චිත්‍රපටය බලද්දී මිනිස්සු හුස්ම ගන්න විදිහ නිතරම වෙනස් වුනා – ධනුෂ්ක

Avatar Nisanka Weheraduwa | January 22, 2019 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂ ධනුෂ්ක ගුණතිලක සමග භාතිය ගුණසේන සිදුකළ සංවාදයක් 

**********************************************

සංවාද සටහන : භාතිය ගුණසේන

‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටය අද දිනයේ පටන් තිරගත වීම අරඹයි. එම සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කළේ ධනුෂ්ක ගුණතිලකය. මෙම සාකච්ඡාව ඔහු සමග සිදු කෙරෙනුයේ සිනමාපටයේ රූගත කිරීම් සඳහා ඔහු පාදක කරගත් තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කිරීමටය.

ගින්නෙන් උපන් සීතල සිනමාපටය රූගත කිරීමට ලැබීම සිනමා කැමරාකරුවෙක් විදියට ඔබට දැනුනේ කොහොමද ?

මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරන්න කියලා භාර දුන්නා ම මට දැනුණේ ඉතිහාසය ඉදිරියේ කැඩපතක් අල්ලලා දැන් ඉන්න මිනිස්සුන්ට ඒක බලන්න කියනවා වගේ හැඟීමක්. එතකොට මේ කැඩපත නිර්මාණය කරන්න තමයි, මට එන්න කියන්නේ. එතන දී ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. මට තිබුණු අනෙක් ගැටලුව තමයි, මම ඇත්තට ම ආදරෙයි රෝහණ විජේවීර ඇතුළු අනෙකුත් චරිතවලට. මේ කතන්දරේ එහෙ ම ලිය වෙයිද කියන ප්‍රශ්නය මට තිබුණා. මම මුලින් ම කරපු වැඬේ තමයි, ‘විජේවීරගේ හෘදයසාක්‍ෂිය’ අරගෙන නැවත කියවන්න පටන් ගත්ත එක. ඒකට හේතුව තමයි අපි ඇත්තට ම විජේවීර කියන චරිතයට ආදරෙයි නෙ. සහ විජේවීර කියලා කිව්වා ම ලොකු වේදනාවක් දැනෙනවා. ඊළඟට මේ සිස්ටම් එකත් එක්ක තරහක් ඇති වෙනවා. එතැනින් තමයි ආරම්භය ගත්තේ. මේක මට ලොකු අභියෝගයක් වුණා. උදාහරණයක් කිව්වොත්, ඔපරේෂන් කරන වෛද්‍යවරයෙක් ඉන්නවා. එයාට ඕනෑ ම රෝගියෙක්ව කිසි ම චකිතයකින් තොරව ඔපරේෂන් කරන්න පුළුවන්. හැබැයි, එක දවසක දී එයාට තමන්ගේ ළමයව, තමන්ගෙ බිරිඳව, තමන්ගෙ අම්මව ඔපරේෂන් කරන්න හම්බ වුණොත්, එයාට මොකක් ද දැනෙන්නේ. අන්න ඒ වාගේ දෙයක් තමයි, මට මේ චිත්‍රපටය රූගත කිරීම කියන කාරණයේ දී දැනුණේ.

මේ සිනමා පටයේ රූගත කිරීම් සඳහා ඔබේ ප්‍රවේශය සිද්ධ වුණේ කොහොමද සිනමාත්මක වශයෙන්?

