තිරයේ කරන රඟපෑම් වලින් අපිව මනින්න එපා – ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.
කලා ක්ෂේත්‍රය තුළ නව ආරකින් ඔහුටම ආවේනික වූ රංගන දක්ෂතාවයක් දක්වන අති දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හදුන්වා දෙන්න පුළුවන්. මෑත කාලයේදී බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණු ගිණිමල් පොකුරු චිත්‍රපටයෙන් නැවතත් ඔහූ කරලියට පැමිණ තිබෙනවා. මේ චිත්‍රපටය තුළින් ඔහුගේ වෙනස්ම රංගන කුසලතාවයන් පෙන්නුම් කිරීමට ඔහු උත්සාහ ගෙන තිබෙන බව බොහෝ දෙනෙකුගේ අදහසක්. 18+ චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වූ ඉසුරු තම රංගන ජිවිතය තුළ යම් යම් අත්හදා බැලීම් ඔස්සේ යන නළුවෙක් ලෙස ක්ෂේත්‍රයේ කතාබහකට ලක්වූවෙක්.
“චිත්‍රපටයක් ගත්තත් නාට්‍යයක් ගත්තත් සාර්ථක වීම අසාර්ථක වීම සිදු විය හැකියි. ප්‍රේක්ෂකයාගෙන් ප්‍රේක්ෂකයාට මෙය වෙනස් වනවා. අද වන විට ලංකාවේ චිත්‍රපට කලාව තුළ නව ආරේ චිත්‍රපට බිහි වෙමින් පවතිනවා. ගිණිමල් පොකුරු කියන්නේත් මට අභියෝගයක් වුන චිත්‍රපටයක්. අපේ රංගන ජිවිතය තුළ කළු චරිත රගපෑමට සිදු වෙනවා නමුත් අපි රංගනයේ යෙදුණු පලියට අපි ඒ චරිත වල තිබෙන ස්වරූපයේ පුද්ගලයෙක් වෙන් නෑ. අපි චරිතයට සාධාරණයක් කිරීමේදී එම චරිත වලට ආරූඩ වෙන්න වෙනවා. චිත්‍රපටයක් උනත් නාට්‍යයක් උනත් මේ සෑම නිර්මාණයකදිම අපිට හැමෝම සතුටු කරන්න බෑ. කට්ටියක් සතුටු වෙනකොට කට්ටියක් මෙම නිර්මාණ විවේචනය කරනවා. ඒක තමා ස්වභාවය. මං කරන්නෙත් වෘත්තියක් මාත් තවම රංගනය හදාරන කෙනෙක්. රංගනය කියන දේ මැරෙනකම්ම ඉගෙන ගන්න තියෙන දෙයක්, මම පොරක් නෙවේ මම සාමාන්‍ය මනුස්සයෙක්. මට විශේෂ අගය කිරීම් අවශ්‍ය නෑ. නමුත් මං කැමති අපි කරන නිර්මාණ අගය කරනවට, ගුණ දොස් අපිට පෙන්නලා දෙනවට. වැරැද්දක් උනත් කෙලින් ඇවිත් කථා කරනවට තමා මන් කැමති. මන් කෙලින් කතා කරන පුද්ගලයෙක් ඒ වගේම සාධාරණය අගය කරන කෙනෙක්. ” යනුවෙන් ඉසුරු සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.
මෙහෙම යනකොට ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වැඩිහිටියන්ට පමණයි ලේබලය වැදුණු චිත්‍රපටවලටම කොටු වුණු කෙනෙක් වෙයිද කියලා හැහැමෝටම හැගෙන ප්‍රශ්නයක්. හුස්ම චිත්‍රපටයේ ඔහු දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවා වගේම දැන් තිර ගත වන ගිණිමල් පොකුරු චිත්‍රපටයෙත් ඔහුගේ රංගනය කැපී පෙනෙනවා.
