ඩයස්පෝරාව, මේ කතා තේමාව පටලගෙන බවක් පෙනෙනවා.

Avatar Nisanka Weheraduwa | December 16, 2020 96 Views 0 Likes 5 On 1 Rating

96 Views 5 On 1 Rating Rate it

සටහන : තිලිණ මළලසේකර

“Funny Boy” නැරඹුවෙමි.
——————–
අද තමයි Funny Boy බලන්න ඉසිඹුවක් ලැබුණේ.
කුඩා කල පටන්ම වෙනස් ලිංගික චර්යාවක් ප්‍රකට කළ නිසාත්, සුළු ජාතිකයෙකු වීම නිසාත් ස්වකීය පවුල තුළිනුත්, පොදු සමාජය වෙතිනුත් අසමාන ලෙස සැලකීමකට ලක් වූ “ආර්ජි”ගේ කතාව තමයි Funny Boy සිනමා පටයට වස්තු විෂය වෙන්නේ.
හුඟක් අය, විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාව මේකේ තේමාව පටලවාගෙන ඉන්න බවයි මට පෙනෙන්නේ. එයාලා මේක දෙමළ අරගලය ගැන කරපු චිත්‍රපටයක් කියලා හිතාගෙන මේක නොබලාම විවේචන කරලා තියෙනවා දැක්කා. ප්‍රමාණවත් දෙමළ නළු නිළියන් නොමැති වීම, දෙමළ උච්ඡාරණය දෝෂ සහිත වීම, දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රකාශනයට ප්‍රමාණවත් ඉඩක් වෙන් කර නොතිබීම වගේ කාරණා තමයි ඒ විවේචකයෝ මතු කරලා තිබ්බේ.
ඒ විවේචක දෙමළ ඩයස්පෝරාවට “පයිත්තියං” කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේක ඇවිල්ලා කලා කෘතියක් මිසක් දේශපාලන ප්‍රකාශනයක් නෙමෙයි. ඉතිං මේ ඩයස්පෝරාව මේකට අකමැති ඇයි කියන එක, මං මේකට කැමති ඇයි කියලා පහලින් කියල තියෙන ටිකෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.
ආර්ජිගේ ආදර කතාව හැරුණාම මං Funny Boy චිත්‍රපටයට කැමති ඇයි?
ඒ චිත්‍රපටය තුළ මං වගේ වෙනස් විදිහට හිතන සිංහල සුළුතරයත් නියෝජනය වෙන නිසා(අනිල් / ශෙහාන්/ මිස්ටර් පෙරේරා)
මං වගේම හිතන ජාතිවාදී නොවන දෙමළ සුළුතරයත් නියෝජනය වෙන නිසා (ආර්ජි /ආර්ජිගේ පියා).
දැඩි මතධාරී දෙමළා නියෝජනය වන නිසා (ආර්ජිගේ මිත්තනිය)
සිංහල ජාතිවාදය විසින් විමුක්ති කොටින් වෙත තල්ලු කළ දෙමළ තාරුණ්‍යය නියෝජනය වෙන නිසා. (ජෙගන්)
සිංහල ජාතිවාදය විසින් කොටින් පිළිබඳව සානුකම්පිතව සිතීමට පොලඹවන ලද කොළඹ දෙමළ ප්‍රභූ පැලැන්තිය නියෝජනය වෙන නිසා. (ආර්ජිගේ මව)
ජාත්‍යාලයෙන් ඔද වැඩී දෙමළ ජනයාගේ චංචල දේපලවලට සුද්දය දී, ඔවුන්ගේ නිශ්චල දේපල හා ජීවිත විනාශ කළ සහ සරණාගතභාවයට පත් කළ දේශප්‍රේමී  මිනීමරු සිංහල මැරයන් නියෝජනය වන නිසා.
හවුලේ චිත්‍රපටයේ තිර නාටකය ලියූ ශ්‍යාම් සෙල්වදොරේ සහ දීපා මේතාටත්, එය අධ්‍යක්ෂණය කළ දීපා මේතාටත් චිත්‍රපටයේ සමාන්තර කතාවට මීටත් වඩා සාධාරණයක් කරන්න පුළුවන් යැයි මම හිතන්නේ නැහැ.
දැං මේ චිත්‍රපටයේ  ප්‍රධාන තේමාව හෙවත් ආර්ජිගෙ වෙනස් ලිංගික නැමියාව වෙත හැරුණොත් කියන්න තියෙන්නේ දීපා මේතා ඒක හරිම ලස්සනට නිරූපණය කරලා තියෙනවා කියලයි. ආර්ජිගෙ ළමා වියට පණ පොවන අරූෂ්, තරුණ වියට පණ පොවන Brandon සහ ආර්ජිගේ පෙම්වතා වන ශෙහාන්ගේ චරිතයට පණ පොවන රෙහාන් ඒ චරිතවලට උපරිම සාධාරණය ඉටු කරලා තියෙනවා. තේරෙන බාසාවෙන් කිව්වොත් කියන්න තියෙන්නේ “උන් හරිම ස්වීට්” කියලා තමයි ඉතිං.
නිම්මි හරස්ගම (ආර්ජිගේ මව) කියන්නේ මගේ ප්‍රියතම නිළියක්. ඉර මැදියමේ ඉඳං ආකාස කුසුම් වෙනකංම ඒ සිහින් සිරුරත්, ලොකු බෝල ඇස් දෙකත් මාව වසඟයට ගත්තා කිව්වොත් නිවැරදියි. මෙහි නිම්මිගේ චරිත නිරූපණයත් හරි ප්‍රභලයි.
පොදුවේ ගත්තාම Funny Boy කියන්නේ තිරනාටකය, චරිත නිරූපණය, දර්ශන පසුතල, සංගීතය, කැමරා කෝණ, අධ්‍යක්ෂණය  ආදී මේ සියල්ලෙන්ම ඒකාලෝක වුණු කලාත්මක පරිසමාප්තියෙන් යුතු සිනමා නිර්මාණයක් කියලා කියන්න පුළුවන්.
මේ චිත්‍රපටය නරඹද්දී මට නැගුණු ප්‍රශ්නයක් තමයි බහුතර සිංහල සිනමා රසිකයා (බහුතර සිංහල සිනමා රසිකයා යනු රටේම සිංහල බහුතරයේ හරස්කඩකි) මේ ආර්ජිගේ ආදර කතාව කොහොම ග්‍රහණය කර ගනීද කියන එක. කෙල්ලයි කොල්ලයි Love කරනවා රිදී තිරයෙන් බලා හිටපු අපි, කොල්ලො දෙන්නෙක් Love කරන හැටි රිදී තිරයෙන් බලා ඉන්න තරං පරිණතද සහ ශික්ෂිතද කියන ප්‍රශ්නය මට තියෙනවා. මේ වගේ සිනමා කෘතියකින් ඒ පරිණත හා ශික්ෂිත බව දසමෙකින් හරි වැඩි කරගන්න පුළුවන් වුණොත් ඒක අපි ලබන විශාල ජයග්‍රහණයක්. ඒත් මේක ලංකාවේ පෙන්නන්න දෙයිද කියන ප්‍රශ්නයත් ඒ සමගම මතු වෙනවා.
– තිලිණ මළලසේකර –
Share

96 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.