ප්‍රවේශයක් ගන්න කොට කිසි ම විදියකට මම රෝහණ විජේවීර කියන චරිතයක් ගැන හිතුවේ නැහැ. අපේ ඔළුවේ වැඩ කළේ ‘කණ්ඩායමක්’ කියන හැඟීම. මීට අවුරුදු විසි ගාණකට ඉස්සෙල්ලා අපි දන්න ඉතිහාසයේ ලක්‍ෂ ගණනක් එක අදහසකින් එකට එකතු කරන්න පුළුවන් වෙච්ච මූව්මන්ට් එකක් පිළිබඳව අදහසක් තමයි මට තිබුණේ. පළමුවැනි කාරණාව තමයි, එහෙම මූව්මන්ට් එකක් කොහොම ද හැදුණේ කියන එක. මම ප්‍රවේශය ගත්තේ එතැනින්. ඊළඟ කාරණය තමයි, මම මේ චිත්‍රපටයේ රූගත කිරීම්වල දී කාගෙවත් තනි තනි ක්ලෝස් අප්වලට යන්නෙ නැහැ. ක්ලෝස් අප්වලට නොයා ඉන්න මම තීරණය කළේ මේක තනි පුද්ගලයෙක් ඉලක්ක කළේ නැහැ. මොකද මේක මූව්මන්ට් එකක්. මේ මූව්මන්ට් එක ඇතුළේ සමහරු ඉස්මතු වෙනවා. සමහරු ආයේ බැක්ග්‍රවුන්ඞ් එකට යනවා. සමහරුන්ගේ නම කියැවෙනවා. ඒ හින්දා හැම වෙලේම මේක මූව්මන්ට් එකක් විදියට තමයි, තිබුණේ. මොක ද? කවදාවත් ම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ තනි පුද්ගලයකුගේ තීරණයට වැඩ කරලා නැහැ. ඔවුන් සමූහයක් වශයෙන් එකඟ වෙච්ච තීරණයකට තමයි, යන්නේ. එතකොට අපි මේ චිත්‍රපටය තුළ කාටවත් මෙයා තමයි, ප්‍රධාන පුද්ගලයා කියලා එහෙම සෙන්ටර් කරන්නෙ නැහැ. ඒක තමයි, මගේ පළමු ප්‍රවේශය.

එතකොට දෙවන ප්‍රවේශය?

මගේ ඊළඟ ප්‍රවේශය තමයි මේ මූව්මන්ට් එකේ ඉන්න චරිත ඇත්තට ම ඒ අය මහා දැවැන්ත වීරයෝ. මේ ෆිල්ම් එක ඇතුළේ විජේවීර, ගමනායක, බෝපගේ, සිසිර රන්දෙණිය, සෝමවංශ අමරසිංහ කියන මේ හැම චරිතයකටම සමාජයේ ඔවුන්ට හිමි පෞරුෂය ඒ විදිහටම දෙන්න අපි තීරණය කළා. ඒක බොරු ආටෝපයකට නෙවෙයි. ඇත්තට ම දැන් අපිට ඒ අයව පේන විදිය තමයි අපි පෙන්නුවේ. අද කාලේ මිනිස්සුත් එක්ක බැලුවා ම ඒ අය මහා වීරයෝ විදියට තමයි, අපිට පේන්නේ.

ගින්නෙන් උපන් සීතල කියන්නෙ ඓතිහාසික කතා තේමාවක් සහිත සිනමාපටයක්. එම ශානරයේ සිනමාපට බොහොමයක් ලංකාවේ නිෂ්පාදනය වුණා. ඒවායින් බොහොමයක් ෆේල් වුණා. ඉතින් ඔබට එම ශානරයේම සිනමා පටයක් කිරීම අභියෝගයක් වුණේ නැද්ද?

