ජැක්සන් – හේමාල් – උදාරි රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” පූර්ව ප්‍රචාරකපටය නිකුත් වෙයි

Avatar Kavinu Weerakkody | January 28, 2023 2225 Views 0 Likes 3.67 On 3 Ratings

2225 Views 3.67 On 3 Ratings Rate it

ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟන “ක්ෂීර සාගරය කැළඹිණ” ලාංකීය සිනමාපටයේ පළමු – පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් වුනා.

මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ කුසපබා, පත්තිනි, බිම්බා දේවි හෙවත් යශෝදරා, විජයබා කොල්ලය වැනි මෑතකාලයේ ජනප්‍රිය වූ සිනමාපට රැසක් නිර්මාණය කළ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනුයි. 2019 වසරේදී තිරගත වූ “විජයබා කොල්ලය”ට පසුව තිරගත වන ඔහුගේ නවතම නිර්මාණය මෙයයි.

මෙරට සිටි විශිෂ්ට ගත් කතුවරයෙකු වන සයිමන් නවගත්තේගම රචිත “ක්ෂීර සාගරය කැළඹිණ” නැමැති නවකතාව අනුසාරයෙන් මෙහි තිර පිටපත රචනා කොට තිබෙන නමුත්, චිත්‍රපටය සහ නවකතාව අතරෙ හි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක්ම තිබෙන බවත් පැවසෙනවා.

මීට වසර 2කට පෙර 2021 ජනවාරි මාසයේදී “ක්ෂීර සාගරය කැළඹිණ” චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුනු අතර සිංහල කතානාද සිනමාවට වසර 74ක් සපිරීම ද එහිදී උත්සවාකාරයෙන් සැමරුවා. චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹුනේ ඉන් දින කිහිපයකට පසුවයි. මෙහි දර්ශන බහුතරයක් රූගත කළේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන පරිශ්‍රය ආශ්‍රිතවයි.

පහත සබැඳිය ඔස්සේ ඔබට මෙහි පූර්ව ප්‍රචාරක පටය නැරඹිය හැකියි.

සයිමන් නවගත්තේගමයන් රචනා කළ “ක්ෂීර සාගරය කැළඹිණ” ග්‍රන්ථයේ සඳහන් වන පරිදි තම අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගසන එම අධිරාජ්‍යයාගේම කතා පුවත මෙම සිනමාපටය හරහා ත් ප්‍රේක්ෂකයින්ට රස විඳීමට හැකියාව තිබෙනවා. නමුත් නිර්මාණයේ ගුණාත්මකබව සහ කතා රසය සඳහා ඇතැම් සිද්ධීන් කිහිපයක් අලුතෙන් ප්‍රතිනිර්මාණය කළ බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ…

ප්‍රධාන චරිත වශයෙන් මෙම සිනමාපටයේ දක්නට ලැබෙන්නේ ද, සයිමන් නවගත්තේගම රචිත නවකතාවේ සඳහන් වන අධිරාජ්‍යයා – කැරලිකාර නායකයා – පුරම්භිකාව යන භූමිකා ත්‍රිත්වයමයි.
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි විසින් අධිරාජ්‍යයාගේ චරිතයත්, තරුණ නලු හේමාල් රණසිංහ විසින් කැරලිකාර නායකයාගේ චරිතයත්, රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය විසින් පුරම්භිකාවගේ චරිතයත් නිරූපණය කරනවා.
උදාරි වර්ණකුලසූරිය – ජැක්සන් ඇන්තනි එකම සිනමාපටයක රඟපාන්නේ පළමු වතාවටයි.
ජනප්‍රිය රූපවාහිනී නලු රවීන් කනිෂ්ක විසින් “හිරිමලා” නැමැති උපප්‍රධාන චරිතයක් රඟ දක්වන අතර මෙය ඔහු රංගනයෙන් එක්වූ පළමු දිගු වෘතාන්ත සිනමාපටයයි.