” සෑම නිර්මාණයකම තියෙන්නෙ සමාජයේ යතාර්ථ ස්වභාවය පෙන්වා දීමක්. මෙම චරිත නිරූපනය කරන්න විශාල කැපවීමක් කරන්න වෙනවා. ඒක චිත්‍රපටි හෝල් එකක ඉදන් බලන කෙනෙක්ට තෙරූම් ගන්න අමාරුයි. මෙම චිත්‍රපට නිෂ්පාදනයෙදි ප්‍රඩක්ශන් එක තුළ ඉන්න හැමෝගෙම දායකත්වය සහායෝගය අවශ්‍යයි. මම කරන්නෙ එක් චරිතයක් විතරයි. තිරය පිටුපස විශාල පිරිසකගේ මහන්සියෙ ප්‍රතිඵලයක් තමා ලස්සන නිර්මාණයකට හැරෙන්නේ” ඉසුරු වැඩිදුරටත් පවසනවා. “මම රංගනයෙන් දායක වෙන්නේ වැඩිහිටියන්ට පමණක් වෙන් වුණු චිත්‍රපට වල විතරක් නෙවේ. මම එක රාමුවකට කොටු වෙලා නෑ, මීට කලින් රන් සයුර , නිදහසේ පියා ඩී එස්, රෂ්, හුස්ම, ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් වගේ විවිධ ශානර වල චිත්‍රපට වලට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඔය නිර්මාණ එක්කට එකක් වෙනස්, හරියට අපේ අතේ ඇගිලි වගේ. හුස්ම චිත්‍රපටය සමඟ බලනකොට ගිණිමල් පොකුරු චිත්‍රපටය අහසයි පොළොවයි වගේ එකිනෙකට සමාන කරන්න බෑ.” ඉසුරු එලෙස මාධ්‍ය වෙත සිය අදහස් දක්වා තිබුනා.
ක්ෂේත්‍රය තුළ කතා බහා වෙන විදියට නම් ඉසුරු කියන්නේ ටිකක් විනෝදකාමි චරිතයක්. ඇසුරු කරන අය කියන්නේ ගොඩක් සරල කෙනෙක් සහ ජිවිතේ ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් කියලා. ඔහුම පවසන පරිදි ඔහු ගොඩක් තැන්පත් පුද්ගලයෙක් . ජිවිතේ තේරුම් අරගෙන කලාවට පය තැබූ අයෙක්. මිනිස්සු විශ්වාස කරන්න ගිහින්ම ජිවිතේ කන්න ඕන ගොඩක්ම කටුක අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවූ බවත්, ඒ නිසාම මිනිස්සු ගැන තේරුම් ගෙන ජිවත් වන බවත් ඉසුරු වරෙක පවසා තිබුණා. “ගොඩක් බලාපොරොත්තු එක මොහොතකින් බිඳ වැටිලා තියෙනවා. මේ මොහොතෙදි පවා බලාපොරොත්තු බිද වැටුන කෙනෙක්. මන් ගොඩක් සතුටු වන එකම දේ තමා අද මන් මේ ආව ගමන. අතිරේක රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයට ආව කෙනෙක්. මනුස්සයෙක්ට හොඳ දෙයක් ලැබෙන්නනම් ජිවිතේ කට්ටක් කන්නම වෙනවා. කිසිම දෙයක් ඉබේ පහල වෙන් නෑ. අධිෂ්ඨානය කැපවීම මත තමා හැමදේම මට ලැබුණේ . වැටුන වාර අනන්තයි, තවමත් එහෙමයි. ඒත් මනස තුළ අධිෂ්ඨානය තියාගත්තොත් තමන්ගේ සාර්ථකවය කරා යන්න පුළුවන්. මම මේ ගමන අවේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝගෙම සහයෝගයෙන් සහ මගේ මහන්සියෙන්. මම රැකියාවන් ගොඩක් කරපු කෙනෙක්. යුධ හමුදාවෙන් අයින් වෙලා මම ආස දේ කරන්න ගත්ත තීරණයම මට අභියෝගයක්.. චරිතාංග නළුවෙක් විදියට මේ කලාව තුළ පවතින්නයි මගේ දැන් එකම බලාපොරොත්තුව” සිය ගමන්මග සහ අනාගත අපේක්ෂාවන් ගැන ඉසුරු එලෙස අදහස් දක්වා තිබුනා.
Written by Nisanka Weheraduwa