ගුරුවරුන් ඕනෑ කර තිබේ – තිවංක විශ්නාත්

Avatar Nisanka Weheraduwa | February 20, 2019 4 Views 0 Likes 0 Ratings

4 Views 0 Ratings Rate it

උපුටා ගැනීමකි.     සටහන : තිවංක විශ්වනාත් ජයසේකර

ළමුන් යොදාගෙන වැඩිහිටියන් වෙනුවෙන් ෆිල්ම් කරලා එව්වට ළමා චිත්‍රපටි කියලා ලේබල් ගහලා බොක්ස් ඔෆිස් වාර්තා තියපු ෆිල්ම් ලංකාවේ සිනමා ඉත්හාසය තුළ අනන්තවත් ඇති. හැදුණු ළමා චිත්‍රපටිවලින් සෑහෙන තොගයක් එහෙම එව්වාමය. ඒත් ළඟදි ඉඳන් වෙනස් විදියෙ, ළමයින්ට උණත් සරළ හාස්‍ය රස ලබා නොදී ඉන්න තරමින් අඩියක් හරි ඉස්සරහට තියන්න උත්තේජයක් වුණු සිනමා පට කිහිපයක්ම නිර්මාණය විය. ‘තාල’ කියන්නේ ඒ විදියේ නිර්මාණ ⁣ගණයට වැටෙන ළමා චිත්‍රපටයක්.

කන්නන්ගර මහත්තයා ලංකාවට හඳුන්වලා දුන්න නිදහස් අධ්‍යාපනේ නිදහසේ භුක්ති විඳින්නට බැරිම කාලෙක ලංකාවේ අධ්‍යාපනයේ ඉගැන්නුම් රටාව තාල ඇතුළේ හරි අපූරුවට ප්‍රශ්න කෙරෙ⁣යි. පන්ති කාමරය තුළ පවතින ගුරාධිපත්‍යට තව දුරටත් වලංගුතාවක් නැතැයි යන්න ලංකාව හැර ලෝකයම පිළිගෙන ඇත. ලංකා⁣වේ ගුරුවරු එසේ පිළිගෙන ඇති නම් ළමයින්ට පහරදීලා හිරබත් කන්න වෙන්නේද නැත.

අතීතයේ ගරු සේවයක් ලෙස පිළිගත් ගුරු සේවය අද වන විට තවත් එක්තරා වෘත්තියක් පමණක්ම බවට පත්ව ඇත. ගුරුවරයා සහ ශිෂ්‍යා අතර ඇත්තේ පැය පහක් තුළට රාමු ගත වූ සම්බන්ධයක් පමණයි. නමුත් අතීතයේ දිසාපොමොක්ලා විශිෂ්ටතම ශිෂ්‍යයාට සිය දියණියද සරණපාවා දුන් බවට පාසල් තුළ සිටින ගුරු වෘත්තිකයන්ද හොඳින් දන්නා කරුණකි. “මුංට බුරුල දුන්නම එනවා කරේ නඟින්න” වැනි වඳන් බොහෝ ගුරවරුන්ගෙන් අසා ඇත. එවන් ගුරුවරුන් අතරට පැමිණෙ “අසේල සර්” ඒ අතින් ගත්තොත් තවත් කාලයකට අපේ පාසලකින් දැක ගැනීමට නොහැකිය.

වසර 13ක් පුරාවට ප්‍රධාන විභාග 3කට මුහුණ දෙන ශිෂ්‍යයෙකු පාසල් අධ්‍යාපන කාලය තුළ දැකිය යුතු එකම සහ පරම සිහිනය ඒ/ලෙවල් පාස්වෙලා කැම්පස් යන එක පමණි. බොහෝ ගුරුවරු දරුවන් පොළොඹ වන්නේද එම සිහිනය සැබෑ කර ගැනීම අනිවාර්ය කටයුත්තක් සේ සලකමිනි. එවන් කාලයක අසේල සර්ලාද අතරින් පතර සිටිනයුරු අහන්නට දකින්නට ලැබීම වාසනාවකි. පත්වීම ලැබුණු පසු දුෂ්කර සේවයට ගොස් ඒ පොඩි උන්ව ගොඩ දැමීම එවන් අසේල සර්ලාගේ සහ අරුන්දතී මිස්ලාගේ පරම පවත්‍ර චේතනාවයි.