ඊට අමතරව සරත් කොතලාවල, ලූෂන් බුලත්සිංහල, රුවන් පෙරේරා, කළණ ගුණසේකර, ගිහාන් ප්‍රනාන්දු, පියංකා සමරවීර සහ හරිනි කාව්‍යාංජනී වැනි දක්ෂ නලු නිලි පිරිසක් “ක්ෂීර සාගරය කැළඹිණ” හි සෙසු චරිතවලට රංගනයෙන් එක්වනවා.
රූපගත කිරීම් ආරම්භ කිරීමට පෙර චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් සියලු දෙනාටම පාහේ පුහුණු වැඩමුළු පවත්වා තිබෙන අතර අශ්වයන් පිටේ යෑම, ඇඳුම් ආයිත්තම් සහ භාෂා ව්‍යවහාරය වැනි කරුණු ගැන ඔවුන්ව පුහුණු කොට තිබෙනවා.

මෙහි කැමරා අධ්‍යක්ෂණය හසුරුවන්නේ චන්න දේශප්‍රිය විසිනුයි. හෝ ගානා පොකුණ, අසන්ධිමිත්තා, නිම්නයක හුදෙකලාව, ඇඩ්‍රස් නැහැ වැනි සිනමාපට 30කට අධික ප්‍රමාණයක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබෙන ඔහු මින් පෙර අවස්ථා කිහිපයකදීම මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟින් නිර්මාණකරණයේ යෙදී තිබෙනවා.
සුනිල් ආරියරත්න පෙරදී අධ්‍යක්ෂණය කළ කුසපබා – පත්තිනි – අලි කතාව – බිම්බාදේවි හෙවත් යශෝදරා – වියජබා කොල්ලය යන චිත්‍රපට සියල්ලටම කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය සම්බන්ධ වූ අතර මෙය ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවන සයවන සිනමා නිර්මාණයයි.

ක්ෂීර සාගරය කැළඹිණ සිනමාපටයේ දෙබස් සහ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද ‘අධිරාජ්‍යයාගේ’ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබා දෙන ජැක්සන් ඇන්තනි විසිනුයි. මෙරට සිටින ප්‍රවීණම සංගීතවේදියෙකු වන ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයෙන් හැඩ වන මෙහි ගීත ගායනය සඳහා විශාරද නන්දා මාලිනී එක්ව තිබෙනවා.
සංස්කරණය අජිත් රාමනායකයි. කලා අධ්‍යක්ෂකවරයා ධමිම්ක හේවාදුත්තයි. සටන් දර්ශන ඔසඳ සමන් බණ්ඩාර විසින් සැලසුම් කර තිබෙන අතර වස්ත්‍ර නිර්මාණය වෙනුක වික්‍රමාරච්චියි.
අංග රචනය ප්‍රියන්ත දිසානායකගෙනි; නර්තන වින්‍යාසය කපිල පළිහවඩනගෙනි; සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියගෙනි.
නිෂ්පාදන කළමනාකරු වශයෙන් එක්ව සිටින්නේ නිමල් විජේසිරි සේනාධීරයි. ඒ ඩී රංජිත් කුමාර යටතේ නිෂ්පාදන අධීක්ෂණය සිදුව තිබෙනවා.

“ක්ෂීර සාගරය කැළඹිණ” චිත්‍රපටයේ නිෂ්පාදනය සරසවි සිනෙරු (Sarasavi Cineru) වෙනුවෙන් එච් ඩී ප්‍රේමසිරි විසිනි. ද නිවුස්පේපර්, ඇල්බොරාදා, තණ්හා රතී රඟා, ගාඩි, ආකාස කුසුම්, සක්කාරං වැනි සම්මානිත චිත්‍රපට ගණනාවකම නිෂ්පාදකවරයා වන්නේ ඔහුයි.
එච් ඩී ප්‍රේමසිරිට අමතරව කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්ද්‍රි හපුතන්ත්‍රි මෙහි සම – නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කරනවා.

ළඟදීම දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාහල්වලදී ඔබට “ක්ෂීර සාගරය කැළඹිණ” නැරඹීමට අවස්ථාව උදා වනු ඇති..!!

Share

2225 Views 3.67 On 3 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.