ජලයේ අඳුර සහ බෝතලයේ අනාගතය – අනුෂා සිවලිංගම්ගේ සටහනක්

Avatar Nisanka Weheraduwa | August 28, 2018 3 Views 0 Likes 0 Ratings

3 Views 0 Ratings Rate it

උපුටාගැනිමකි.

********************************************************************

සටහන : අනුෂා සිවලිංගම්

அறம் – අරම්

ලෝකයේ බොහෝ රෝග වලට බෙහෙත් සොයා තිබුනේද, පිපාසය නමැති රෝගයට බෙහෙතක් තිබේද? මේ කියන්න යන්නේ පිපාසයට තිබෙන එකම බෙහෙත ගැන.

“ වැස්ස නැතිව මාස ගානක් හිටියත්, අපිට බොන්න වතුර නැති වුණේ නැහැ. කවදද මේ බෝතල් වතුර ආවේ, එදා ඉදන් තමයි අපිට වතුර නැති වුණේ.”

“අපි දන්නවා අපි හැමෝටම වතුර නැහැ කියලා, ඒත් මේ බෝතල් කාරයින්ට කොහෙන්ද වතුර?”

ජලයේ අඳුර සහ බෝතලයේ අනාගතය ගැන බියක් ඇති කරන්න නිර්මාණය කළ චිත්‍රපටයක් තමයි අරම්. අද අපිට ස්වභාව ධර්මයෙන් ලැබෙන ජලය තව අවුරුදු කිහිපයකින් නැති වෙලා යනවා. එහි පූර්ව පෙර නිමිති තමයි ෆිල්ටර් සහ පාට පාට වතුර බෝතල්. ෆිල්ටර් සහ වතුර බෝතලේ විප්ලවය තාම දැනිලා තියෙන්නේ නගරයට විතරමයි කියල කියන්න බැහැ. එක් ආකාරයකින් රසායනික ද්‍රව්‍ය මිශ්‍රණය නිසා ගමේ උදවියත් දැන් වතුර බෝතලේ භාවිතයට හුරු වෙලා. ඉන්දියාවේ ගම් වලටත් වතුර පැකට්ටුව පැමිණිලා ගොඩක් කල්.

සමහරෙකුට මතක ඇති bottle life වාර්තා චිත්‍රපටය. ඒකෙන් කතා කරන්නෙ ගෝලීය දේශපාලනය සහ ජල අඳුර ගැන. ගෝලීය දේශපාලනය ව්‍යාපෘතිය දේශීය දේශපාලනය විසින් සාක්කුවට දා ගන්නා ආකාරය සහ පිපාසයේ බලපෑම බියක් දැනවෙන ආකාරයෙන් කියා දෙන චිත්‍රපටයක් පසු ගිය වර්ෂයේ ඔක්තෝම්බර් 10 වන දා තිරගත වුණා.

ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ඉන්දියාවත් ජල හිඟයේ පිපාසය භුක්ති විදිමින් සිටින ප්‍රජාතාන්ත්‍රික රටක් නිසාම, ඒ පිපාසයේ අරුමය ගැන කියා ඉන්දියානු ජාතික අරම් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක ගෝපි නෛනාර් (Gopi Nainar) අපිව බය කරනවා. ඉන්දියාව න්‍යෂ්ටික අවි හදන්න, රොකට් යවන්න තාක්‍ෂණය තිබෙන රටක්. ඒත් ඉන්දියාවේ මිනිසුන් යම් කරදයක සිටින විට එයින් ඔවුන්ව බේරා ගැනීමට නොහැකි අපූරු තාක්‍ෂණයක් තමයි ඔවුන්ට තිබෙන්නේ කියා කියන්නෙ අරම් සිනමා කෘතිය. අධ්‍යක්‍ෂවරයා කියන්නෙ ඉන්දියාවේ ගමක මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති වුණොත්, එක්කෝ ඔවුන්ම ඔවුන්ව බේරා ගන්න ඕන, නැතිනම් මිය යන්න ඕන කියල. රොකට් යවන්න, අවි නිෂ්පාදනය කරන්න තාක්‍ෂණය දියුණු වෙලා. ඒත් මිනිසුන් කරදරයක වැටුණු විට ඔවුන්ව බේරගන්න තවමත් තාක්‍ෂණයක් නිෂ්පාදනය වෙලා නැහැ. ගෝපි නෛනාර් චිත්‍රපටය නිර්මාණය කරලා තිබෙන්නේ තාක්‍ෂණයට නොහැකි ආත්ම ශක්තියක බලය ගැන ලෝකයට කියන්න. මිනිස් සෙනෙහස නිසා තාක්‍ෂණයේ නොහැකියාවට ජයග්‍රාහීව මුහුණ දීම ගැන. දේශපාලනය සහ රාජ්‍ය සේවය ගැන. ඒ වගේම අඳුර නමැති ආකල්පයේ ආලෝකය ගැන.
චිත්‍රපටයේ ආරම්භයේ පෝලියෝ එන්නත විදින්න ගමට පැමිණෙනවා නර්ස් නෝනා කෙනෙක්. සෞඛ්‍ය වර්ධනය ගැන සිතනා රාජ්‍ය ඇයි ජලය ගැන නොසිතන්නෙ කියල ප්‍රශ්නයක්.

