ගෙවී ගිය වසරේ සිනමාවේ BoxOffice දැවැන්තයෝ

Avatar Kavinu Weerakkody | January 4, 2022 130 Views 0 Likes 0 Ratings

130 Views 0 Ratings Rate it

Covid – 19 වසංගතය නිසා අඩපණව තිබුණු ලෝක සිනමාව 2021 වසරේදී නැවතත් අළු ගසා දාලා තමන්ගේ ගමන ආරම්භ කළා. හොලිවුඩය, චීනය, ඉන්දියාව ඇතුළු ලෝකයේ දැවැන්තම සිනමා කර්මාන්ත තමන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය යළිත් ආරම්භ කළා. ඒ තත්වය මත, වර්තමාන 2022 වසරේදීත් ගෝලීය සිනමාව අඛණඩව තමන්ගේ ඉදිරි කටයුතු සැලසුම් කරමින් සිටිනවා. 2020 වසරට සාපේක්ෂව 2021 වසර තුළ anticipated සිනමාපට රාශියක්ම තිරගත වූ නිසා 2021 වසරේ Box-Office අගයන් පවා බොහොම උණුසුම් තත්වයකයි තිබුණේ.

ලෝකය පුරා විහිදී සිටින රසිකයින් තිරගත වන තෙක් බලා සිටි Venom: Let There Be Carnage, Spider-Man: No Way Home, F9: The Fast Saga, No Time to Die, Shang-Chi and the Legend of the Ten Rings වැනි massive projects රාශියක්ම පසුගිය වසරේ තිරගත වූ නිසා බොක්ස්-ඔෆිස් ශ්‍රේණිගත කිරීම් පැත්තෙනුත් සීතල යුද්ධයක් ඇති වෙලා තිබුනා. තමන්ගේ ප්‍රියතම චිත්‍රපටය, වසරේ ඉහළම ආදායම්ලාභි සිනමාපට ලැයිස්තුවට එක් වෙන තෙක් රසිකයින් පවා බලා සිටියේ නොඉවසිල්ලෙන්… ගෝලීය සිනමා කර්මාන්තය තුළ බොහෝ කාලයකට පසුව ඇති වුණු මේ බොක්ස්-ඔෆිස් ගැටුමේ අවසානය සලකුණු වුනේ පසුගිය දෙසැම්බර් 31වනදා වසර අවසානයත් සමඟයි.
ඒ අනුව, 2021 වසරේදී ලෝ පුරා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට ලැයිස්තුව අපට දැන් දැකගන්නට හැකියාව තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම Top 10 Highest Grossing Movies ( WorldWide ) ගැන සවිස්තරාත්මක විස්තරයක්…

10) Eternals

Marvel සිනමා විශ්වයට (MCU) අයත් නවතම නිර්මාණය වන්නේ Eternals චිත්‍රපටයයි. එය ඇකඩමි සම්මානලාභී Chloé Zhao විසින් අධ්‍යක්ෂණය කළ 06වන සිනමාපටය ද වනවා. Richard Madden, Brian Tyree Henry, Angelina Jolie, Gemma Chan වැනි ප්‍රසිද්ධ රංගන ශිල්පීන් පිරිසක් ප්‍රධාන චරිත නිරූපණය මෙහි සමස්ත නිෂ්පාදන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 200කට ආසන්නයි.

2021 නොවැම්බර් මස 03වනදා තිරගත වීම ඇරඹි Eternals චිත්‍රපටය තමන්ගේ ආරම්භක සතිඅන්තයේදී ඩොලර් මිලියන 162ක ආදායමක් උපයා ගත්තා. එහි අවසාන සමස්ත ආදායම විදිහට දැක්වෙන්නේ ඩොලර් මිලියන 401.5ක මුදලක්! ඒ සමඟින් 2021 වැඩිම ආදායම්ලාභි සිනමාපට ලැයිස්තුවේ 10වන ස්ථානයට පත් වීමට Eternals චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා.

09) Shang-Chi and the Legend of the Ten Rings

ආසියානු සංස්කෘතිය හා ගැටෙමින් බිහි වූ MCU සුපිරි වීරයෙකු මුල් කරගත් Shang-Chi and the Legend of the Ten Rings සිනමාපටය Simu Liuගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූවක්. නමුත් මේ චිත්‍රපටය Marvel රසිකයින් පවා එතරම් බලාපොරොත්තු තබා ගත් චිත්‍රපටයක් නම් නොවෙයි. සුපුරුදු ඇමරිකානු පසුබිමෙන් බිහි වන වීරයෙක් වෙනුවට ආසියානු වීරයෙක් පිළිබඳ කතා පුවතක් නිසාම බොහෝ දෙනෙක් සිතුවේ චිත්‍රපටය අසාර්ථක වනු ඇති බවටයි.

