ජැක්සන් ‘සීරුවෙන්’, ළඟදීම ඔබේ සිනමාහලට

Avatar Kavinu Weerakkody | May 21, 2023 153 Views 0 Likes 0 Ratings

153 Views 0 Ratings Rate it

මෙරට සිටින දක්ෂ රංගධරයෙකු වන ජැක්සන් ඇන්තනිගේ පෙරළිකාර රංගනයෙන් හැඩ වුනු නවතම නිර්මාණයක් තමයි සීරුවෙන් (Attention) සිංහල චිත්‍රපටය. නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට නිකුත් වීමට නියමිත මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සුදේශ් වසන්ත පිරීස් විසිනුයි.
සීරුවෙන් (Attention) චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ විශ්‍රාමික – අන්ධ හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ නිවසට හොරෙන් ඇතුළු වන මංකොල්ලකරුවන් තිදෙනෙකුගේ කතා පුවතකුයි.

කඳුකරයේ නිවසක හුදෙකලාව ජීවත් වන මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා ස්වභාවයෙන් අන්ධ වුවත්, නිතරම බොහොම විමසිල්ලෙන් ජීවත් වන පුද්ගලයෙක්. පිටස්තර කිසිවෙකුගේ ඇසුරකින් තොරව, තනිව වෙසෙන මොහු ගැන දැනගන්නා සොරුන් තිදෙනෙකු මෙම විශ්‍රාමික හමුදා නිලධාරියාගේ නිවසට ඇතුළු වී එහි තිබෙන දේ මංකොල්ල කෑමට සැලසුම් කරන්නේ මේ අතරතුරේදීයි.

එක්තරා රාත්‍රියකදී ඔවුන් එම හමුදා නිලධාරියාගේ නිවසට ඇතුළු වුවත්, සොරුන්ට සිය සැලසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ, නොසිතූ තරමේ භයානක අත්දැකීමකට මුහුණ දීමට ඔවුන්ට සිදුවන නිසායි. නොසිතූ ආගන්තුකයෙකුගේ පැමිණීමත් සමඟ අවසානයේදී මංකොල්ලකරුවන්ට සිදුවන්නේ සිය ජීවිත බේරා ගැනීම උදෙසා සටන් කිරීමටයි.

කඳුකරයේ හුදෙකලාව අන්ධ හමුදා නිලධාරියෙකු විසින් රකින රහස කුමක්ද? මංකොල්ලකරුවන්ගේ ජීවිතවලට අත්වුනේ කුමන ඉරණමක්ද? මේ සියල්ලටම පිළිතුර තිබෙන්නේ සුදේශ් වසන්ත පිරීස් අධ්‍යක්ෂණය කළ, ජැක්සන් ඇන්තනි ප්‍රධාන චරිත රඟන, සීරුවෙන් (Attention) සිංහල සිනමාපටය තුළයි.

චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය පහතින්:

මීට මාස කිහිපයකට පෙර කොළඹ ස්කෝප් සිනමා පරිශ්‍රයේදී නලු නිළියන් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වූ අතර එහිදී බොහෝ දෙනෙකුගේ ධනාත්මක පැසසුමට භාජනය වීමටත් සීරුවෙන් සිනමාපටයට හැකියාව ලැබුනා.

මෙහි පළමු මහජන ප්‍රදර්ශනය පැවැත්වුනේ ඉකුත් මාසයේදී ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසදයෙන් සංවිධානය කළ “DGSL සිනමාභිමාන” උළෙලේදීයි. එහිදී දිවයින පුරා සිනමාහල් 30කට ආසන්න ප්‍රමාණයකදී සීරුවෙන් චිත්‍රපටයේ එක් සීමිත දර්ශනවාරයක් තිරගත වුනා.

ජැක්සන් ඇන්තනි රිය අනතුරට මුහුණ දීමට පෙර රඟපෑ අවසන් චිත්‍රපට කිහිපයෙන් එකක් වන මෙය, 2020 වසරෙන් පසුව රසිකයින්ට ඔහුව ප්‍රධාන චරිතයකින් දැකගන්නට ලැබෙන පළමු අවස්ථාව ද වනවා. ජැක්සන් ඇන්තනි රිය අනතුරට මුහුණ දුන්නේ සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කළ “සිංහබාහු” හි රූගත කිරීම් අතරතුරේදීයි.

