තහනමට හෝ දැඩි විවේචනයට ලක්වූ සිංහල චිත්‍රපට

Avatar Nisanka Weheraduwa | June 3, 2020 2119 Views 0 Likes 3.67 On 3 Ratings

2119 Views 3.67 On 3 Ratings Rate it

ඔබ දේශීය සිනමාව ගැන අවධානයෙන් පසුවන සිනමා රසිකයෙක් නම්, ලංකාවේ සිනමාවේ වාරණයට සහ විවේචනයට ලක්වුණු චිත්‍රපට ගැන ඔබ දැනුවත් ඇති. කෙසේ නමුත් සිනමාව මත වාරණය ක්‍රියාත්මක වීම දේශීය සිනමාවට අලුත් යමක් නොවෙයි. 1960 දශකයේ සිට සිනමාපට වාරණය කිරීම නැතිනම් තහනම් කිරීම සිදුව තිබෙන බව සිනමා ඉතිහාසය අධ්‍යයනයේදී හඳුනාගත හැකියි. මේ තහනම් කිරීමට විවිධ හේතු බලපා තිබෙනවා. සංස්කෘතික සහ දේශපාලනික කාරණා මත පදනම්ව, තහනමට හෝ දැඩි විවේචනයට ලක්වූ දේශීය චිත්‍රපට කිහිපයක් පිලිබඳ තොරතුරු විමසා බලිමකුයි මේ.

ලංකාවේ සිනමාවේ චිත්‍රපටයක් තහනම් කිරීමේ පුවතක් මුලින්ම වාර්තා වන්නේ 1960 වසරේදීයි. චිත්‍රපටයේ නම නළඟන. එල්.එස්.රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ රුක්මනී දේවි සහ රවින්ද්‍ර රූපසේන ප්‍රධාන චරිත නිරූපණය කළා. චිත්‍රපටය තහනම් වුවත් එම චිත්‍රපටයට ඇතුළත්ව තිබූ ගීත කිහිපයක්ම අතිශය ජනප්‍රිය වුනා වගේම තවමත් ඒ ගීත සංගීත ලෝලීන් අතර සැරිසරනවා. “පරම රමණී අපේ ආලේ”, සිතෙහි බැඳී ආලේ, පැණි වෑහෙන කතා වැනි ගීත තහනමට ලක්වූ නළඟන චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ ගීත අතර තිබුනා.

තහනමට ලක්කෙරුණු මීළඟ චිත්‍රපටය පිලිබඳ තොරතුරු වාර්තා වන්නේ 1979 වසරේ. එම තහනම සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිර ගියා. තහනමට හේතුව වුනේ දේශපාලනික කාරණයක් බවයි බොහොමයක් කටකතා මගින් කියවුනේ. චිත්‍රපටයේ නම “දුටුගැමුණු”. මේ චිත්‍රපටය සුවිශේෂී නිර්මාණයක්. සිංහල සිනමාවේ Animation පිළිබඳව පවතී පළමු සටහන මේ චිත්‍රපටය වනවා. Animation ඉතිහාසය අධ්‍යයනය කළොත් දේශීය සිනමාවේ ඒ සම්බන්ධයෙන් වාර්තා වන මුල්ම නිර්මාණ ශිල්පියා වුනු ගිවන්ත අර්ථසාද් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබුනා. දුටුගැමුණු රජු සම්බන්ධ කතාවට නව දැක්මක් එක්කොට නිර්මාණය කළ මේ චිත්‍රපටය අතින් ඇඳි චිත්‍ර සිනමා කැමරාවක් මගින් රූපගත කොට Animation චිත්‍රපටයක් ලෙස සැකසූ බව සඳහන් වනවා. කෙසේ නමුත් එක් දිනක් පමණක් සිනමාහල් වල තිරගත කෙරුණු චිත්‍රපටය දෙවැනි දිනයේ තහනම් කරනු ලැබුවා. සුරනිමල යෝධයා අලියකු අල්ලා විසිකරන දර්ශනයක් චිත්‍රපටයට ඇතුළත් වීම හේතුවෙන් එවක පැවති ආණ්ඩුව මේ චිත්‍රපටය තහනම් කළ බවට කටකතා පැතිර ගියා. කෙසේ නමුත් අවසානයේ මෙරට පළමු වෘතාන්ත Animation චිත්‍රපටය සිනමාවට අහිමිව ගියා.