නමුත් කිසිවෙකු නොහිතපු අන්දමට දැවැන්ත බොක්ස්-ඔෆිස් සාර්ථකත්වයක් ළඟා කරගැනීමට Shang-Chi and the Legend of the Ten Rings සිනමාපටයට අවසානයේදී හැකියාව ලැබුනා. ඩොලර් මිලියන 160ක පිරිවැයකින් නිෂ්පාදනය වූ මෙහි සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 432 ඉක්මවන බවත් අන්තර්ජාලයේ සඳහන්! පළමු චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම මේ වනවිට Shang – Chi දෙවන දිගහැරුමක් නිර්මාණය කිරීමටත් නිෂ්පාදකයින් තීරණය කර තිබෙනවා.

08) Godzilla vs. Kong

ඇමරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න theatrical ආදායමක් සමඟින් පසුගිය වසරේ 08වන වැඩිම ආදායම රැස් කර ගැනීමට සමත් වූයේ Godzilla vs. Kong සිනමාපටයයි. ලෝක සිනමාවෙන් බිහි වුන ජනප්‍රියම කල්පිත පුරාවෘත්ත ද්විත්වයක් එකම සිනමාපටයක දක්නට ලැබීම නිසාම Godzilla vs. Kong සිය සිනමාශාලා ප්‍රදර්ශනය අරඹන්නටත් පෙර සිටම විශාල hype එකක් ගොඩ නැඟිලා තිබුනා.

ඩොලර් මිලියන 150කට අධික නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය වූ මෙය Adam Wingardගේ අධ්‍යක්ෂණයක්. Warner Bros හි “MonsterVerse” සිනමා විශ්වය යටතට ගැනෙන Godzilla vs. Kong සිනමාපටයේ දෙවන කොටසක් ගැනත් විවිධ rumors පළවනවා. චිත්‍රපටයේ සිනමාශාලා ප්‍රදර්ශනය අවසාන වන විට ඇමරිකානු ඩොලර් මිලියන 467ක සම්පූර්ණ ආදායමක් හිමි කරගැනීමට මීට හැකි වුනා.

07) Venom: Let There Be Carnage

Comic රසිකයින් බොහෝ දෙනෙක් නිකුත් වෙනතෙක් බලා සිටි, වසරේ දැවැන්තම anti-hero සිනමාපටය Venom: Let There Be Carnage ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානයට පැමින තිබෙනවා. Tom Hardy ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙය 2018 වසරේ තිර ගත වූ Venom මුල් චිත්‍රපටයේ sequel නිර්මාණයයි.

මුල් චිත්‍රපටයට සාපේක්ෂව යම් සෘණාත්මක ප්‍රතිචාරයක් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණත් තමන්ගේ ආදායම ස්ථාවරව රඳවා ගන්නට Venom: Let There Be Carnageට හැකි වුනා. තිරගත කළ පළමු දිනයේදී මිලියන 37.3ක් ඉපැයූ මෙම චිත්‍රපටය නව box-office වාර්තා කිහිපයක් අලුත් කරන්නටත් සමත් වුනා.
Pandemic සමයේදී ඇමරිකාව තුළ ඩොලර් මිලියන 200 සීමාව පසු කළ දෙවන චිත්‍රපටය වූයේ ද මෙයයි.

තම සිනමාශාලා ප්‍රදර්ශනය අවසානයේදී ඩොලර් මිලියන 501ක් උපයා ගැනීමට ඊට හැකියාව ලැබී තිබුනා. ඒ ඩොලර් මිලියන 110ක නිෂ්පාදන පිරිවැයකට එරෙහිවයි. Venom: Let There Be Carnage ආදායමෙන් 57.6%ක්ම (එනම් මිලියන 288ක්) ලැබී තිබුනේ ඇමරිකාවෙන් පිටත ප්‍රදේශ සහ විදේශයන්ගෙනුයි. එය Venom: Let There Be Carnage චිත්‍රපටය වෙනුවෙන් ලෝ පුරා ගොඩ නැඟුණු විශාල ප්‍රේක්ෂකාගාරයට හොඳම නිදසුනක්…

06) Detective Chinatown 3

2021 වසරේදී ලෝ පුරා වැඩිම ආදායමක් හිමි කරගත් චිත්‍රපට ලැයිස්තුවට එක්වන පළමු චීන චිත්‍රපටය වන්නේ Detective Chinatown 3යි. පසුගිය පෙබරවාරි 12වනදා සිට තිරගත වීම ඇරඹි මෙය Detective Chinatown නැමැති සුප්‍රසිද්ධ චීන ප්‍රහසන චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටයයි.

