චිත්‍රාංගනී පවා විස්මයට පත්කරන සුලෝචනා – Lasantha De Silva

Avatar Nisanka Weheraduwa | January 31, 2019 8 Views 0 Likes 0 Ratings

8 Views 0 Ratings Rate it

සටහන : Lasantha De Silva

************************************************************

බණ්ඩාරවෙල සීගිරි සිනමා හලේ විදුලි එළි නිවාදමන්නට මොහොතකට පෙර මම ඇය ඇමතුවෙමි. “මං ඔයාව බලන්න ආවා”.

සුලෝචනා වීරසිංහ මුලින්ම මා හඳුනාගන්නේ ආචාර්ය රංග කලංසූරියගේ මැදිහත්වීම නිසාය. ඒ වාර්තා චිත්‍රපටයක පිටපතක් වෙනුවෙනි. ඉන් ඇරඹි මිතුරුකම නිසා ඇය ජයනි හා රුවනිගේ සමබිම වැඩකටද මා අනුව ආවාය. එදා සුලෝචනා මගේ මතකයේ නිධන්ව සිටියේ ටෙලි දැන්වීමක ගැමි කෙල්ලක ලෙසයි. අද මට සිනමා හලේදී මුණගැසුණේ ලාංකීය සිනමාවේ අනාගත භාව රංගවේදිනියයි. අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සිංහල සිනමාව විෂයෙහි සිදුකරන වැදගත්ම රෝපණය සුලෝචනා යැයි පැවසීම අර්ථ විරහිත නොවේ. සුලෝචනා රංග කාර්ය හඳුනාගැනීමට සුහුරු බවක් දැක්වූ ශිල්පිනියක්ය යන්න ගැන කිසිම විවාදයක් නොවෙතත් මේ චිත්‍රපටයෙහි ඇගේ රංග කුසලතාව කූටප්‍රාප්තියට පැමිණ ඇතැයි සිතේ. එය වෘත්තීය රංග කාර්යයකි. කැමරාව ග්‍රහණය කරගන්නා ඇගේ සෑම රූපයක්ම කුමන කෝණයකින් දිස් වුවද දෘඩ හා අචල බවක් පෙන්නුම් කරන බව හැඟේ. ඒ සිනමා අධ්‍යක්ෂවරයා අපේක්ෂා කළ රංගනය නම් ඔහුට උසස් අස්වැන්නක් ලැබී ඇත. මෙවැනි භාව රැඟුමක නිරතවන්නට සුලෝචනා සමත්ව ඇත්තේ ඇය සතු හැදෑරීම නිසාමය. විජේවීරගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරන චිත්‍රාංගනීට ඒ බලහත්කාරී විවාහය නිසා කුටුම්භගතවීමට සිදුවීමේ පුද්ගල ඛේදය අනාවරණය කෙරෙන භාවාත්මක රූප රාමුව යුවලගේ මංගල සේයාරුවයි. එහිදී චිත්‍රාංගනීව රඟන සුලෝචනා වීරසිංහ දක්වන රංග ප්‍රතිභාව සැබෑ චිත්‍රාංගනීද විස්මපත් කරන්නට තරම් වනු ඇත. ඇය සිය චරිතය තුළ මුහුකුරා යන්නේ ක්‍රමානුකූලවය. විජේවීර ප්‍රතික්ෂේප කරන යුවතියකගේ සිට ඔහුගේ පියඹ බවට පත්ව, සක්‍රිය දේශපාලනයේ නිරත නොවූවද සිදුවෙමින් පවතින දෑ පිළිබඳ සවිඥාණික ගැහැණියක දක්වා රූපාන්තරණයකි ඒ. නිවසට පොලීසියෙන් පැමිණි අවස්ථාවේ “දැනටමත් ඉන්නෙ හිරේ” යනුවෙන් ප්‍රතිචාර දැක්වීම, වෙස් මාරුකර සංක්‍රමණික ජීවිතයකට එළඹීම, විජේවීර අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වන තීන්දුවලට එළඹෙන්නට සිදුවීම වැනි සැබෑ චිත්‍රාංගනී මුහුණ දුන් එකිනෙකට වෙනස් අවස්ථා හා සිද්ධි නිරායාසයෙන් නිරූපණය කරන්නට සුලෝචනා සමත්වී ඇත. ඇතැම් සයිබර් අවකාශ විචාරකයින් පෙන්වා දීමට උත්සාහ ගෙන තිබූ තරමට විජේවීර බිරිය නිශ්ක්‍රීය මානව ප්‍රාණියෙකු නොවන බව මේ තුරුණු නිළිය පෙන්වා දෙයි (සැබෑ භූමිකාව කවරක් වුවත්).