1998 වසරේ නිර්මාණය කිරීමට සැළසුම් කළ “තීන්දුව” චිත්‍රපටයත් එවැනි දේශපාලනික හේතු මත තහනමට ලක්වූ චිත්‍රපටයක්. ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරට එක්වීමට නියමිතව තිබූ මේ චිත්පටයේ ප්‍රධාන චරිතය වුනු හමුදා ජනරාල් දුනුවිල ලෙස ගාමිණි ෆොන්සේකා රංගනයෙන් දායක වීමට නියමිතව තිබුනා. සියළු දේශපාලන පක්ෂ වල අත්තනෝමතික දේශපාලන ක්‍රමවේදයන් පිලිබඳ කලකිරුණු ජනතා බලවේගයක් මගින් ජෙනරාල් දුණුවිලට රට බාරකරන අතර එතැන් පටන් මිලිටරිකරණය වන පාලන තන්ත්‍රයක් මගින් රට කරවන අන්දම පිළිබඳව චිත්‍රපටයේ කතාබහට ලක්කෙරුනා. කෙසේ නමුත් යුද්ධයක් පවතින අවස්ථාවක, විශේෂයෙන්ම හමුදා සෙබළුන් දැඩි කැපවීමෙන් යුතුව රට වෙනුවෙන් සටන් කරන මොහොතක මෙවැනි සිනමාපටයක් තිරගත වීම ඔවුන්ගේ මානසික තත්වයට බලපෑමක් ඇතිකරන බව සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙහි නිෂ්පාදන කටයුතු නතර කිරීමට පියවර ගත්තා.

අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ “අක්ෂරය” චිත්‍රපටය 2005 වසරේදී රජය මගින් තහනමට ලක්කළ තවත් සිංහල චිත්‍රපටයක්. Psycho-sexual trauma තත්වයක් සහිත අධිකරණ විනිසුරු පවුලක් වටා ගෙතුන කතාවක් සහිත මේ චිත්‍රපටය තහනම් කිරීමට විවිධ හේතු බලපැවැත්වූ බව සඳහන්. මුලින් “වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ තිරගත කරන ලෙස රැඟුම් පාලක මණ්ඩලය මගින් අවසර ලබා දුන්නත් පසුව “ළමා අපයෝජනයක්” සිදුවන බව සඳහන් කරමින් එවක සංස්කෘතික කටයුතු ඇමතිවරයා විසින් රැඟුම් පාලක මණ්ඩලයේ තීන්දුව හකුලා ගැනීමෙන් චිත්‍රපටය තහනමට ලක්වුනා. කුඩා දරුවකුත්, මවත් දෙදෙනාම එකවර නිරුවතින් නාන බේසමක සිටින දර්ශනයක් මේ චිත්‍රපටයේ අඩංගු වීම මේ තීරණයට හේතු වුනා. කෙසේ නමුත් රටේ අධිකරණ පද්ධතියට අගෞරවයක් සිදුවූ බව පවසමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට එරෙහිව නඩු පැවරීමටත් රජය සැළසුම් කොට තිබූ බව පැවසෙනවා.

2011 වසරේ නිර්මාණය කෙරුණ “ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටයත් මෙරට තුළ තහනමට ලක්වූ තවත් චිත්‍රපටයක්. හමුදා නිළ ඇඳුම් භාවිතා කරමින් එහි ගෞරවයට හානිවන අයුරින් කටයුතු කොට ඇතැයි පවසමින් මේ නිර්මාණය තහනම් කොට තිබුනා. චිත්‍රපට නිෂ්පාදනය පිලිබඳ පොලිස් පරීක්ෂණයක් පැවැත්වීමට පවා එවක ආණ්ඩුව කටයුතු කොට තිබුනා.

තහනමකට ලක් නොවූවද සංස්කෘතිකව විවිධ විවේචනයන්ට ලක්වූ චිත්‍රපට රැසක්ද අපේ සිනමාවේදී අපට හඳුනාගත හැකියි. විශේෂයෙන්ම ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගික නැඹුරුතා පිළිබඳව කතාබහ කෙරෙන සිනමා නිර්මාණ තුළ ඇති දර්ශන සහ සංකල්පයන් හේතුවෙන් ඒවා දැඩි ලෙස විවේචනයට ලක්වූ අවස්ථා හඳුනාගත හැකියි. “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටය සිනමාවේදී අසෝක හඳගම විසින් නිර්මාණය කලේ 2003 වසරේදීයි. ගැහැණියක දුම්වැටි බීම සහ කාන්තා සමලිංගික සම්බන්ධතාවක් පිලිබඳ අදහසක් ගෙන ඒම වැනි කරුණු පිළිබඳව මේ චිත්‍රපටයට දැඩි විවේචන එල්ල වුනා. 2016 වසරේ තිරගත කෙරුණු “සයපෙති කුසුම” චිත්‍රපටයත් එවැනි සමාජ විවේචනයන්ට ලක්වූවක්. එතෙක් ලාංකික සිනමාව තුළ නිසි කතාබහකට ලක්ව නොතිබූ Homosexual relationship (සමලිංගික සබඳතා) පිළිබඳව විවෘත කතාබහක් චිත්‍රපටය හරහා ගෙන ඒමට අධ්‍යක්ෂ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් කටයුතු කොට තිබුනා. ඒ හේතුවෙන් එම චිත්‍රපටයද සංස්කෘතික කාරනා මත විවේචනාත්මක කතාබහට ලක්වුනා. සංස්කෘතික කරුණු මත පදනම්ව දැඩි විවේචනයට ලක්වූ තවත් සිංහල චිත්‍රපට පිළිබඳව තොරතුරු ඉදිරි ලිපියකින් ඔබවෙත ගෙනඒමට අපි සූදානම්.

Share

2119 Views 3.67 On 3 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.