Detective Chinatown 3 හි කතා තේමාව දිව යන්නේ ජපානයේ මැර කණ්ඩායම් දෙකක් අතර සිදුවන ආරවුලක් විසඳීමට යන චීන රහස් පරීක්ෂකයින් දෙදෙනකු වටායි. Chen Sichengගේ අධ්‍යක්ෂණය යටතේ Chen Sicheng, Wusi Liu, Nomy Xu සහ Yining Yan වැනි ජනප්‍රිය මැන්ඩරින් රංගන ශිල්පීන් රාශියක්ම මේ සිනමාපටයෙන් දැකගන්න අවස්ථාව තිබෙනවා.

2021 වසරේ හයවන වැඩිම ආදායම හිමි කරගත් සේම, එදා මෙදා තුර සිනමා ඉතිහාසයේ ඇමරිකානු නොවන A – Rated චිත්‍රපටයක් ලබා ගත් වැඩිම ආදායමද මෙය සතුයි. Detective Chinatown 3 හි සම්පූර්ණ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 686-706 අතර ප්‍රමාණයක් බවට වාර්තා වෙනවා. පසුගිය වසර කිහිපයේ ජනප්‍රියම Marvel Anti-Hero චිත්‍රපටය යැයි සැලකෙන Venom 2ට වඩා මිලියන 100ක පමණ ආදායමක් ලැබීමත් මේ චීන චිත්‍රපටය ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක්.

05) F9: The Fast Saga

Vin Diesel ප්‍රමුඛ  Fast & Furious චිත්‍රපට මාලාවේ නවවන දිගු චිත්‍රපටය වන F9: The Fast Saga තිරගත වීම ඇරඹුණේ 2021 මැයි 19වනදා සිටයි. 2006 වසරේ සිට Fast & Furious චිත්‍රපට 04ක් නිර්මාණය කළ Justin Lin විසින් අධ්‍යක්ෂණය කළ මෙහි තිර පිටපත රචනා කළේ Daniel Casey විසිනුයි.

පළමු සතිඅන්තය වනවිට ඇමරිකානු කලාපය තුළ පමණක් F9: The Fast Saga චිත්‍රපටය ලැබූ ආදායම විදිහට සැලකුණේ ඩොලර් මිලියන 55-65 අතර ප්‍රමාණයක්. ලෝ පුරා සමස්ත ආදායම 160-180 අතර ගණනක පැවතුනා. පැන්ඩමික් සමයෙන් පසු එතෙක් hollywood චිත්‍රපටයක් ලබා ගෙන තිබූ ඉහළම international opening සතිඅන්තය වූයේ ද එයයි.

F9: The Fast Saga හි සිනමාශාලා ප්‍රදර්ශනය අවසාන වන විට ඇමරිකානු ඩොලර් මිලියන 726ක සමස්ත ආදායමක් රැස් කර ගැනීමට ඊට හැකියාව ලැබී තිබුනා. බොහෝ ඍණාත්මක ප්‍රතිචාර ලැබුණත් 2021 වසරේදී මිලියන ($) 700 සීමාව පසු කළ චිත්‍රපට 05 අතරට එක් වන්නට ලැබීමෙන් Fast & Furious හි රසික ජනප්‍රියත්වය මනාව පෙන්නුම් වෙනවා.

04) No Time To Die

පසුගිය වර්ෂයේදී සිව්වන වැඩිම බොක්ස්-ඔෆිස් ආදායම හිමි කරගත්තේ James Bond Movie Franchise හි 25වන දිගහැරුම වන No Time To Die සිනමාපටයයි. 007 නැමැති බ්‍රිතාන්‍ය රහස් පරීක්ෂකවරයා වටා ගෙතෙන මෙය පසුගිය සැප්තැම්බර් 30වනදා සිට ලෝ පුරා තිරගත වීම ආරම්භ කළා. එසේම Daniel Craig ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූ අවසාන නිර්මාණය වන්නේ පසුගිය වසරේදී නිකුත් වුණු මෙම No Time To Die සිනමාපටයයි. මෙය Cary Joji Fukunagaගේ අධ්‍යක්ෂණයක්!