ලංකාවේ ඓතිහාසික කතා පීරියෝඩික් තේමා රැගත් ෆිල්ම්ස් ඔක්කොම ෆේල් වුණා. ‘අනගාරික ධර්මපාල’ කියන්නේ ඓතිහාසික කතාවක්. නමුත්, ඒ තුළ ඓතිහාසික කතා ලුක් එක අපට දැකගන්න ලැබුණේ නැහැ. ‘ඩී. එස්.’ යම්තාක් දුරකට සාර්ථක වුණා. නමුත්, ඩී. එස්. ෂූට් කළේ මේ ෆිල්ම් එකත් එක්ක එකට. මේක කරන්න බැහැ කියලා විශාල බයක් තිබුණා. මොක ද? ඒක කැමරාකරණයෙන් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තට ම මගෙ අතෙත් නෙමෙයි, ඒක තියෙන්නේ. පීරියෝඩික් කියන ලුක් එක ආර්ට්, කොස්ටියුම්ස්, සෙට්ස් කියන හැම දෙයක් ම මේකට එකතු වෙනවා. අපිට බයකුත් ඇතිවුණා අපි දන්න ඉතිහාසයක් ගොඩනඟන්න කිව්වාම. මොක ද? දැනට ලංකාවේ ජීවත් වෙන අයගෙන් සියයට හැටක් ම මේ ඉතිහාසය දැකලා තියෙනවා. එතකොට දැකලා තියෙන එකක් නැවත කරන කොට ඒ දේවල් මිනිස්සුන්ට මතකයි. උදාහරණයක් විදියට ඔය පීරිසි තිබුණේ නැහැ. ඔය කෝප්ප, ගෘහ නිර්මාණ, ඔය ඇඳුම් ඒ කාලේ තිබුණේ නැහැ කියලා ඕන කෙනකුට කියන්න පුළුවන්. එතකොට හැම දේ ම දැකලා තියෙන කට්ටියකට තමයි, මේක කරන්නේ. ඒ නිසා බොරු කරන්න බැහැ. ආදිකල්පික චිත්‍රපටයක් හෝ රජ කතාවක් කරන්න නම්, ඒක එච්චර අදාළ නැහැ. නමුත්, මේ චිත්‍රපටයට අයත් ඉතිහාසය බොහෝ දෙනෙක් දැකලා තිබෙන නිසා අභියෝගයක් වුණා.

ඔබ මේ සිනමාපටයට පාවිච්චි කරපු තාක්ෂණික ක්‍රමවේදයන් මොනවද?

මේක අසූව දශකයට අයත් චිත්‍රපටියක්. අසූව දශකය කියලා කියන්නේ, ලෝකයේ ම බ්‍රයිට් කලර්ස් පාවිච්චි කරපු යුගයක්. හැබැයි, බ්‍රයිට් වුණාට ඒ පින්තූර දැන් ෆේඞ් වෙලා තියෙන්නේ. එතකොට අපි ෆිල්ම් එකට මුලින් ම අවස්ථා ගොඩක් ෂූට් කළා. කොස්ටියුම් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක විශේෂයෙන් ම වැඩ කළා. ෆිල්ම් එකේ පාවිච්චි කරන හැම කොස්ටියුම් එකක ම සාම්පල් එකක් ගෙන්වගෙන අපි ෂූට් කළා. ඒක කලර් ග්‍රේඞ් එකට අරන් ගිහිල්ලා, ග්‍රේඞ් කරලා බැලුවා කොහොම ද ස්කින් ටෝන් එක අවුල් කරගන්නේ නැතුව ටෝන් එකක් හදා ගන්නේ කියලා. නැත් නම් වෙන්නේ මොකක් ද? අපි චිත්‍රපටය ඇතුළේ ෂූට් කරන්නේ නැතුව පරණ ග්‍රේඞ් එකෙන් මේක පරණ කරන්න හැදුවොත්, එහෙ ම ස්කින් ටෝන් එක වෙනස් වෙනවා. මිනිස්සු ඉතිහාසයේ හිටියත්, දැන් හිටියත්, ස්කින් ටෝන් එක වෙනස් වෙන්නෙ නැහැ. නැත්නම් වෙන්නේ විශ්වසනීයත්වය නැති වෙන එක. එතකොට අපි බැලුවේ ස්කින් ටෝන් එක තියාගෙන කොහොමද කොස්ටියුම්වලින් සහ සෙටප්වලින් පීරියොඩික් එක හෙවත් ඓතිහාසික කතා තේමා තත්ත්වයක් හදන්නෙ කියලා. ඒකට තමයි පැස්ටල් ෂේඞ් කියලා කලර් පැලට් එකක් හදාගන්නේ. පැස්ටල් කලර් කියලා කියන්නේ, ඇත්තට ම බ්‍රයිටුත් නැති බ්ලැක් ඇන්ඞ් වයිටුත් නැති මැද තියෙන කලර් ෂේඞ් එකක්.
එතකොට චිත්‍රපටයේ හැම කොස්ටියුම් එකක් ම බැලුවොත්, පැස්ටල් ෂේඞ් තමයි, භාවිත කරලා තියෙන්නේ. සෙට් එකත් එහෙමයි. උදාහරණයක් විදියට
ලෙව්වෙගොඩවත්තෙ ගියා ම එතැන ඉන්නවා වැඩ කරන කෙනෙක්. එයාට අපි කිව්වා මේ බිත්තිවල ළා අළු පාටක් ගාන්න කියලා. ඊට පස්සේ අපි කිව්වා, ඒක ටිකක් ඒජ් කරන්න කියලා. ඒ කියන්නේ ඒවා පාවිච්චි කරනවා කියලා පේන්න ඕන. අපේ තියෙන ලොකු අඩුවක් තමයි, චිත්‍රපට තුළ දේවල් පරණ පාටට හැරෙව්වාට ඒ දේවල් භාවිත කරලා තියෙනවා කියලා පේන්නේ නැහැ. අලුතෙන් හදාපු පරණ ඒවා වගේ තමයි, ඒවා පේන්නේ. එතකොට අපි මුළු ෆිල්ම් එකේ ම සෙට්ස්, කොස්ටියුම්ස් සහ ප්‍රොබ්ස් කියන තුන ම හැම වෙලාවේ ම පීරියොඩික් ලයින් එකේම තියාගත්තා.