“ඉස්සර ලෙඩ හැදිලා මිනිස්සු මැරුණා. දැන් තිබහ හැදිලා මිනිස්සු මැරෙන්න යන්නෙ”

ඒ අතරේ ගම් වැසියෙක් අධික පිපාසයෙන් ඇවිත් අසන්නේ වතුර තිබෙනවද කියලා. ඇය වතුර නොදී බීම බෝතලයක් දෙන්න හදනවා. ඒ පැණි බීමට වඩා වතුර මිළෙන් වැඩි නිසා නෙමෙයි, වතුරේ අවශ්‍යතාවය පැණි බීමෙන් හිලව් නොවන නිසා. “එපා මැඩම්, ඕක බිව්වොත් උග්‍ර රිදේවි” කියල ඔහු කියනවා. මිනිසාගේ අවශ්‍යතාවයක් වූ ජලය අද පැණි බීම බවට පත් වීමේ අසිරිය එයින් තේරුම් ගන්න පුළුවන්. ඇය ඔහුගේ දුවට පෝලියෝ විදීම, වතුර කල ගෙඩි ඉවත් කර එය පින්තූරයක් ගැනීම සහ එය විශාල බැනරයකට එල්ලීම තුළ සෞඛ්‍ය සහ වෙළඳාමේ අපූරුව පෙන්වනවා. මේ අවස්ථාවේ මහා විශාල පිරිසක් කල ගෙඩි ගැටගසා මෝටර් සයිකල් වලින් යන්නේ වතුර සොයා. කෙනෙක් කියලා යනවා මෙහෙම,

“විදින්න කියපං, විදින්න කියපං තිබහ හැදෙන්නෙ නැති බෙහෙතක්”.

මේ වගේ මේ චිත්‍රපටයේ තිබෙන සෑම වචනයක් පාසාම, ඉතා සූක්‍ෂම ලෙස විවේචනය, සහ චින්තනයට මාර්ග කියා දෙනවා. මේ චිත්‍රපටයේ සෑම දර්ශනයකින්ම, සමාජ අසාධාරණ හා සූරාකන දේශපාලනයේ දුක්ඛිත යථාර්ථය අපට මතක් කර දෙනවා.