තිරගත වීම ඇරඹි දිනවල ප්‍රේක්ෂක පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබුණත්, සෙමෙන් එහෙත් ස්ථාවරව තමන්ගේ Box – Office ආදායම වැඩි කරගැනීමට මීට හැකි වුනා. චිත්‍රපටය වෙනුවෙන් ඩොලර් මිලියන 275කට අධික දැවැන්ත පිරිවැයක් යොදා තිබීම නිසා ආදායම් වශයෙන් හොඳින් සාර්ථක වන්නටත් අවම ඩොලර් මිලියන 700 සීමාව හෝ පසු කළ යුතු බවටයි ඇතමුන් සඳහන් කළේ.

Covid – 19 වසංගතයෙන් පසුව චීනයේ හැරුනුකොට, අනිත් විදේශ රටවල් තුළින් මිලියන ($) 100ක ආදායමක් ලබා ගත් පළමු චිත්‍රපටය වූයේද මෙයයි. ආරම්භක සතිඅන්තයේදී ලෝ පුරා රටවල් 54කින් ඩොලර් මිලියන 119ක්ද එය රැස් කරගත්තා.කෙසේ නමුත් අවසානයේදී No Time To Die සිනමාපටය තමන්ගේ සිනමාශාලා ප්‍රදර්ශනය නිමා කළේ ඇමරිකානු ඩොලර් මිලියන 774 සතුටුදායක ආදායමක් ද අතැතිවයි.

03) Hi, Mom

Detective Chinatown 3 සිනමාපටයට පසුව පසුගිය වසරේ highest grossing movies ලැයිස්තුවෙ හි තුන්වන වැඩිම ආදායම හිමි කර ගැනීමට සමත් වුයේ ද චීන චිත්‍රපටයක්! එය නමින් Hi, Mom.

Jia Ling විසින් අධ්‍යක්ෂණය කළ Hi, Mom සිනමාපටය ගෝලීය වසංගත තත්වය මධ්‍යයේ වුවත් අතිශය සාර්ථක අයුරින් චීනය පුරා තිරගත වුනා. ඩොලර් මිලියන 59ක් වැනි අවම budget එකකින් නිර්මාණය වුණත්, ඩොලර් මිලියන 822 – 850 අතර මුදලක් රැස් කරගන්නට Hi, Mom චිත්‍රපටයට හැකියාව ලැබුනා. එය 2021 වසරේ තෙවන වැඩිම Box – Office ආදායම වගේම මෙතෙක් ඉතිහාසයේ ඇමරිකානු නොවන චිත්‍රපටයක් ලැබූ තෙවන වැඩිම ආදායමත් (third highest-grossing non-English film of all time) වනවා.

එමෙන්ම, ලෝක සිනමාව තුළ කාන්තාවක අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් ලැබූ වැඩිම ආදායමට හිමි වාර්තාව අලුත් කිරීමට ද Hi,Mom අධ්‍යක්ෂණය කළ Jia Ling සමත් වුනා. ඒ Wonder Woman (2017) අධ්‍යක්ෂණය කළ Patty Jenkins පරදවමින්…

02) The Battle at Lake Changjin

2021 වසරේ ලෝක ‌ශ්‍රේණිගතකිරීම් තුළ දෙවන වැඩිම ආදායම හිමි කරගත් චිත්‍රපටය බවට පත් වෙන්නට හැකියාව ලැබුණේ ද චීන භාෂාමය චිත්‍රපටයක් වන The Battle at Lake Changjinටයි. Chen Kaige, Tsui Hark සහ Dante Lam යන සිනමාකරුවන් තිදෙනා විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ප්‍රධාන චරිත සඳහා සම්බන්ධ වී තිබෙන්නේ Wu Jing, Jackson Yee, Li Chen වැනි චීනයේ ජනප්‍රියම රංගන ශිල්පීන් පිරිසකුයි.

