටය වූ මහින්දාගමනය මෙතෙක් ලාංකීය සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටයක් ලෙසටයි අදටත් සැලකෙන්නේ…

පැරණි සිංහල චිත්‍රපට සංරක්ෂණයේ පුරෝගාමියා ලෙසට සැලෙකන තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් ගුත්තිල චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරන්නේ හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වායි.

හෝ ගානා පොකුණ, වරිගපොජ්ජ වැනි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය සිදු කරමින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ දිනේෂ් සුබසිංහ විසින් මෙහි පසුබිම් සංගීතය සහ ගී තනු නිර්මාණය කර තිබෙනවා. සුජිත් නිශාන්ත මෙහි කැමරා අධ්‍යක්ෂකවරයායි. හිරංග විශ්ව රණසිංහ, චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු ලෙස එක්ව තිබෙනවා.
රොශාන් සංජය හේරත් විධායක නිෂ්පාදකවරයායි. ආනන්ද එස් කපුගේ සහාය අධ්‍යක්ෂණයෙන් සහ තරංග රුක්මල්වල වේෂ නිරූපණයෙන් සම්බන්ධයි. කොණ්ඩා මෝස්තර නිර්මාණය රුචිර දිනෙෂ්ක සහ නිලේෂ් ෂෙවෝන් දිසානායක එකතුවෙනි.

ගුත්තිල චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය සිදු කළේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ධම්මික හේවාදුවත්තයි. ඔහු මින් පෙර තානාපතිලාගේ ගෙදර, ඇහැලේපොළ කුමාරිහාමි සහ එකගෙයි සොකරි වැනි නිර්මාණවල කලා අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කළා. ශබ්ද පරිපාලනය – වර්ණ සංයෝජනය සහ සංස්කරණය ප්‍රවීන් ජයරත්නයි. ඇඳුම් නිර්මාණය රමේෂා ඕෂනීගෙනි.
සුමුදු අමල්ක චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂකවරයායි. නර්තන වින්‍යාසය චන්න විජේවර්ධන සහ චන්දන වික්‍රමසිංහයි.

එඩ්වඩ් ජයකොඩි සහ උරේෂා රවිහාරි ගයන සුමියුරු ගීත රැසකින් ගුත්තිල හැඩ වී තිබෙන අතර එම ගීත රචනා කර තිබෙන්නේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, සනත් අබේසේකර සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයි.

ගුත්තිල චිත්‍රපටය පමණක් නොවෙයි, පසුගිය වසරේදී දිවයින පුරා තිරගත වූ තවත් මෙවැනිම සිනමාපට 30කට අධික සංඛ්‍යාවක් මෙවර දෙරණ Lux සිනමා උළෙලෙ හි තරඟකාරී අංශය යටතේ නිර්දේශ වී තිබෙනවා.

මේ සෑම නිර්මාණයක්ම ඔබගේ ප්‍රියතම නලු නිළියන්, කලාකරුවන් සම්බන්ධ වූ ජනප්‍රිය සිනමාපටයි!

එනිසාම, ඔබේ මෙම ප්‍රියතම සිනමාපට තවත් ඔබට සමීප කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහන් මාලාවකුත් ඔබට තිළිණ කරන්නට අප සූදානම්…

මෙරට ජනකාන්ත නලු නිළියන් – සිනමාකරුවන් රැසක් සම්බන්ධ වන මෙම විශේෂ සිනමා සාකච්ඡාමය වැඩසටහන් මාලාව, සෑම සෙනසුරාදා දිනකම හවස 3.30ට TV දෙරණ ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

Share

25 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.