තවත් ගවේෂණයක ආරම්භය – Jungle Cruise 02

Avatar Nisanka Weheraduwa | September 16, 2021 26 Views 0 Likes 0 Ratings

26 Views 0 Ratings Rate it

මෙම වසරේ most anticipated movies අතුරින් එකක් වූ Jungle Cruise චිත්‍රපටය දැවැන්ත සිනමාශාලා ප්‍රදර්ශනයක් වෙනුවෙන් මුදා හරින්න මුලදී සැළසුම් කොට තිබුනා. නමුත් ලෝකයටම බලපෑ කෝවිඩ් වසංගතය නිසා Disney සමාගමේ චිත්‍රපට සියල්ලම Disney+ ඔස්සේ එළිදක්වන්නට නිෂ්පාදකයින් වසර මුලම තීරණය කළා. මේ තත්වය නිසා, Jungle Cruise සිනමාපටයට ලෝ පුරා දැවැන්ත සිනමා ශාලා ප්‍රදර්ශනයක් වෙනුවෙන් දොරටු විවර වුණේ නැහැ. සීමිත සිනමාශාලා ප්‍රමාණයක සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ චිත්‍රපටය තිරගත වෙද්දී ඒ සමගාමීවම Disney+ Streaming platform එක ඔස්සේද Jungle Cruise මුදා හැරියා.

මෙනිසා ප්‍රේක්ෂකයින් පවා සිතුවේ Jungle Cruise චිත්‍රපටයේ ආදයමත් බොහොම අඩු මුදලකට සීමා වේවි කියලයි. ඩොලර් මිලියන 200කට ආසන්න මුදලක් වැය කරමින් නිපද වූ වසරේ දැවැන්තම චිත්‍රපටයක් වුවත් කෝවිඩ් වසංගතය නිසා මෙය බොහොම අඩු ආදායමක් රැස් කර ගනීවි යැයි බොහෝ දෙනා අනාවැකි පලකළා. නමුත් ඒ සියල්ලම කණපිට හරවමින් කෝවිඩ් ඩෙල්ටා තත්වය මධ්‍යයේ පවා ඩොලර් මිලියන 180කට අධික ආදායමක් රැස් කරගන්නට Jungle Cruise සිනමාපටයට හැකියාව ලැබුනා. F9, A Quiet Place 02, Black Widow, Godzilla VS Kongට පසුව කෝවිඩ් වසංගතය මධ්‍යයේ ඩොලර් මිලියන 100ක domestic ආදායමක් ඉපැයූ පස්වන චිත්‍රපටය බවට පත් වුණේ මෙම නිර්මාණයයි.

මෙම සාර්ථකත්වය නිසා Jungle Cruise 02 නමින් සීක්වල් නිර්මාණයක් එළි දක්වන්නටත් Disney Pictures සූදානම් බව පසුගිය 31 වෙනදා නිල වශයෙන්ම දැනගන්නට ලැබුණා. මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිත යුගල රඟ පෑ Dwayne Johnson සහ Emily Blumt විසින්ම සීක්වල් නිර්මාණයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නටත් නියමිතයි. ඒ අනුව පළමු සිනමාපටයේ අවසානයෙන් දෙවන සිනමාපටය ආරම්භ වනු ඇති බවයි බොහෝ දෙනාගෙ අදහස වෙන්නේ. නමුත් ප්‍රතිවීර චරිත සහ මෙවර ගවේෂණය, පළමු චිත්‍රපටයේ දිගුවක් විය නොහැකි බවටත් ඇතමුන් ඉඟි පළ කරනවා. පළමු නිර්මාණය මෙන්ම මෙයත් Jaume Collet-Serraගේ අධ්‍යක්ෂණයෙන් නිමවෙනු ඇති. Dwayneගේ Upcoming Super Hero චිත්‍රපටය, Black Adam හි අධ්‍යක්ෂකවරයා වන්නේද මොහු වීමත් විශේෂත්වයක්. මුල් තිරපිටපත ලියූ Micheal Green පවා මෙයට නැවතත් ගිවිසුම් ගත වී තිබෙනවා. මුල් චිත්‍රපටය නිෂ්පාදනය කළ Dwayne Johnson, John Davis සහ John Fox ඇතුළු පිරිසමයි මෙහි නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නෙත්.

ලෝකය පුරාම කෝවිඩ් ඩෙල්ටා තත්වය උත්සන්න වූ අවස්ථාවක සහ සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹි දිනම OTT platforms හරහාත් සිනමාපටය නිකුත් කළ වටපිටාවක, ඩොලර් මිලියන 200කට ආසන්න Boxoffice ආදායමකට ළඟා වීම කොහෙත්ම ලෙහෙසි පහසු අභියෝගයක් නොවෙයි. ඒ නිසාම, Jungle Cruise සීක්වල් නිර්මාණයකට Disney පාලනාධිකාරිය ගත් මේ තීරණය බොහොම නුවණැති තීරණයක් බවයි බොහෝ රසිකයින් පවසන්නේ.
එහෙම නම්, කැප්ටන් ෆ්‍රෑන්ක් සහ ආචාර්‍ය ලිලීගේ තවත් ගවේෂණයක අපූරුව විඳින්නට නුදුරු වසරකදීම අපට යළිත් අවස්ථාව උදා වේවි.

Share

26 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.