කොරියානු යුද්ධය පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම යුධමය සිනමාපටය නිෂ්පාදනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200කට ආසන්න මුදලක් වැය වී තිබෙනවා. එය මෙතෙක් චීන සිනමාපටයක් වෙනුවෙන් වැය කර තිබෙන ඉහළම මුදල බවත් සඳහන්.
නමුත් The Battle at Lake Changjin වෙනුවෙන් එතරම් ඉහළ මුදලක් වැය කිරීම නිෂ්පාදක Yu Dongට අවාසිදායක තත්වයක් නම් උදා කළේ නැහැ. මොකද ඇමරිකානු ඩොලර් මිලියන 902.5 මුදලක් සමඟින් චීන සිනමාපටයක් මෙතෙක් ලබා ගත් වැඩිම Box – Office ආදායමේ වාර්තාවට හිමිකම් කීමට පවා මීට හැකියාව ලැබුණු නිසායි. ඊට පෙර එම වාර්තාව සතු වුණේ ඩොලර් මිලියන 874ක් සෙවූ Wolf Warrior 2 චීන චිත්‍රපටයටයි.

ගෝලීය වසංගත තත්වයක් මධ්‍යයේ චීන සිනමා ඉතිහාසයම වෙනස් කරන්නට සමත් වූ මේ චිත්‍රපටය තමයි, අද වෙන තෙක් ඇමරිකානු – නොවන සිනමාපටයක් රැස් කරගත් ඉහළම ආදායමට ( highest-grossing non-English film ) හිමිකම් කියන්නේත්…

01) Spider-Man: No Way Home

ලෝ පුරා සිනමා රසිකයින් බලාපොරොත්තු වූ ආකාරයෙන්ම 2021 වසරේ දැවැන්තම චිත්‍රපටය බවට පත් වන්නට Spider-Man: No Way Home සිනමාපටයට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය දෙසැම්බර් 17වනදා සිට සාර්ථකව තිරගත කෙරෙමින් තිබෙන Spider-Man: No Way Home සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ Tom Hollandගේ පෙර Spider – Man චිත්‍රපට ද්විත්වයේම අධ්‍යක්ෂකවරයා වන Jon Watts යි.

පසුගිය දෙසැම්බර් 31වනදා වන විට මෙහි සම්පූර්ණ ආදායම ඩොලර් බිලියනය පසු කර තිබූ අතර අද (04) වනවිට එහි ලෝ පුරා ආදායම ඩොලර් බිලියන 1.372ක් හෙවත් ඩොලර් මිලියන 1372+ක් වනවා. Spider Man සිනමාපටයක් මෙතෙක් ලබා ගත් වැඩිම ආදායම වන්නේ ද, Sony Pictures හරහා නිකුත් කළ චිත්‍රපටයක් මෙතෙක් ලැබූ වැඩිම ආදායම වන්නේ ද මෙයයි. ඉන්දියාවේදී පමණක් කෝටි 200කට අධික ආදායමක් උපයා ගත් Spider Man: No Way Home සිනමාපටය බොහොම පහසුවෙන්ම බිලියන 02 සීමාවටත් ආසන්න වනු ඇති බවටයි රසිකයින්ගේ අදහස වෙන්නේ…

Spider Man: No Way එදාමෙදා තුර 12වන වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය (ජනවාරි 04වනදා වන විට) බවටත් අද පත්ව තිබෙනවා. Spider Man: No Way ඇමරිකාව තුළදී ලබා ගත් domestic ආදායම පමණක් ඩොලර් මිලියන 600ට අධිකයි.

ඉහතින් විස්තර කළ මුල් චිත්‍රපට 10 හැරුණු කොට තවත් බොහෝ සිනමාපට ප්‍රමාණයකට සතුටුදායක Box – office ආදායමකට ලඟාවන්නට පසුගිය වසරේදී හැකියාව ලැබුනා. දසවන ස්ථානයේ සිට විසිවන ස්ථානය දක්වා එය පෙළගැසෙන්නේ මෙසේයි…

  1.  Dune – $ 395.5 million
  2. Black Widow – $ 379.6 million
  3. Free Guy – $ 331.5 million
  4. A Quiet Place Part II – $ 297.3 million
  5. Cruella – $ 233.2 million
  6. My Country, My Parents – $ 221.7 million
  7. Jungle Cruise – $ 220.8 million
  8. Encanto – $ 206.3 million
  9. Raging Fire – $ 205.8 million
  10. The Conjuring: The Devil Made Me Do It – $ 201.9 million

– සියලුම තොරතුරු Box Office Mojo වෙබ් අඩවිය ඇසුරෙනි.

Share

130 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.