සීරුවෙන් චිත්‍රපටය තුළ ඔහු රංගනයෙන් දායක වන්නේ අන්ධ සහ විශ්‍රාමික හමුදා නිලධාරියාගේ චරිතයටයි. ජැක්සන් ඇන්තනිට අමතරව බුද්ධික ජයරත්න, දසුන් පතිරණ සහ ඩිස්නි රාජපක්ෂ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. සේමිණී ඉද්දමල්ගොඩ, සුදත් ඇන්තනි සහ ශෙනුලි පීරිස්වත් සෙසු භූමිකා තුළින් දැකගත හැකියි.

මෙහි අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද සුදේශ් වසන්ත පිරීස් විසිනුයි. එමෙන්ම මෙය නිර්මාණය කර තිබෙන්නේ Fede Álvarezගේ Don’t Breathe නැමැති ලෝ පුරා ජනප්‍රිය හොලිවුඩ් සිනමාපටය අනුසාරයෙනුයි.

සුදේශ් වසන්ත පිරීස්, මෙරට වාණිජ සිනමාවේ පුරෝගාමියෙකු වන සුනිල් සෝම පීරිස්ගේ පුත්‍රයා වන අතර 1997 වසරේදී ‘රත්තරන් මිනිහෙක්’ අධ්‍යක්ෂණය කරමින් ඔහු සිනමාවට පිවිසුනා.

ඉන්පසුව රන්ජා, මගේ යාලු මාලු, රන් සයුර, ජීවිතේ ලස්සනයි, නිදි යහන කැළඹෙයි, පිස්සු පූසෝ ආදී වාණිජ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සුදේශ් වසන්ත පිරීස් අවසානයට නිර්මාණය කළේ හුස්ම – The Breath (2019) චිත්‍රපටයයි. සමාජ මාධ්‍ය තුළ පවා කතාබහට ලක්වූ එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ දසුන් පතිරණ, චමත්කා ලක්මිණි, පුබුදු චතුරංග සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි විසිනි.

සීරුවෙන් (Attention) සිංහල චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ගාමිණී මොරගොල්ලාගමගෙනි. සරත් සමරවික්‍රම මෙහි කලා අධ්‍යක්ෂකවරයායි. පසුබිම් සංගීතය නිර්මාණය කර තිබෙන්නේ කේශාන් පෙරේරායි. වසන්ත කුමාරවිලගේ කැමරා අධ්‍යක්ෂණයෙන් සහ සසික රුවන් මාරසිංහගේ ශබ්ද සැලසුම්කරණයෙන් චිත්‍රපටය සම්පූර්ණ වී තිබෙනවා. සීරුවෙන් (Attention) හි සංස්කරණය අනුර බණ්ඩාර විසිනුත්, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර විසිනුත් සිදු කර තිබෙනවා. නිෂ්පාදන කළමනාකරණය තුශානි වීරක්කොඩිගෙනි. චමත්කා පීරිස්ගේ ගීත ගායනයෙන් හැඩවුනු මෙහි වේශ නිරූපණ කටයුතු සිදුව තිබෙන්නේ තාරක අධිකාරී – රන්දික ටිශාන් එකතුවෙනි.

සීරුවෙන්, නිල්කමල් චිත්‍රපට වෙනුවෙන් නිහාල් විජේසිංහගේ නිෂ්පාදනයකි.

මෙය නිහාල් විජේසිංහ – සුදේශ් වසන්ත පීරිස් සුසංයෝගයෙන් නිමැවූ දෙවන චිත්‍රපටය වන අතර සුදේශ් මීට පෙර අධ්‍යක්ෂණය කළ හුස්ම (Husma) චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද ඔහු විසිනි.

නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා ශාලාවලදී ක්‍රියාදාම – සටන් දර්ශනවලින් පිරුනු මෙම “සීරුවෙන්” සිනමාපටය නැරඹීමට ඔබට අවස්ථාව උදා වනු ඇති..!!

Share

153 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.