ගෞතම බුද්ධ මාතා – මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව සිනමාවට

Avatar Kavinu Weerakkody | December 11, 2024 448 Views 1 Like 0 Ratings

448 Views 0 Ratings Rate it

බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් ලාංකීය සිනමාවට නිර්මාණ රැසක් දායාද කළ, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය වන්නේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයයි.

මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ ජීවිත කතාව ඇසුරෙන් නිෂ්පාදනය වූ මෙම සිනමා නිර්මාණය, ඊයේ (දෙසැම්බර් 10 වනදා) සිට EAP මණ්ඩලය ඇතුලු දිවයින පුරා සිනමා හල්වලදී තිරගත වීම ඇරඹුනා.

බෞද්ධ සාහිත්‍යෙය් සහ බුද්ධ චරිතයේ විවිධ සිදුවීම් රැගත් චිත්‍රපට රැසක් මෙරට නිෂ්පාදනය වී තිබුනත්, සිදුහත් කුමරුන්ට බුදු බව ලැබීමට විශාල ශක්තියක් වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පිළිබඳව මෙරට සිනමා සාහිත්‍යය තුළ එතරම් ඉඩක් වෙන්වී තිබුනේ නැහැ.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසන පරිදි, මෙම සිනමාපටය තුළින් ඔහු අපේක්ෂා කරන්නේ එවන් විශාල කැපකිරීමක් කළ චරිතයකට ලැබිය යුතු නිසි වටිනාකම ලබා දීමයි.

බෞද්ධ සාහිත්‍යය හරහා අපට සමීප වුනු සිද්ධාර්ථ කුමාර අවධියේ සිදුවීම් ගණනාවක් මෙන්ම, සිදුහත් කුමරුන්ට බුද්ධත්වය ලැබීමෙහි ලා ප්‍රජාපතී ගෝතමී දේවිය විසින් සිදු කළ කැපකිරීම ගැනත් ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය තුළින් ඔබට නැරඹිය හැකියි.

මේ වනවිට චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් වී තිබෙන අතර පහත සබැඳියෙන් එය නරඹන්නට පුලුවන්.

මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ චරිතය සහ ඉතිහාසය පිළිබඳ මෙරට එතරම් සාහිත්‍ය මූලාශ්‍ර සොයා ගැනීමට නොලැබෙන නිසා, අධ්‍යක්ෂකවරයාට මෙහි තිර පිටපත ලිවීමටත් විශාල පරිශ්‍රමයක් දරමින් එම තොරතුරු ගවේෂණය කිරීමට සිදුව තිබෙනවා. දෘශ්‍ය ප්‍රයෝග සහ සුවිශාල දර්ශන තල නිසා මෙරට සාමාන්‍ය සිනමාපටයකට වඩා අතිශය ඉහළ පිරිවැයකුත්, ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයට වැය වී තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත බොහෝමයකට ඉන්දියානු නලු නිළියන් රංගනයෙන් එක්වීම තවත් විශේෂත්වයක්. පාල්ගුණී ඛන්නා, අදිති සින්ග්, තුෂාන් චිබ්බර්, හිමංෂි ජෛන් වැනි ඉන්දියානුවන්ට අමතරව දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, සම්පත් ජයවීර, සූර්යා දයාරුවන්, නිශ්ශංක දිද්දෙණිය, උදයන්ති කුලතුංග, ගෙවින් අභිෂේක් සහ අනුරාධ මල්ලවආරච්චි වැනි ලාංකීය නලු නිළියන් රැසක් ද මෙහි රංගනයෙන් එක්වනවා.

පත්තිනි – කුසපබා – කදිර දිව්‍යරාජ – බිම්බා දේවි හෙවත් යශෝදරා – ක්‍රිස්තු චරිතය – උප්පලවණ්ණා වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සුනිල් ආරියරත්න මහතාගේ 26වන සිනමා නිර්මාණය වන්නේ ගෞතම බුද්ධ මාතා යි. චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ ද ඔහු විසිනුයි.

රණ්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය ආශ්‍රිතව රූගත කිරීම් සිදු වුනු මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා චන්න දේශප්‍රියයි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් සහ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් එක්වුන‍ා. මංජුල අයගම කලා අධ්‍යක්ෂකවරයායි. නාද සැකසුම රුවන් මාරසිංහ විසිනුත්, වර්ණ සංයෝජනය අසංක වික්‍රමසිරි විසිනුත් සිදු කළා.

සමින්ද වතවනවිතානගේ සහ බුද්ධික විජේරත්න එකතුවෙන් දෘශ්‍ය ප්‍රයෝග සිදු වූ මෙම චිත්‍රපටයේ අංග රචනය ප්‍රියන්ත දිසානායකගෙනි. සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියයි. චන්දන වික්‍රමසිංහගේ නර්තන වින්‍යාසයට හැඩවුනු ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයෙ හි ගීත ගායනය සඳහා කාංචනා අනුරාධි, ආදිත්‍යා වැලිවත්ත, අංජලී හේරත් වැනි පිරිසක් එකතු වී තිබෙනවා.

ගෞතම බුද්ධ මාතා නිෂ්පාදනය කරන්නේ Sumathi Universal වෙනුවෙන් තිලංග සුමතිපාල විසිනි.

දැන් දිවයින පුරා Lite Cinemas, Regal, Savoy ඇතුලු සිනමාහල් වලදී ඔබට මෙම අපූරු සිනමා සිත්තම රස විඳිය හැකියි..!!!

Share

448 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.