සිනමාපටය පිළිබඳව කියවපු එක තැනක මම දැක්කා මේ සිනමා පටය රූගත කරලා තිබෙන්නෙ ලෝකයේ තිබෙන හොඳම කැමරාවෙන් බව. ඒ ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද ?

අපි මේක ෂූට් කළේ ඇරි ඇලෙක්සා එක්ස්. එක්ස්. ටී. කැමරා එකෙන්. ඒක තමයි, දැනට ලෝකයේ තිබෙන සිනමාව සම්බන්ධයෙන් හදපු හොඳ ම ඩිජිටල් කැමරාව. ඒ කැමරාවෙන් කැප්චර් කළා ම තිබෙන ප්‍රශ්නය තමයි ඒකෙන් අපිට සාමාන්‍ය ජීවිතයේ පේනවටත් වඩා පැහැදිලිව පේනවා. එතකොට ඩීටේල්ස් වැඩියි. එතකොට අපි කළේ මොකක් ද? අපි හැදුවා ග්‍රේන් එකක්. ග්‍රේන් එකක් කියලා කියන්නේ, අපි ඔය පරණ චිත්‍රපට බලද්දී පොඩි පොඩි ඩොට් තියෙන්නේ. ඔය හැත්තෑව දශකයේ ‘ඉටැලියන් ජොබ්’, ‘බෙන්හර්’ වගේ චිත්‍රපටවල තියෙනවා, පොඩි ග්‍රේන් එකක්. අපි ඒ ග්‍රේන් එක ෆිල්ම් එකට ඇඞ් කළා. ඒ ග්‍රේන් එක ඇඞ් කරපුවා ම මේක හරියට අර සෙලොලයිඞ් (35 මි.මී.) ෂූට් කළා වාගේ තමයි පේන්නේ. ඇත්තටම එහෙ ම කළේ අපිට ඇත්තට ම නොස්ටැල්ජියා එකක් තියෙනවා ඔය අසූව දශකය ගැන කතා කරන කොට. ඒ දවස්වල අපේ චිත්‍රපටවල තිබුණේ, සෙලෝලයිඞ් එක විතරයි. එතකොට සෙලෝලයිඞ් එකේ ලුක් එක ආපු ගමන් නැවත දන්නෙ ම නැතිව අර කාල පරිච්ඡේදයට අපිව අරගෙන යනවා. එතකොට කවුරු හරි ඇහුවොත්, එහෙනම් මොකට ද අච්චර හොඳ කැමරාවකින් ෂූට් කළේ කියලා. නමුත්, ඇත්තට ම එහෙ ම කරලා තියෙන්නෙ පෝස්ට් ප්‍රඩක්ෂන් ප්‍රොසෙස් එකේ දී ගොඩක් වැදගත් වුණා අපිට ඒ කැමරාව භාවිත කිරීමත්, ඊට පස්සේ අර ග්‍රේන් එක දැමීමටත්. හැබැයි ලංකාවේ අපේ අය බයයි, ග්‍රේන් කරන්න. නමුත්, අපි ඉමේජ් එක පල්ලෙහාට බස්සලා තියෙන්නේ. ඒ බස්සපු එකෙන් තමයි, අර යුගයට අපිව අරගෙන යන්නේ. එතකොට අපේ මිනිස්සුන්ගේ තිබෙන සෙලෝලයිඞ් එක මිලිමීටර් 35 කියන ෆිල්ම් එකට තිබෙන නොස්ටැල්ජියා එකත් එක්ක ඒ අතීත කාමයත් එක්ක තමයි, මේක කළේ.