මේ කෘතියෙහිලා අද්වීතීය රංගධරයා කමල් අද්දරආරච්චිගේ රංග භාවිතය පිළිබඳ යමක් පවසන්නට තරම් මා නිස්සෙක් නොවේ. ඔහු කරදිය වළල්ල තරණය කරන්නට සුදුසුකම ඇත්තෙක් බව යළි සනාථ කර අැත.
අනුරුද්ධ ජයසිංහ සිනමාව දෘශ්‍ය කාව්‍යයක් බව පසක්කර⁣නුයේ ස්වීඩන ජාතික මහා සිනමාකරු ඉංග්මාර් බර්ග්මාන් පවසා ඇති පරිදි ගෙවුණු යුගයේ ඕනෑම ඉන්ද්‍රජාලිකයෙකු කවර නම් හෝ දෙයක් පුදා තමන් සතු කරගන්නට මැලි නොවන සිනමා කැමරාව ඔහු සතු කරගනිමින් ඉන්ද්‍රජාලික සිනමාකරණයක නිරත වෙමිනි. ඔහු සිය කෘතියට අමුණා ඇති තෝරා බේරාගත් රූපරාමු සියල්ල වෙන වෙනම ගෙන රසවිඳිය හැකි කවිය. ඒවායෙහි වර්ණ සංයෝජනය, ළඟ දුර, ආලෝක මෙහෙයුම සහ කැමරා කෝණ සියල්ල විශිෂ්ඨ කෘතියක අමුද්‍රව්‍යයි. මෙහිදී කැමරා අධ්‍යක්ෂවරයා හා සෙසු ශිල්පීන් ලබා දී ඇති දායකත්වය ඇගයීම අනුරුද්ධ සතු කාර්යයකි. කාලවර්ණ පසුබිමෙහි දුර හඟවමින් මධ්‍යයේ කුඩාවට පෙනෙන නිවසේ දසුන විශිෂ්ඨ සිනමා රූපකයකි. කතරගම කැලයේදී විජේවීර ඇතුළු පිරිස පෙනී සිටි ඡායාරූපය සිනමා පටය හා ගැලපීම ප්‍රබල උපක්‍රමික එළඹුමකි. ආලෝකය, වර්ණ හා දුර මනා සංකලනයෙන් නිමැවූ කවි රූප මවන භාව කම්පිතව පුපුරා යන්නේ කෘතියෙහි අති විශිෂ්ඨව සංයෝජනය වී ඇති සංගීතයෙනි. කෙසේවෙතත් ඇතැම් රූපරාමු සමග කැමරාව දුවවන්නට උත්සාහ ගැනීමෙන්දෝ තැනක දෙකක ගැස්සෙන ස්වභාවයක් දැණුනේ මගේ දෙනෙතට පමණක්දැයි කල්පනා කරමි.
අවසන කිවයුතු වන්නේ මේ අපේ සිනමාව පිළිබඳ ආදරය දනවන මොහොතකට අප කැඳවාගන්නකි. එනමුත් ඇතමුන් අවලාද නගා තිබුණේ මේ සිනමා කෘතියෙන් කතා කර ඇත්තේ විජේවීර තැන් මාරු කිරීම ගැන පමණක් ලෙස හෝ ඔහුගේ අණින් සිදුවූ ඝාතන ආදිය ගැන කිසිවක් කතා නොකිරීම වරදක් ලෙසය. තවදුරටත් කාට හෝ එසේ සිතෙන්නේ නම් කිව යුත්තේ එවැනි සිනමා පතරංගයක් නිර්මාණය කිරීමේ වුවමනාවක් අධ්‍යක්ෂවරයාට නොතිබෙන්නට ඇති බවයි. ඇරත් සිනමාවටද ජීවිතයෙන් පෙත්තක් පෙන්වීමේ අයිතිය නැතිද?
මේ කෘතිය කිසියම් නිර්මාණ පර්යේෂණ කාර්යයක් හා ඈදෙමින් බිහිවූ බවද සටහන් කිරීම යුතුකමෙකි. ඒ වෙනුවෙන් අපේ සුමිත්‍ර ජයසිරි ජයසේකරද දායක වී තිබේ.

– Lasantha De Silva –

Share

8 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.