ගමේ ඉස්කෝලවල නගරේ මෙන් එකම ශ්‍රේණියේ පන්ති හත අටක් තියා ශ්‍රේණි හත අටක්වත් නැති බව ගමේ හිටියහු නම් හොඳින් දනිති. “අසේල සර්ගේ මේ අලුත් ඉගැන්නුම ක්‍රම හින්දා අනිත් පන්තිවල උනුත් දැං ඉන්නේ ඒ පන්තියේමයි” කියලා ආරියවතී ටීචර් කියන්නේ අනෙක් පන්තිවල ඒ හැටි ළමුන් පිරිසක් නැති නිසා බැව් ” මේ ඉස්කෝලේ තියෙන්නේ එක පන්තියද..?” කියලා අහන හය හතර නොදත් දරුවනට කියා දෙනු කැමැත්තෙමි.

ඉගන ගන්නා කාලය තුළ පාසල් යෑම අප්‍රසන්න කටයුත්තක් කරවන ගුරුවරු සෑම පාසලකම සිටිති. ඔවුන් නිසාම අධ්‍යාපනයට සමුදී අනාගතය අඳුරු කරගත්තහුද බොහෝ වෙති. පාසලක් වැසෙනවා යනුම හිරගෙවල් දාහක් විවෘත්ත කිරීමක් බව අපි සක්සුදක්සේ දනිමු. එහෙත් නූතන තරගකාරී අධ්‍යාපන රටාව තුළින් බිහි වන රේස් අශ්වයනගෙන්ද හිරගෙවල් පිරී යාමට බොහෝ ඉඩකඩ ඇත. මන්ද දැන් පාසල් තුළින් ලෝකයට දායාද කරන්නේද මනුෂ්‍යත්වයට වඩා ආත්මාර්ථකාමීත්වයෙන් පිරි මිනිසුන්ය.

කලාව, සාහිත්‍ය සහ ක්‍රීඩාවට වඩා ගණන් විද්‍යාව සහ ඉංග්‍රීසි දැන ගැනීම හෙට ලෝකයට ඉතාම වැදගත් බව වර්තමාන දෙමාපියන්ගේද අදහසයි. නමුත් කලාව සහ සාහිත්‍ය තුළින් ලබාදෙන නිරමාණශීලීත්වය සහ සංහිඳියාව කෙදිනකවත් ගණන්, විද්‍යාව සහ ඉංග්‍රීසි තුළින් ලබා ගත නොහැකිය. මුල්ම අකුර කියවන දිනයේ ආශීර්වාද ලබා ගන්නා සරස්වතිය අධ්‍යාපනයට මෙන්ම කලාවටද අධිගෘහිත දෙවඟන බැව් දෙමාපියන්ටද අමතකවීම කණගාටුවට කරුණකි.

දරුවන්ට දරුවන් සේ වැඩීමට ඇති අයිතිය දෙමාපියන් සහ පාසල තුළින් උල්ලංගනය වීම ඇස් පනාපිටම ඇති ඛෙදයකි. තමන්ට සැබෑ කර ගැනීමට නොහැකි වූ සිහින දරුවන් වෙතින් දැකීමට උත්සහ කිරීම, ඔවුන් ඒ වෙනුවෙන් යෙදවීම පැහිදිලිවම තක්කඩිකමකි. ගස් හදා ඵල බලාපොරොත්තු වන්නා සේ දරුවන්ගෙන් ඵල බලාපොරොත්තු වනවාට වඩා ඔවුන්ට ඵල දැරීමට අවශ්‍ය අවකාශය සකසා දෙන්නවුන් දරුවන්ගේ සැබෑ මාර්ගෝපදේශකයන්ය. අද ලංකාවේ දරුවන්ට පවුලෙන් හෝ පාසැලින් එවැනි ⁣මාර්ගෝපදේශකයන් බලාපොරොත්තු විය නොහැකිය.

ළමයි ආසා විදියට ඉගැන්වීම සහ ඉගැන්වීම තුළින් තමා ලබන තෘප්තිය යන කාරණා අවබෝධ කර ගත් අසේල සර්ලා සහ අරුන්දතී මිස්ලා සිටින්නේ පාලිත පෙරේරා⁣ගේ යුතෝපියානු හටංගල කණිෂ්ඨ විද්‍යාලයේ පමණි. සැබෑවටම සිටින තරමක් සිටිනුයේ අධ්‍යාපනය පල්වළක් කරනා ඔසුකුල සර්ලාමය. පැය 8 රාජ්‍ය සේවය පැය පහකට පමණක් සීමා කර ඇත්තේ ගුරුවරුන්ට ටියුෂන් කරන්නට හෙට දිනයෙදී දරුවන්ට අලුත් යමක් ඉගැන්වීමට සූදානාම් වීමට බව ලංකාවේ බොහෝ ගරුහොරුන්ට අමතක වී ඇති සෙයකි. කුතුහලය උපරිමයෙන් ඇති ළමා මනස සෑම මොහොතකම අලුත් දෑ වෙනුවෙන් බලා සිටියි. ඒ මනසට අලුත් යමක් ලබා දීමට නම් ගුරුවරයා නිරන්තරයෙන් අප්ඩේට් අයෙකු විය යුතුයි. ඉතිරි පැය තුන ඒ වෙනුවෙන් වෙහෙසෙන ගුරුවරු අනේ වාසනාවන්….