කලාකරුවෙක් ලෙහෙසියෙන් තමන්ගේ නිර්මාණය ගැන සෑහීමකට තෘප්තිමත් භාවයකට පත් වෙන්නෙ නැහැ. මේ සිනමාපටය ගැන ඔබටත් තිබෙන්නෙ එවැනි ආකල්පයක්මද?

ඒ අතෘප්තිමත්භාවය නිසා ම තමයි, අපි තව චිත්‍රපටයක් කරන්නේ. කලාකරුවෙක් තෘප්තිමත් වෙනවා කියන්නේ, ඔහු එතැනින් නතර වෙනවා කියන එක. මේකෙත් මට බලන බලන හැම වාරයේ ම හිතෙනවා, අර ෂොට් එක වෙන විදියකට ගන්න තිබුණා, මේක මෙහෙම කරන්න තිබුණා කියලා. එතකොට පොදුවේ බැලුවොත්, මට මම ෂූට් කරපු චිත්‍රපට ඒ මොහොතේ ම රසවිඳින්න බැහැ. හැබැයි, සිනමාවේ තිබෙන ලස්සනම දේ තමයි, ඕඩියන්ස් එකත් එක්ක බලද්දී නැවත බලන්න පුළුවන් වීම. ඕඩියන්ස් රිඇක්ෂන් එක මාරයි. මම ෂූට් කරපු චිත්‍රපට බලන්න ගියා ම මම කරන්නේ පළමුවැනි පේළියේ ඉඳගෙන හැරිලා විටින්විට මිනිස්සුන්ගෙම මූණු දිහා බලන එක. මිනිස්සු කොහොම ද මේකට රිඇක්ට් කරන්නෙ. මගේ ස්ටඩි එක තියෙන්නේ එතන. මගේ තෘප්තිය තියෙන්නේ එතන.

එතකොට මේ චිත්‍රපටය එදා තරංගනී ශාලාවේ පෙන්නන කොට මම ගිහිල්ලා, ඒකේ මැද බිම ඉඳගත්තා. මට ඕන වුණා මිනිස්සු මැද ඉඳගෙන මේක බලන්න. මම මිනිස්සු දිහා බලාගෙන ඉන්නකොට මම දැක්කා විනාඩි දහයෙන් දහයට මිනිස්සු හුස්ම ගන්න විදිය වෙනස් වෙනවා. ටික ටික ගිහිල්ලා, අවසානය වෙන කොට මට දැනුණා, වටේ ඔක්කො ම අඬනවා. එතකොට තමයි, මට දැනෙන්නෙ දැන් තමයි මම චිත්‍රපටය බලන්නෙ කියලා. ඇත්තට ම මේ චිත්‍රපටයෙන් තමයි, මට තේරුණේ චිත්‍රපටයක් කියන එක තනියම බලන්න පුළුවන් එකක් නෙවෙයි කියලා.
————————–————————–————————–

භාතිය ගුණසේන

Share

3 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.