තරිඳු ලොකුආරච්චිගේ චීනයේදී සම්මාන ලබයි
සිනමා ක්ෂේත්රය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා හිමිකම් කීමට ශ්‍රී ලාංකික ශිල්පින් හට වැඩි වැඩියෙන් අවස්ථාව හිමිවූ බව පසුගිය වසර කිහිපය තුළ සිනමා ක්ෂේත්රය අධ්‍යයනය කිරීමේදී පෙනී යනවා. නිර්මාණශීලි තරුණ නිර්මාණකරුවන් රැසක් බිහිවෙමින් පැවතීම සහ තාක්ෂණික දියුණුව නිසා පහසුවෙන් ලෝකයට විවෘත වීමට හැකියාම ලැබී තිබීම මීට ප්‍රබලම හේතුව වී තිබෙනවා. ශ්‍රී ලාංකීය තරුණ නිර්මාණ කරුවෙක් වන තරිඳු ලොකුආරච්චිගේ පසුගියදා තවත් ජාත්‍යන්තර සිනමා සම්මානයක් හිමිකර ගැනීමට සමත්ව වුනා.
චීනයේ පැවැත්වෙන Dabieshang international student film festival හිදී ඔහු මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය හිමිකර ගත්තා. එම චිත්‍රපට උළෙලේදී හොඳම කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයා ලෙස තරිඳු සම්මානයට පාත්‍ර වුනා. හොඳම ශබ්ද පරිපාලනය උදෙසාත් ඔහුගේ කෙටි චිත්‍රපටයට සම්මාන හිමිව තිබෙනවා. තරිඳු නිර්මාණය කළ නවතම කෙටි චිත්‍රපටය වූ Forzen Heart නම් නිර්මාණය මෙම සිනමා උළෙල සඳහා ඉදිරිපත් කොට තිබුනා. වර්තමානයේ දේශීය සිනමාවේ කඩා වැටීමක් පිළිබඳව කතාබහක් ඇතිව තිබෙනවා. තරිඳුගේ නිර්මාණයට මුලික තේමාව සපයන්නෙත් මෙම දේශීය සිනමාවේ නිර්මාණකරුවන් මුහුණදෙන ඛේදවාචකයයි. ඊට අමතරව චීන ව්‍යාපෘති ශ්‍රී ලාංකීය ජන විඥානය සහ සිනමාව වැනි ක්ෂේත්‍ර මත එල්ල කරමින් සිටින බලපෑම පිළිබඳවත් ඔහු මෙම නිර්මාණය හරහා කතාබහට ලක් කරනවා. ශ්‍රී ලාංකික නිර්මාණයක් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් කරා ගෙනගිය තරිඳු ලොකුආරච්චි වෙත cinema.lk සුබ පැතුම් පිරිනමනවා.