ජලය නැති වී ගිය ගමක ජලය තිබේදැයි බලන්න හාරන අධි ගැඹුරු ළිං වල ගැඹුර අඩි එකසිය ගණන්. ඒත් වතුර නෑ. විශාල ළිං හාරපු උදවිය යන්නේ ඒවා නොවසා. මිනිසුන් කිහිපවරක්ම ඒවා වසන්න කියල කිව්වත්, වෙන්නෙ නැහැ. දවසක පෝලියෝ විදපු වයස අවුරුදු 4 ක දියණිය ඒ එක් ලිඳකට වැටෙනවා. ඒ ළිං වල පළල හරියට අපි පුංචි කාලේ හාරන ළිං තරම්. ඉතා පොඩියි. ඒත් මේ දරුවව උඩට ගන්න ඉන්දියාවේ රජයට බැරි වෙනවා. අවි නිපදවන ඉන්දියාවේ රජයේ තාක්‍ෂණය තාමත් තිබෙන්නෙ කඹයක. රජයේ නිලධාරීන් පුළුවන් හැටියට උත්සාහ කරත්, ඉහළ නිලධාරීත්වය, දේශපාලනය උත්සාහ කරන්නෙ එය නවත්වන්න. ඒ අතරෙ මාධ්‍ය මේ ගැන විද්වතුන් ගෙනවිත්, රජයේ වගකීම ගැන සාකච්ජා කරනවා. ඒවා හරියට මට නම් හිතෙන්නෙ මිනිස්සු මැරෙන විට, මිනිසුන්ව මරණ විට මානව හිමිකම් ගැන AC කාමර වල ශෝටීස් කකා කතා කර කර ඉන්නවා වගේ වැඩක්. දරුවා ලිඳට වැටුණු සැනින් මාධ්‍ය පොරකනවා තොරතුරු ගන්න. මාධ්‍යවේදිනියක් එතනට ඇවිත් සජීවී විස්තරකතනයක් කරන්නෙ “කෘෂිකාර්මික ගමක ලිඳක… “ “ හෝ මේ නෝනා ඕක නවත්වන්න. කොහෙද අපි ගොවිතැන් කරන්නෙ, කොහෙද වතුර තියෙන්නෙ?”
මිනිසුන් දන්නවා රජය කිසිඳු දෙයක් නොකරන බව. ඒ නිසා ඔවුන් කරන්නෙ තව දරුවෙකුව කඹයකින් ගැට ගසා ඒ අධි ගැඹුරට දමා අනෙක් දරුවාවත් උස්සන එක. උත්සාහය සාර්ථකයි. අවසානය එතෙක් මිනිසුන් සමඟ මිනිසුන්ගේ උත්සාහයට කන් දෙමින්, දේශපාලන බලපෑම් මත දරුවාව උඩට ගැනීමට වෙර දැරූ දිස්ත්‍රික් ලේඛම්තුමියගේ වැඩ තහනම් වීම.

“දැන් ගම් වලට ස්මාර්ට් ෆෝන් ඇවිත්, ඒවට ඉන්ටර්නෙට් ඇවිත්, ඒත්, වතුර…? “

හැමෝම දන්නවා, දකුණු ඉන්දියාවේ සිනමා සංස්කෘතිය ගැන. ඉතාම විනොදකාරී, සෑම මිනිසෙකුගේම ජීවිතය හා බද්ධ වුණු සිනමාලෝලීත්වය ගැන. සටන් කලාව, වේගවත් සංගීතය, වර්ණ, තරු සහිත වාණිජ සිනමාවේ ජනප්‍රියත්වය සමඟ උරෙන් උර ගැටී තරඟ කිරීමට හැකිවුණා අරම් චිත්‍රපටයට. දකුණු ඉන්දියානු සිනමාවේ අංක එකටත් ඒසේම තෙලිඟු සිනමාවේත් දිදුළන, රඟ දක්වන සෑම චිත්‍රපටයක්ම අතිශය ජනප්‍රිය වන, එක් වර්ෂයකදී පවත්වනු ලබන ඉන්දියාවේ සෑම සම්මාන උළෙලකදීම හොඳම නිළිය සහ ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලබා ගන්න නයන් (නයන්තාරා) තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. නළුවෙක් නැති, රොමෑන්ටික් සංගීතය නැති මෙම චිත්‍රපටයේ ගීත දෙකක් යොදා ගෙන තිබෙනවා. එයින් අදහස තවත් තීව්‍ර වෙලා තියනවා.

2018 Ananda Vikatan සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය, හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය සහ හොඳම නිළියට හිමි සම්මානය මෙම චිත්‍රපටය හිමි කර ගන්නවා. 2018 Norway Tamil Film සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය ලැබුණා. 65th Filmfare Awards South සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම නිළියට හිමි සම්මානය ලැබෙනවා. 10th Vijay Awards සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය, ජනප්‍රියම නිළියට හිමි සම්මානය සහ හොඳම ගීත රචනයට හිමි සම්මානය ලැබෙන්නෙ අරම් චිත්‍රපටයට.

සමාජ වගකීම, දේශපාලනය, ජලයේ යුද්ධය අනාගත පිපාසිත ලෝකය ගැන බයක් දනවන චිත්‍රපටයක්. ගොඩක් දෙනෙක් කිව්වේ මේක හරියට වාර්තා චිත්‍රපටයක් වගේ කියලා. අනාගත වාර්තාවක් ගැන වාර්තාවක් තැබූ චිත්‍රපටයක් කියලයි මට නම් හිතෙන්නෙ.

අනුෂා සිවලිංගම්

Share

3 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.