බොහෝ නිර්මාණකරුවන්ට ගම සමග ඇති නොස්ටැල්ජික බැඳියාව තාල නිර්මාණකරුටද නොතිබේ නම් පුදුමයකි. නගරයේ වැඩ්ඩන් නැත. වැඩ්ඩන් සිටින්නේ ගමේය. ගමේ වැඩ්ඩන්ගේ හැකියාවන් හඳුනාගත හැක්කන් නොවීමයි දුක. නමුත් ගමෙන් ඇවිත් නගරයට ඇටෑක් කරන ස්ට්‍රක්චර් එකේ ළමා චිත්‍රපට තවත් අවශ්‍ය නොවනු ඇත. මන්ද පොත්ත වෙනස් වුණාට මදේ එකක් බැව් වැටහුණු පසු ලංකාවේ නිර්මාණකරුවන්ට ඇති ‘ප්ලොට්’ හිඟකම රිදී තිරය මතින් බැලීමට ලංකාවේ ප්‍රේක්ෂකයා තව දුරටත් කැමැති නොවනු ඇති. නිර්මාණකරුවා පෙර නොවූ විරූ දෑ තනන්නකුම විය යුතුය. ප්‍රවීණත්වය හෝ ආධුනිකත්වය ඊට අදාළ නැත. අවශ්‍ය වන්නේ අලුත් විදියට වෙනස් විදියකට සිතීම පමණි.

තව දුරටත් සිනමා සංගීතය පිළිබඳව මැසිවිලි නඟමින් ලංකාවේ සිනමාව රස විඳින්නට නොවනු ඇත. චින්තක ජ⁣යකොඩි ‘තාල’හි තාලය මැනවින්ම වටහාගෙන ඇති බව නිර්මාණය පුරාවටම ඇති සංගීතය සාක්ෂි දරයි. චින්තා අතින් නිමැවුණු තාලහි තාලය සැබවින්ම ඔහුගේ පෙර නිර්මාණයන්ගේ සේම රහ⁣ට දැනෙන්ට තිබීම පිළිබඳ ගෞරවය ඔහුට හිමි විය යුතුමය.

රූප රාමුවක අස්සක් මුල්ලක් නෑර හඳුනනා කැමරා අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණයක කැමරා අධ්‍යක්ෂකවරයා වීම දැලි පිහියෙන් කිරි කනවාටත් වඩා අමාරු බව චින්තක සෝමකීර්ති සහ දෙවන කැමරා අධ්‍යක්ෂක කුලරුවන් ගමගේට හොඳින් අවබෝධ වන්නට ඇති. ඩ්‍රෝන් ශොට් සඳහා ඔයිට වඩා කොලිටි ඩ්‍රෝන් එකක් යූස් කළා නම් තවත් පට්ට කියා ඔබ දෙදෙනාට යෝජනා කරමි. සංගීත අධ්‍යක්ෂක චින්තක ජයකොඩිගේ තාලයට ⁣රූප සමෝදානය කර ඇති තිස්ස සුරේන්ද්‍ර ටෙම්පො එකට එඩිට් කරන්නේ කොහොමද කියන කාරණය සාර්ථකව තාල තුළින් පෙන්වා දී ඇත.

නිදානය නිසා කඩා දමන්ට සැදූ පාසල නිදන් හොරු පන්නා දමා රැක ගන්නේ දරුවන්මය. මහ උන් කෙළවන්න හදන මතු රැකෙනා ශිල්පය රැක ගනු ලැබිය යුත්තේද දරුවන් විසින්මය. ඒත් ඒ වෙනුවෙන් ළමුන් සූදානම් කරන අසේල සර්ලා නිර්මාණය විය යුත්තේද පවතින අධ්‍යාපන ක්‍රමය තුළින්මය. හේමාල්ගේ රංගනය ජීවන රඟමඩලේ රඟ දක්වන ගුරුවරුන්ට හැමදාමත් දරුවන් දිනිය හැකිය. ගුරුවරුනි, ගුරු ප්‍රත්‍ය සමග ‘වර’ එකටම ලියන හේතුව අවබෝධ කර ගන්න.

තිවංක විශ්වනාත් ජ⁣යසේකර

Share

4 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.